කෝටිපතියන් මුදල් හංගන මොකද්ද මේ පැනමාව?
අනුර සොලමන්ස්
මේ ලෝක ධාතුව තුළ මුදල් වර්ග කිහිපයක් ඇත. නිත්‍යානුකූල මුදල් හෙවත් ප්‍රකාශිත මුදල් පළමුවන වර්ගයයි. මේ මුදල් ඒවා උපයන්නා වෙසන රටේ නීතිරීතිවලට අනුකූලව ආණ්ඩුවේ අනුදැනුම ඇතිව සාධාරණ ක්‍රමයට හරිහම්බ කරන බද්දට යටත් වූ මුදල් ය. දෙවන මුදල් වර්ගය අප්රකාශිත මුදල් ය. මේවා නීති විරෝධී මුදල් නොවන අතර බදු නිලධාරීන්ගෙන් සඟවා පැත්තකට කර තබන ලද නිත්‍යානුකූලව ඉපැයූ මුදල් ය. තෙවන මුදල් වර්ගය කලු සල්ලිය. කලු සල්ලි උපයන්නේ නීති විරෝධී මාර්ගවලිනි. නීති විරෝධී යුද අවි වෙළෙ¹ම මගින් කලු සල්ලි උපයා ගත හැකිය. නීති විරෝධී යුද අවි අවශ්‍ය අය ඒවාට දියමන්තිවලින් ගෙවීමේ වැඩපිළිවෙළක් අප්‍රිකානු රටවල තිබේ. මේවා Blood Diomand ලෙස හඳුන්වනු ලැබේ. Blood Diomand විකුණා ලබන සල්ලි ද කලු සල්ලිය. ඒවා උපයන මාර්ගයෙහි ලේ තැවරී ඇත. ඒවා බදු නිලධාරීන්ට ඉදිරිපත් කළ නොහැකිය. ඒ නිසා ඒවා උපයන අය කරන්නේ වෙනත් රටවල බැංකුවල ඒවා තැන්පත් කිරීමය. නැතිනම් වෙනත් රටක තිබෙන ව්‍යාපාරයක ඒවා ආයෝජනය කිරීමය. මේ දිනවල සංවාදයට තුඩු දී තිබෙන පැනමා හෙළිදරව්වට අයත් ගනුදෙනුවලින් වැඩි හරියක ආයෝජනය වී ඇත්තේ මෙවැනි කලු සල්ලිය. අප්රකාශිත මුදල් නිත්‍යානුකූල කිරීමට ආණ්ඩුවට ක්‍රමවේද ඇත. එහෙත් කලු සල්ලි රාජසන්තක කරනවා හැර වෙන කිසි දෙයක් කිරීමට නොහැකිය. මුදල් විශුද්ධිකරණය හෙවත් Money Laundering යනුවෙන් දෙපදයක් තිබේ. මෙය නෛතික රාමුවක් තුළ කරන්නට බැරිය. එහෙත් පිටරට තිබෙන කලු සල්ලි මොනවා හෝ බොරුවක් ගොතා එහෙමත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධානයකට දෙන පරිත්‍යාගයක ලීලාවෙන් රටවල් තුළට ගෙන එනු ලැබේ. කොහොම කළත් මේ මුදල් නිත්‍යානුකූල කිරීමට බැරිය.
පැනමාවට කලු සල්ලි පිළිබඳ ඉතා කරදරකාරී ඉතිහාසයක් තිබේ. 1980 දී මැනුවල් නොරිගා නමැති ඒකාධිපතියා පැනමාව පාලනය කරන කාලයේදී එරටට අල්ලපු රට වූ කොලොම්බියාවේ සිටි පැබ්ලෝ එස්කොබාර් නමැති කුඩු මුදලාලි නොරිගාට මාස්පතා ඩොලර් මිලියන ගණනක වැටුපක් ගෙවූයේය. මේවා නීති විරෝධී කලු සල්ලිය. එස්කොබාර් තමා හදන කුඩු වෙනත් රටවලට යෑව්වේ පැනමාව හරහා ය. නොරිගාට තිබුණේ ඒ බව නොදැක්කා සේ සිටීමටය. ඩොලර් මිලියන ගණනක වැටුප ඔහුට ලැබුණේ ඒ වෙනුවෙන්ය.
