Spread the News

bodu

 ඩබ්ලිව්. ලියනාරච්චි Divaina

ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන්ගේ සොහොයුරු දොස්තර සී. ඒ. හේවාවිතාරණ සුධීමතුන්ගේ මූලිකත්වයෙන් ක‍්‍රි. ව. 1919 දී ආරම්භ වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ජාතියේ පැවැත්ම උදෙසා නිර්මාණය කරන ලද්දකි. වසර 2300 කට වැඩි කලක් සම්බුද්ධ ශාසනයට හා සිංහල ජාතියට එල්ල වූ විවිධ උවදුරු වලින් ජාතියත් ශාසනයත් ආරක්ෂා කරගත් ආකාරය ඇත්තෙන්ම පැසසුම් කටයුත්තකි. සිය මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යෑම අරමුණු කර ගනිමින් මීට සියවසකට පෙර මෙම ආයතනය ගොඩ නගන්නට යෙදුණි. අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ යුග මෙහෙවර නිසා ඉදිරියට ඇදුන ලාංකික සම්බුද්ධ ශාසනය පානදුරාවාදයත් සමඟ තවත් කඩඉමක් සනිටුහන් කරමින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ජාතියට අලූත් ජීව පොදක් පොදක් පිඹින්නට සමත් විය.

 ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් හා කැපවීමෙන් බෞද්ධ පුනරුද ව්‍යාපාරය ලක්දිව අතු ඉති ලා වැඩෙන්නට විය. යටත්විජිතවාදීන් දේශීය ගැත්තන් හා එක්ව 1915 මරක්කල කෝලාහලය මුල් කර ගනිමින් එම ප‍්‍රබෝධය යටපත් කිරීම සඳහා එතුමා දඹදිව තලයට පිටුවහල් කිරීමෙන් පුරප්පාඩු වූ පිරිමැසිය නොහැකි නායක භූමිකාවට පණ දීම සඳහා සොහොයුරු දොස්තර හේවාවිතාරණ මැතිඳුන් තවත් පිරිසක් සමග එක්ව සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ගොඩනඟන්නට යෙදුණි.

 පසුකාලීනව සිංහල භාෂා හා සාහිත්‍ය පේ‍්‍රමීන් මෙන්ම නව නිදහස් දේශජ දේශපාලනයක් සඳහා මුල් වූ දේශපාලන පරමාර්ථ මුල් කරගත් ජාතිකවාදීන් ද ඇතුළත්ව පුළුල් නිදහස් ව්‍යාපාරයකට පාර කපන ලද්දේ මෙම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයයි. 1951 දී කෑගල්ලේ පවත්වන ලද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහ සමුළුවේ දී ප‍්‍රකාශයට පත් කරන ලද හා සම්මත කරන ලද දස පනත මෙරට දේශපාලන නායකකාරකාදීන් ට ඉදිරිපත් කරන ලද්දේ එවකට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ගුණපාල මලලසේකර මැතිඳුන් විසිනි. 1952 මැතිවරණයේ දී මැතිවරණ කොට්ඨාස අටක් පමණක් ජයග‍්‍රහණය කරගෙන සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා 1956 දී විශිෂ්ට ජයග‍්‍රහණයක් කරා ගෙන ගෙනයන ලද්දේ මෙම සම්මේලනය විසින් ගොනුකළ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලමුළුවයි.

bodu2

ජාතියේ අධ්‍යාත්මික මග පෙන්වීම සිදු කළ එදා මහ සඟරුවන පෙරටු කරගත් 56 විප්ලවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපායමාර්ගික වැඩපිළිවෙළක් බව ඉතිහාසය පරික්ෂා කිරීමෙන් පෙනේ.

 රෙද්ද බැනියමට හා සිංහල භාෂාවට ලාංකීය සමාජය තුළ යම් පිළිගැනීමක් සිදු වීමත් මහ සඟරුවන සාමාජික වශයෙන් බැහැර කළ නොහැකි බලවේගයක් බවට පත් වන්නේත් මෙම පෙරළියෙනි. 1959 සිදු වූ බණ්ඩාරනායක අගමැතිතුමාගේ අකල් මරණයෙන් හිස් වූ අගමැති තනතුර සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ගුණපාල මලලසේකර ශූරීන්ගේ නම යෝජනා වීමෙන් එදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හා එම බලවේගයේ සමාජ පිළිගැනීම හා ශක්තිය කෙතරම් ද යන්න පිළිබිඹු වීමකි.

 ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක, වෛද්‍ය ආතර් ද සිල්වා, එෆ්. ආර්. සේනානායක, පී. ද එස්. කුලරත්න, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ඇතුළු විශාල පිරිසක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිත්වය දරා සිටීම මෙම ආයතනයේ කීර්තිය කොතරම් ද යන්න වටහා ගැනීමට පහසු වෙයි. සැදැහැති බෞද්ධ මහා උපාසක උපාසිකාවන්ගේ නොමඳ ධන පරිත්‍යාග හා කැපකිරීම් මත මේ මහා පුණ්‍ය ආයතනය මහා වෘක්ෂයක් බවට පත් වූයේ ඉතා කෙටි කලකින් ය.

