Spread the News

කොටි ගුවන් ඒකකයේ ත්‍රස්‌තයා කුශාන්තන් නිදහස්‌?

කීර්ති වර්ණකුලසූරිය

සුන්දරලිංගම්රාජා කුශාන්තන් හෙවත් කුශාන්තන් මාස්‌ටර් කොටි සංවිධානයේ වාන්පුලිගල් නැමැති ගුවන් ඒකකයේ ප්‍රධානියායි. එහෙත් ඔහු අතුරුන්වූයේ කොටි පරාජයවීමට පෙරය. කුශාන්තන්ව කොටි සංවිධානය නම්කර තිබුණේ දර්ශන් නමිනි. මේ කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා 2014 වසරේ මැයි 15 දා මැලේසියාවේ බ්‍රකින් අමාන් ත්‍රස්‌ත මර්දන ඒකකය සිදුකළ මෙහෙයුමකදී අසුවිය.

මැලේසියානු ත්‍රස්‌තමර්දන බලධාරීන් කුශාන්තන් සමඟ තවත් ත්‍රස්‌තයන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවත් ඔවුන් කවුදැයි හෙළිකලේ නැත.

එහෙත් 2014 මැයි 29 දා කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි කුශාන්තන් අසුවීමේ සිද්ධිය අපි විශේෂයෙන් (exclusive) අනාවරණය කෙළෙමු.

කොලොන්නාව තෙල් ටැංකිය, කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ කොළඹ බෝම්බ දැමීමේ සියලු මෙහෙයුම් දියත්කළ කුශාන්තන් දැඩි අවහිරතා මැද ක්‌වාලම්පූර් සිට මෙරටට එවීමට ක්‍රියාකලේ පසුගියදා අභාවප්‍රාප්තවූ මේජර් ජනරාල් සුමිත් මානවඩුය. කටුනායකදී කුශාන්තන් ඇතුළු කොටි තිදෙනා අත්අඩංගුවටගත් ත්‍රස්‌ත මර්දන බලධාරීහු ඔවුන්ව ත්‍රස්‌තවාදීන් රඳවන බොරැල්ලේ සිර මැදිරියේ රඳවා තැබූහ.

එහෙත් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා ගැන සැමටම අමතක විය. ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රස්‌ත ක්‍රියා සිදුකළ කුශාන්තන්ට නඩු පැවැරූ බව මාධ්‍යයට වාර්තාවූයේ නැත. එසේනම් කුශාන්තන්ට සිදුවූයේ කුමක්‌ද?

2015 මැයි මස අවසානයේ මෙරටට ගෙන ආ කුශාන්තන් තවදුරටත් ත්‍රස්‌ත රැඳවුම්භාරයේ සිටින්නේද යයි අපි නිරීක්‍ෂණය කළෙමු.

එහෙත් එම ත්‍රස්‌ත රැඳවුම් අංශයේ ආරංචි මාර්ග පැවසුවේ කුශාන්තන් නිදහස්‌ වී මෙරටින් පිටව ගොස්‌ ඇති බවත් ඔහුගේ බිරිඳ මැලේසියාවේ සිටින බවත්ය.

47 හැවිරිදි වියේ පසුවූ කුශාන්තන් අල්ලාගැනීමට මැලේසියානු ත්‍රස්‌ත මර්දන ඒකකයට හැකිවූයේ එවකට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමාසාරිස්‌ කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස සේවය කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු නිසාය. එහෙත් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා සිටින්නේ කුමන රටේදැයි කිසිවෙක්‌ දැනසිටියේ නැත. කුශාන්තන් අසුවූයේ ඔහු කළ මෝඩකමක්‌ නිසාය. 2014 අප්‍රේල් මස කුවාලම්පූර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි ද්‍රවිඩයෙක්‌ සිය ගමන් බලපත්‍රය අළුත්කරගැනීමට තානාපති නිලධාරියකුට බාරදුන්නේය. මේ ද්‍රවිඩයා කවුදැයි තානාපති කාර්යාලයේ ගමන් බලපත් ඒකකයේ නිලධාරීන් විමර්ශනය කළේ නැත. ඒ ගැන ඔවුන් උනන්දුවක්‌ද දක්‌වා නොමැත.