ලෝකයේ ප්රකෝටිපතියන් තම කලු සල්ලි තොග පිටින් හංගන මොකද්ද මේ පැනමා රට? පැනමා යනු ගසක නමකින් හඳුන්වන රටකි. Sterculia apetala නමැති මේ ගසට ස්පාඤ්ඤ බසින් කියන්නේ පැනමාය. 1500 දී මේ රටට ස්පාඤ්ඤ යටත් විජිතවාදීහු පැමිණියහ. ඒ වන විට පැනමාව තුළ ස්වදේශික ගෝත්‍ර දෙකක් වාසය කළහ. ඉන් පළමු පිරිස Cuevas ය. අනෙක් පිරිස Cocle ය. ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් පැනමාවට පා තබා වසර 10 ක් ගතවූ තැන මේ පළමුවන ගෝත්‍රය වඳ වීමට පටන්ගෙන 1535 වන විට ඉන් එක ගෝත්රිකයකුවත් ඉතිරි නොවන පරිදි වඳවී ගියහ. දෙවන ගෝත්‍රික පිරිසද ඒ හා සමානව කාලයකදී එකකුවත් ඉතිරි නොවන පරිදි මළහ. හේතුව ස්පාඤ්ඤ ජාතිකයන්ට තිබූ ලාදුරු, වසූරිය සහ සමාජ රෝග ඔවුන්ට ද වැළඳීමය. පිරිසිදු මනුෂ්‍ය කොට්ඨාසයක් වූ මේ ගෝත්‍රිකයන්ට කුණු වූ සිරුරු ඇති ඇවිදින මළමිනි වැනි ස්පාඤ්ඤකාරයන්ට තිබූ ප්‍රතිශක්තිකරණය තිබුණේ නැත. පැනමාව පිහිටා ඇත්තේ දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාව යා කරන පටු බිම් තීරයක් ලෙසිනි. මේ භූමිය එතරම් නරක නැත. මෙයට වසර එක්කෝටි පනස් ලක්ෂයකට පමණ පෙර මහා සාගරය යටින් හදිසියේම මේ භූමිය උඩට මතුවිය. ඉන්පසු මුහුද දෙකට බෙදුනු අතර වම් පැත්තෙන් පිහිටි මුහුද කැරිබියන් සාගරය ලෙසත් දකුණු පැත්තේ මුහුද ශාන්තිකරසාගරය ලෙසත් පසු කාලයේදී නම් විය. 1506 දී ලොව පහළවූ නීචතම දේශ ගවේෂකයා වූ ස්ත්‍රී දූෂක සහ වහල් වෙළෙඳ ක්‍රිස්ටෝµර් කොලොම්බස් පැනමාවට පැමිණියේය. පැනමාව, ස්පාඤ්ඤය අතට ගත්තේ ඉන් පසුවය. 1821 දී පැනමාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබයි. ඉන්පසු එරට හඳුන්වන ලද්දේ කොළොම්බියාවේ දෙපාර්තමේන්තුවක් ලෙස ය.ඉන්පසු කොළොම්බියාවෙන් නිදහස් වීමට පැනමාවට උවමනා විය. ඒ සඳහා ඇමරිකාව පැනමාවට දුන්නේ පුදුමාකාර සපෝට් එකකි. 1903 දී ඔවුහු කොළොම්බියාවෙන් නිදහස ලදහ. එය ප්රජාතන්ත්රවාදී රටක් වූ අතර ධනපති පන්තිය විසින් පාලනය කරන ලද්දේය.
