Spread the News

ජනවාරි 08 වෙනස කණපිට හැරවී ඇත. වෙනසක අගය ගැන ජනතාවට එපා වී ඇත්ද? වෙනසෙන් කිසිදු සහනයක්‌ අත් නොවූ නිසා ජනවාරි වෙනස පෙබරවාරියේදී වෙනස්‌ කිරීමට බහුතර ඡන්ද දායකයන් තීරණය කර ඇති බව පැහැදිලිය. එසේ නම් ජනවාරි වෙනස පෙබරවාරියේදී ලොප් වී ඇත.

වෙනදා පළාත් පාලන මැතිවරණයක්‌ සඳහා ඇති ජනතා උනන්දුව අඩුය. එහෙත් මෙවර වාර්තාගත ඡන්ද දායකයන් ප්‍රමාණයක්‌ ඡන්ද පොළ වෙත ඇදුනේ මන්ද? යහපාලන ආණ්‌ඩුවම යම් වැදගත් පණිවුඩයක්‌ ලබාදීම සඳහාය. ඒ පණිවුඩය ජනපති අගමැති ඇතුළු ආණ්‌ඩුවට හිරිවට්‌ටන්නක්‌ බව පෙනී යයි. මෙරට බහුතරයට යහපාලනය එපාවී ඇති සෙයක්‌ය. ඒ ජනවාරි 08 පොරොන්දු ඉටු නොකිරීමද? ඇල්ලූ හොරෙකුද නැත. හොරු අල්ලන පාටක්‌ද නොපෙනේ. හොරු ඇල්ලීම කෙසේ වෙතත් බැඳුම්කර මහා මගඩියෙන් ජනතාවට යහපාලනයේ නිරුවත හෙළිවිය. බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ කවුරුන්දැයි ජනතාව ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇත. ඒ වංචාකරුවන්ට එරෙහිව ජනතා විරෝධය මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලිව ප්‍රකට නොවන්නේද? හොරු කවුද කම්බ හොරු කවුදැයි මෙරට ඡන්ද දායකයන්ට අමුතුවෙන් කිවයුතු නැත. කොටි ත්‍රස්‌තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර මහ බැංකුව විනාශ කිරීමට කළ උත්සාහයට වඩා විනාශයක්‌ බැඳුම්කර මංකොල්ලයෙන් සිදුවී ඇත. එම බැඳුම්කර හොරුන්ට කම්මුල් පහරක්‌ මේ ඡන්ද ප්‍රතිඵලය හරහා එල්ල කර ඇත.

යහපාලනය යෑයි කීවද එයින් ජනතාවට අත්වූ යහපතක්‌ නැත. ගොවීන්ට පොහොර ලැබුණේ නැත. බඩු මිල අහස උසට ඉහළ ගියේය. පහළ මධ්‍යම පාන්තිකයා දැඩි පීඩනයට පත්විය. ජීවන බර ඉහළ යැම නිසා ලාංකිකයා සතුටින් නොසිsටි බව පැහැදිලිය. ජීවන බර අඩු කිරීමට යහපාලනය ගත් පියවර කුමක්‌ද? ඒවා වේදිකාවල ආඩපාලි පමණි. වේදිකාවල කතාකළ පැවැත්වූවාට ජනතාවගේ බඩ පිරෙන්නේ නැත. ඒ විරෝධයද මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලි වේ. ජනවාරි වෙනස පෙබරවාරියේදී ලොප්වීම නිසා ආණ්‌ඩුවේ බලධාරීන්ට මහජන දුක ගැන යළි සිතන්නට අවස්‌ථාව උදා වී ඇත. මේ ඡන්ද ප්‍රතිඵලය නිසා ආණ්‌ඩුවද හෙළවෙන දතක්‌ ගානට පත්වෙයිද? මහජන වරමක්‌ නැත්නම් ආණ්‌ඩුවේ ගමනද අන්තරාදායකය. ගමේ ආණ්‌ඩුවට තමන් කැමැති පිරිස පත්කර ගැනීමට ඡන්ද දායකයා කටයුතු කර ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේද වසර දෙකක්‌ ප්‍රමාදවීය. ඒ ප්‍රමාදය ගැන ජනතාව සිටියේ සතුටින් නොවේ. ඉක්‌මනින් මැතිවරණ පැවැත්වීමට යහපාලනයේ කැමැත්තක්‌ තිබුණේ නැත. ඒ අකමැත්තටද ජනතාව පිළිතුරු ලබාදී ඇති බව පෙනේ.

අලුතෙන් පත්වූ මන්ත්‍රීවරුන්ටද බරපතළ වගකීමක්‌ පැවරී ඇත. ඒ ජනතා යහපත වෙනුවෙන් කටයුතු කිරීමය. පළාත් පාලන ආයතනවලට පත්වන මන්ත්‍රීවරුන් ප්‍රමාණය දෙගුණයක්‌ වී ඇත. මන්ත්‍රී සුඛවිහරණය සඳහා අතිරේක වැය බරක්‌ දැරීමට සිදුව ඇත. මේ සියල්ලම සිදු කරනු ලබන්නේ මහජනයාගේ වරිපනම් මුදලින් බව සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන් අවබෝධකර ගත යුතුය. ජයග්‍රහණයෙන් උදම් නොවී මහජන සේවය පිණිස කැපවිය යුතුය. එමෙන්ම මේ ඡන්ද ප්‍රතිඵලයෙන් හෝ පාඩමක්‌ ඉගෙන යහපාලනය හෙට සිට හෝ ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුවේ නායකයන්ට ප්‍රඥව පහළ විය යුතුය.