එහෙත් දිනක්‌ තානාපති කාර්යාලයේ ගමන් බලපත් ඒකයට ලැබී ඇති ගමන් බලපත් පරීක්‍ෂාවට ලක්‌කළ මේජර් ජෙනරාල් මානවඩු එක්‌ ගමන් බලපත්‍රයක්‌ දැකීමෙන් විශ්මයට පත්විය. එය කුෂාන්තන් හෙවත් දර්ශන්ගේ ගමන් බලපත්‍රයකි.

ඒ සමඟම ක්‍රියාත්මකවූ මේජර් ජනරාල්වරයා අළුත්කළ ගමන් බලපත්‍රය ගැනීමට තානාපති කාර්යාලයට පැමිණි කුශාන්තන් පසුපස හඹා ගියේය. කුෂාන්තන් මැලේසියාවේ පැලන්ජයා නමැති ප්‍රදේශයේ සිටින බවත් ඔහු විටින් විට ක්‌ලැන්ස්‌ ප්‍රදේශයටද යන බව විමර්ශනයේදී සනාථ විය.

මෙම ප්‍රදේශ ගැන හොඳින් දන්නා මැලේසියානු ඔත්තුකරුවෙක්‌ මේජර් ජනරාල්ට සහය විය. කොටින්ගේ වාන්පුලිගල් නම්වූ ගුවන් ඒකකයේ ප්‍රධානියාවූ කුශාන්තන් මැලේසියාවේදී අසුවී ශ්‍රී ලංකාවට ගෙනඑනු ලැබූ බව ඇසූ ඊලම් ඩයස්‌පෝරාව දැඩි කලබලයට පත්විය.

කුශාන්තන් මැලේසියා ත්‍රස්‌ත මර්දන පොලිසිය අල්ලාගත් අවස්‌ථාවේ එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඔහුට සරණාගත කාඩ්පත පවා ලබාදී තිබූ බව අනාවරණයවිය.

කුශාන්තන්ගේ අසුවීමේ සිද්ධිය මැලේසියානු කොටි හිතවාදීන්ට වාර්තාවීමත් සමඟම පිනෑන්ප් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති මහාචාර්ය පී. රාමසාමි කොටි ක්‍රියාකාරීන් සමඟ එක්‌ව අධිකරණය වෙත පෙත්සමක්‌ද ගොනුකරනු ලැබීය.

එම පෙත්සම මත කුෂාන්තන් පිටුවහල් කිරීම වැලැක්‌වීමේ නියෝගය කුවාලම්පූර් ගුවන්තොටුපලේ ආගමන හා විගමන බලධාරීන්ට ලැබීමට පෙර කුශාන්තන් ඇතුළු කොටි තිදෙනා ශ්‍රිලන්කන් ගුවන් යානාවට ඇතුළු කිරීමට මේජර් ජනරාල් මානවඩුට හැකිවිය. එහිදී මැලේසියා පොලිස්‌පති කාලිද් අබුබකර්ගේ සහයද ලැබී තිබුණි. කුශාන්තන් ගැන තවදුරටත් හෙළිවූයේ මුල්ලිවයික්‌කාල්හි කොටි බංකරයක තිබී අසුවූ ඡායාරූප කිහිපයකිනි.

ඔහු විවාහ වී සිටියේ කොටි ගුවන් ඒකකය ආරම්භ කළ ශංකර්ගේ ඥති දියණියක්‌ වූ රෝහිනි සමඟය.