කොළොම්බියාවෙන් නිදහස ලබා ගැනීම සඳහා දුන් සහයෝගයට ඇමරිකාව වන්දියක් අපේක්ෂා කළේය. එම වන්දිය වූ කලී පැනමාවට දකුණින් පිහිටි කැරිබියන් මුහුදත් වම් පැත්තෙන් පිහිටි ශාන්තිකර සාගරයත් සම්බන්ධ වන පරිදි පැනමාව හරහා ඇළක් කැණීමට ඉඩ දීමය. මෙය නිකම් ඇළක් නොව නැව් ගමන් කළ හැකි විශාල ඇළකි. කැරිබියන් සාගරයෙන් ශාන්තිකර සාගරයට යන නැව්වලට දකුණු ඇමරිකන් මහාද්වීපය වටේ සැතපුම් දහස් ගණනක් යා යුතුය. එය ඉමහත් කාලයක් සහ මිලක් යන කටයුත්තකි. එහෙත් පැනමාව හරහා ඇළක් කැපුවොත් සැතපුම් 50 ක පමණ වූ කෙටි දුරකින් මේ ගමන යා හැකිය. ඇමරිකානුවාගේ අරමුණ වූයේ පැනමාව හරහා තම වියදමින් ඇළක් කපා ඒ හරහා ශාන්තිකර සාගරයට හෝ කැරිබියන් සාගරයට නැව් යාත්‍රා කිරීමට සලස්වා එම නැව්වලින් ගාස්තුවක් අයකර ගැනීමය. මේ සඳහා ගිවිසුමක් සකස් කරන ලදී. ඇළ තැනීම සඳහා පළල සැතපුම් 10 ක උපරිමයකටද, දිග සැතපුම් 50 ක උපරිමයකට ද යටත් ප්‍රදේශයක් වසර 99 ක් සඳහා ඇමරිකාවට හිමි වන බව ගිවිසුමේ සඳහන් විය. ඇළ කැපීම සඳහා සම්පූර්ණ වියදම ඇමරිකාව දරන අතර ඒ සඳහා ශ්‍රමය පැනමාවෙන් සහ ඇමරිකාවෙන් ලබාගත යුතු විය. පැනමා ඇළ කැපීම පැරණි යෝජනාවකි. 1881 දී එම ඇළ කැපීම ප්‍රංශය විසින් ආරම්භ කරන ලදුව ඉංජිනේරුමය ගැටලු සහ ශ්‍රමිකයන් දස දහස් ගණනින් මිය යැම නිසා අත්හැර දමන ලදී. එහෙත් 1904 දී ඇළ කැපීමට පටන්ගත් ඇමරිකාවට 1914 දී එය අවසන් කර ගැනීමට හැකි විය. කෙසේ වුවද වසර 99 ක් ගත වීමට කලින් එනම් 1999 දී පැනමා ඇළ තම ආධිපත්‍යට ගැනීමට පැනමාවට හැකි විය. ඒ වන විට ඇමරිකාව පැනමා ඇළ මගින් ඩොලර් බිලියන ගණනාවක් උපයාගෙන තිබිණි. සාමාන්‍යයක් වශයෙන් ගත් කල ඇළ මගින් වසරකට උපයන ලද නැව් ගමන් ගාස්තුව ඩොලර් දශලක්ෂ 333.7 කි. ඇමරිකාව පැනමා ඇළ පාලනය කළ මුලු කාලය අවුරුදු 85 කි. මේ ඇළෙන් ලැබෙන ආදායම අදටත් පැනමාවට විශාල ශක්තියකි.
පැනමාව අද බැංකු අංශය සහ සංචාරක කර්මාන්තය කෙරෙහි විශාල වශයෙන් අවධානය යොමු කර තිබෙන රටකි. ධනවාදී ආර්ථිකයන් තුළ බැංකු කර්මාන්තය දියුණු කිරීමට නම් එම බැංකු වෙත විදේශ මුදල් ගලා ඒම සංවිධානය කරගත යුතුමය. මෙහිදී කලු සල්ලිවලට ප්‍රමුඛස්ථානය ලැබෙයි. මිනිසුන් නිකම්ම බැංකුවලට පැමිණ මුදල් තැන්පත් කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු ඒ රටේ තිබෙන සමාගම්වල මුදල් ආයෝජනය කරති. ඒ සමාගම් Off shore සමාගම් නම් වැඩේ ඉතා පහසුය. (Off shore සමාගම් මොනවාද යන්න පසුගිය සතියේ පළවූ මේ ලිපියේ මුල් කොටසින් විස්තර කර ඇත.) පැනමා හෙළිදරව්ව මගින් හෙළි වන්නේ කලු සල්ලි හෝ පිටරටට යවන ලද අප්රකාශිත ධනය පැනමාවේ හෝ එරට හරහා ආයෝජනය කළ අයගේ නම්ය.