 බෞද්ධ පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් මුල් අඩ සියවස තුළ සිය මුදල් හා දේපළ මේ පුණ්‍ය ආයතනයට පරිත්‍යාග කරනු ලැබීය. ඉඩම් අක්කර සිය ගණනක් ද කොළඹ හා තදාසන්න නාගරික ප‍්‍රදේශවල ඉහළ වාණිජ වටිනාකමකින් යුත් විශාල ඉඩකඩම් හා රත්නපුර ප‍්‍රදේශයේ මැණික් නිධි සහිත ඉඩම් ද මේ අතර වෙයි. පනස් හයේ දේශපාලන ජයග‍්‍රහණය වතුරේ ගිය අයුරින්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අරමුණු හා පරමාර්ථ බොඳ වී ගිය බවක් පසු කාලයේ දී දිස්වෙයි.

 පුද්ගලික ලාභ අපේක්ෂාවන් නොපැතූ විශිෂ්ට ගණයේ නායකයින් අතින් මේ පුණ්‍යායතනය පුද්ගලික හා වෙනත් පටු පරමාර්ථ ඇති නායකයන් අතට පත්වීම මේ පරිහානියට මුල්ව ඇති බව පෙනේ. විමර්ශනාත්මකව බලන විට පෙනී යන එක් කරුණක් නම් නොමේරූ හා නොවැඩුණු නායකයින් තම ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට හා නම්බුව තකා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය දඩමීමා කොට ගැනීමෙන් මේ පුණ්‍යායතන ගොඩනැගීමට මුල් වූ අරමුණු හා පරමාර්ථ පස්සා දොරින් පලාගොස් ඇති බවයි. මේ හේතුව නිසා උතුම් පරමාර්ථ වෙනුවෙන් අතීතයේ සැදැහැවත් බෞද්ධයින් පරිත්‍යාග කරන ලද විශාල දේපළ ප‍්‍රමාණයක් අද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අහිමිව ඇත. ඇතැම් දේපල දෙවන හෝ තෙවන පාර්ශ්වයක් අතට පත්ව ඇත. ව්‍යාජ නඩුහබ නිර්මාණය කොට දේපළ හා මුදල් අපහරණයට ලක් කර අස්ථානගත කර ඇත. ව්‍යවස්ථා සංශෝධනය කර ගනිමින් ආරම්භක අරමුණු හා පරමාර්ථ යටපත් කොට පටු පුද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීමට ව්‍යුහාත්මක සැකැස්ම වෙනස් කොට ඇත. සම්මේලනයේ නම සමස්ත ලංකා යනුවෙන් ද නාමිකව හඳුනා ගත්ත ද තැන් තැන්වල රොක් ව ඇති කුඩා යාවජීව සාමාජික අතළොස්සකගේ පාලනයට නතු කොට ගෙන තිබේ.

 ලබන අපේ‍්‍රල් තුන් වැනිදා නව නිලධාරී මණ්ඩලයක් සඳහා කෙරෙන නිලවරණය කිසියම් හැරවුමක් සඳහා යොදාගන්නට සාමාජික සාමාජිකාවන් කටයුතු නොකරන්නේ නම් එය ජාතියේ අභාග්‍යයකි. පසුගිය අභාග්‍යසම්පන්න යුගයේදී පාලක කණ්ඩායම් තුළ වගකීම් දැරූ අයත් අලූත් බලාපොරොත්තු තැබිය හැකි නවක කණ්ඩායම් ද තරග වදින මෙවර නිලවරණය ඉතිරිව ඇති ජාතියට හා ශාසනයට ලැදි සාමාජික සාමාජිකාවන් හොඳින් කිරා මැන බලා තම ඡන්දය පාවිච්චි කරනු ඇතැයි ශාසන ලැදි ජනතාව බලා සිටී. මියැදෙමින් තිබෙන බොදු උරුමයේ අවසන් හෝරාවේ ඔබ වෙත පැවරී ඇති යුතුකම අනාගත පරම්පරාවේ මෙම ඉරණම යහපත් කරනු සඳහා සුදුසු අය වෙත පවරනු ඇතැයි ශාසන ලැදි ලාංකීය බෞද්ධයින් බලා සිටී. සමස්ත ලාංකීය සමාජයේ නව ගමන් මගකට ඇද බැඳ ගැනීමට පොදු ජනයාගේ මනස උස් බලාපොරොත්තුවලින් පුරවාලීමට මෙය කදිම අවස්ථාවකි. ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස සාමාජික සාමාජිකාවන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමි. අපේ ජාතියේ හා ශාසනයේ ඉරණම යහපත් අතට වෙනස් කර දෙන ලෙස කුඩා කණ්ඩායමක් වුවද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජික ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.