මැලේසියා ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට කුශාන්තන් සමඟ අන්බරායු හෙවත් මහාදේවන් තිරුබාහරන්ද අසුවී තිබුණි. ඔහු පොට්‌ටු අම්මාන්ගේ ටොසි බුද්ධි සේවාවේ ප්‍රධානතම ක්‍රියාකාරියෙකි. තිරුබාහරන් සමඟ කොටින්ගේ නිදර්ශනම් රූපවාහිනියේ ප්‍රධාන ඉංජිනේරුවාවූ සෙල්වතුරෙයි තිරුබානන්දන්ද අසුවිය.

මේ ත්‍රස්‌තයන් සතුව තිබී කොටි ප්‍රචාරක ලියවිලි හා පරිගණක උපාංගද සොයාගැනිනි. මේ කොටි ත්‍රස්‌තයන් තිදෙනාගේ අනන්‍යතාවය කොළඹ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කිරීමට ක්‍රියාකළේ අප කළ හෙළිදරව්වෙන් පැය 48 කට පසුවය.

මෙලෙස මැලේසියා ත්‍රස්‌ත මර්දන බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි කුශාන්තන් ඇතුළු කොටි තිදෙනා මෙරටට ගෙනඒමට තිදෙනකුගෙන් යුත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ ක්‌වාලම්පුරයට පැමිණි බව හෙළිවිය.

මේ අතර මේජර් ජනරාල් මානවඩුගේ මෙහෙයවීම මත මැලේසියාවේදී අසුවූයේ කොටි සංවිධානයේ වඩා වටිනාකමක්‌ ඇති ත්‍රස්‌තයා වූ කුශාන්තන් බව හමුදා බුද්ධි අංශයට වාර්තා විය.

ඒ වනවිට ලත් බුද්ධි තොරතුරුවල සඳහන් වූයේ කොටි ගුවන් ඒකකය පිහිටවූ ශංකර් විසින් කුශාන්තන්ව සහ රවීන්ද්‍රන් හෙවත් මෙන්ඩිස්‌ යන දෙදෙනා ගුවන් යානා පුහුණුවීම සඳහා කැනඩාවට යවා තිබූ බවත් ඔවුන් 1988 දී යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත්ය. ප්‍රභාකරන් විසින් කුශාන්තන්ට පවරා තිබූ කාර්යය වූයේ කොටින්ට ගුවන් යානා පැදවීම පුහුණු කිරීමයි. ඒ සඳහා කැලෑ වර්ණයෙන් යුත් ධාවන පථයක්‌ ඉරනමඩුහි ඉදිකර තිබුණි.

මෙරටට ගෙනඑනු ලැබූ ස්‌ලින් වර්ගයේ යානා දෙක එකලස්‌ කිරීමට කුශාන්තන් කටයුතු කළේ ඉරනමඩුහි පිහිටා තිබූ ගුවන් අංගනයේයි.

මේවන විට ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශවලට වාර්තා වූයේ සිවරාසා පිරුන්තබන් හෙවත් අච්චුදන් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා බවයි. ඔහුද ගුවන් නියමුවෙකි. අච්චුදන් නැමැත්තාද ඉන්ටර්පෝල් පොලිසියට අවශ්‍ය කරන අයකු ලෙස රතු වරෙන්තුව ප්‍රකාශයට පත්වූවත් කුශාන්තන්ගේ නම රතු වරෙන්තු ලැයිස්‌තුවට ඇතුලත් වී නොතිබුණි.

කොටි ගුවන් ඒකකය හසුරුවන ලද්දේ කුශාන්තන්ය. ප්‍රංශ ගමන් බලපත්‍රයක්‌ හිමි අච්චුදන් සහ ඔහුගේ බිරිය දැන් ප්‍රංශයේ සිටින බව වාර්තා වී ඇත. මේ පසුබිම මැද 2001 සැප්තැම්බර් 27 දා පුදුකුඩිඉරිප්පු මාර්ගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගු දුර විහිදුම් බළකායේ බිම් බෝම්යකට ගොදුරුවී කුශාන්තන්ගේ ගුරුවරයාවූ ශංකර් මරුමුවට පත්විය. මේ අතර කුශාන්තන් විසින් ශංකර්ගේ ඥති දියණියක්‌වූ රෝහිනි විවාහ කරගත් අතර එම උත්සවය පැවැත්වූයේ ප්‍රභාකරන් සහ බිරිය මදිවදිනිගේ ප්‍රධානත්වයෙනි.

මෙවන් ඉතිහාසයක්‌ ඇති කුශාන්තන් ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව ත්‍රස්‌ත ක්‍රියා සිදුකිරීම ගැන දඬුවම් ලැබිය යුතු වූවත් 2016 නොවැම්බර් 7 දා තෙක්‌ ඔහුට සිදුවූයේ කුමක්‌ද යන්න ගැන අබිරහසක්‌ විය.

ඉමහත් වෙහෙසක්‌ දරා පසුගිය රජය සමයේදී මැලේසියාවේදී අල්ලාගත් කුශාන්තන් ගැන ද්‍රවිඩ දේශපාලනඥන්ද කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. ඒ වෙනුවට ඔවුන් පැවසුවේ රැඳවුම් භාරයේ සිටින දේශපාලන සිරකරුවන් මුදාහැරිය යුතු බවයි. එම තත්ත්වය මත කුශාන්තන් හෙවත් දර්ශන් පිළිබඳව රජයේ නීති යාන්ත්‍රණය ගත් පියවර කුමක්‌දැයි වසන්වී තිබුණි. එහෙත් කුශාන්තන් සහ තවත් කොටි ක්‍රියාකාරීන් කීපදෙනෙක්‌ සිංහල කොටි යයි හංවඩු ගැසූ කීපදෙනකු සමඟ ත්‍රස්‌ත රැඳවුම් භාරයේ රඳවා සිටි බව අනාවරණය විය.

එහිදී තමා ගුවන් නියමුවකු බව කුශාන්තන් අනිකුත් රැඳවියන් හමුවේ පවසනු ලැබීය. කුශාන්තන් සමඟ රැඳවුම්භාරයේ සිටි තවත් පුද්ගලයෙක්‌ වූයේ හිටපු හමුදා කපිතන් වරයකුවූ ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහොමඩ්ය.

ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි තොරතුරු කොටින්ගේ ටොසි බුද්ධි සේවාවට ලබාදුන් බවට චෝදනා එල්ලවූ අගුරුකංකානම්ලාගේ ඉන්දික සංජීව කඩුවෙල හේවාගම පදිංචිකරුවෙකි.

1991 වසරේ හමුදාවට බැඳුණු මෙම හමුදා කපිතන්වරයා යාපනයට ස්‌ථාන මාරුවක්‌ ලැබීමෙන් පසු හමුදාවෙන් පැනගොස්‌ කොටි බුද්ධි නායකයකුවූ චාල්ස්‌ට එක්‌වී ඇත. කොළඹ පිහිටි හමුදා කඳවුරු මාර්ග බාධක සහ ප්‍රහාර එල්ල කළ යුතු ස්‌ථාන දැක්‌වෙන සිතියමද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගැන තොරතුරු කොටි සංවිධානයට ලබාදුන් බවට පාපොච්චාරණය කර ඇත.

කපිතන් ඉන්දික සංජීව පසුව මැලේසියාවට පැනගොස්‌ මුස්‌ලිම් ආගම වැළඳගෙන තිබේ.

මේ හිටපු හමුදා නිලධාරියා මැලේසියා ත්‍රස්‌ත මර්දන නිලධාරීන් විසින් අල්ලාගනු ලැබුවේ 2014 අගෝස්‌තු මස මුල් සතියේ කුවාලම්පූර්හි සෙන්තුල් ප්‍රදේශයේදීය.

ඒ සඳහා මේජර් ජනරාල් මානවඩු මැලේසියා පොලිසියට සහය විය.

ඉන්දික සංජීව හෙවත් මොහමඩ් සාන්ඡ් අබ්දුල්ලා නමින් පෙනීසිටි එම කපිතන්වරයා මීගමුවේ පදිංචිකරුවකු බව දක්‌වමින් 2021 වසර දක්‌වා බලපැවැත්වෙන ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණි. ඔහු එම ගමන් බලපත්‍රය භාවිත කර මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගමන් කළත් අසුවූයේ නැත. මේ හැර මොහු 2016 වසර දක්‌වා ගමන් බලපත්‍රයක්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන තිබිණි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ආදි සිසුවකුවූ කපිතන් ඉන්දික සංජීව අසුවීමෙන් පසු ඔහුගේ ගමන් බලපත්‍රයේ අංකය වූ 3293983 පිළිබඳව සොයාබැලීමේදී එය කොටහේනේ ද්‍රවිඩ කාන්තාවකට අයත්වූවක්‌ බව අනාවරණය විය.

2006 සැප්තැම්බර් 25 දා කපිතන්වරයා මෙරටින් ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණේ හදිසි අවස්‌ථාවක්‌ ඇතිවුවොත් පැනයාමට බවද හෙළිවිය.

කොටි පරාජය වීමත් සමඟම ඔහු 2009 දී මෙරටින් පැනගිය අතර යුද හමුදා බලධාරීන්ට ඒ බව වාර්තා වූයේ නැත.

මැලේසියාවේදී කපිතන්වරයා එක්‌ව සිටියේ කොටි ත්‍රස්‌තයන් කීපදෙනකු සමඟය. ඉන් එක්‌ ත්‍රස්‌තයෙක්‌ වූයේ සෂි සහ සොර්ගලිංගම් පුවනෙස්‌වරන් සමඟය.

කොටින්ගේ ටොසි බුද්ධි සේවාවට තොරතුරු සැපයූ කපිතන් ඉන්දික සංජීවද කුශාන්තන් සමඟ එකට බොරැල්ලේ ත්‍රස්‌ත රැඳවුම් සිරමැදිරියේ රඳවා තිබුණි. එහෙත් එම සිරමැදිරියේ සිටි අනිකුත් රැඳවියන් විස්‌මයට පත්කරමින් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියාවූ කුශාන්තන් හා ටොසි බුද්ධි සේවාවේ ඔත්තුකරු ඉන්දික සංජීව ආපසු එම රැඳවුම් මැදිරිය වෙත පැමිණියේ නැත.

කපිතන් ඉන්දික සංජීව රැඳවුම් මැදිරියේ සිටි රැඳවියන්ට පැවසුවේ තමා ආපහු මැලේසියාවට යන බවත් බිරිය ක්‌වාලම්පුරයේ සිටින බවත්ය.

මැලේසියානු පොලිසියට වාර්තාවූයේ මෙම හමුදා කපිතන්වරයා තායි කාන්තාවක්‌ විවාහ කරගෙන ඇති බවයි.

මේ අතර කුශාන්තන්ගේ බිරිය රෝහිනිද මැලේසියාවේ සිටින බව අනාවරණය වී තිබුණි. මේ පසුබිම මැද කුශාන්තන් හා කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ් නිදහස්‌ වූයේද නැත්නම් ඔවුන්ට සිදුවූයේ කුමක්‌ද යන්න කිසිවෙක්‌ නොදනී. කුශාන්තන් සතුව එක්‌සත් ජාතීන්ගේ සරණාගත හැඳුනුම් පතක්‌ තිබීම නිසා ඔහු දේශපාලන සරණාගතයකු ලෙස එක්‌සත් ජාතීන්ගේ සරණාගත මහකොමසාරිස්‌ පිළිගෙන ඇත. ඔහුට සරණාගත හැඳිනිම් පත ලබාදීම ගැන එම සරණාගත කාර්යාලය ප්‍රකාශයක්‌ කිරීමද ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ පසුබිම මැද ස්‌ථාන හතරකට බෝම්බ දැමීම මෙහෙයවූ කුශාන්තන්ට එරෙහිව 2014 ජුනි මස සිට 2010 වසර දක්‌වා රජයේ බලධාරීන් පියවරක්‌ නොගැනීම අබිරහසකි.