විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද?
කැලණිය විශ්වවිද්‍යාලය යනු විද්‍යාලංකාරය බව බොහෝ දෙනාට, ඇතැම් විට එහි ගුරුවරුන්ට ද, අමතක වන කරුණකි. මෙයට අවුරුදු පනස්‌දෙකකට පමණ පෙර විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙන් ඊනියා විශ්වවිද්‍යාල තත්ත්වයට පත්නොකරන්නට අද ඒ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවල උගන්වන ඇතැම් ඇදුරන්ට විශ්වවිද්‍යාලයකට ඇතුළුවීමටවත් අවස්‌ථාව නොලැබෙන්නට තිබිණි. ඒ ඔවුන්ට එකල තිබූ ලංකා විශ්වවිද්‍යාලයට (කොළඹ හා පේරාදෙණිය) ඇතුළුවීමට තරම් ප්‍රමාණවත් ලකුණු නොතිබූ හෙයිනි. විෙද්‍යාදයේ හා විද්‍යාලංකාරයේ හැටේ දශකයේ විද්‍යාපීඨ ආරම්භ කිරීමෙන් පසුව කොළඹ හා පේරාදෙණියේ විද්‍යා පීඨවලට ඇතුළුවීමට නොහැකි වූ ඇතැම් අයටද සරසවි වරම් ලැබිණි. අද ඔවුන්ගෙන් ඇතැමකු ඒ විශ්වවිද්‍යාලවලම කථිකාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිවලට පත්ව තිබීම සතුටට කරුණකි. එහෙත් ඔවුන්ගෙන් ඇතැමකුට එහි අතීත සම්ප්‍රදාය අමතක වී ඇත.
අප සැමදාමත් කියා සිටි කරුණක් නම් මේ විශ්වවිද්‍යාලවලට ඊනියා විශ්වවිද්‍යාල ලබාදීමට පෙර ද ඒ ආයතන විශ්වවිද්‍යාල වූ බවය. ඊනියා විශ්වවිද්‍යාල තත්ත්වය ලබා දීම යනු බටහිර විශ්වවිද්‍යාල ආකෘතිය තුළ ඒ ආයතන සිරකිරීමක් හා පූජකවරුන්ගේ විවිධ වර්ණ සහිත ලෝගු තුළ විද්‍යාර්ථීන්ගේ මනස් සිරකිරීමක් පමණක් විය. ඒ ආයතනවලට ඊනියා විශ්වවිද්‍යාල තත්ත්වය ලැබුණේ මූලික වශයෙන් ම ප්‍රාචීන භාෂා හා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද සේවය මුල් කරගෙන නමුත් වැඩිකල් නොගොස් ම ඒ අදාළ අධ්‍යයන අංශවල කඩාවැටීමක් දක්‌නට සිදුවිය. මුලදී ඒ විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යයන පීඨ පවා තිබුණ නමුත් නොබෝ කලෙකින් ම ඒ පීඨ කුඩා අධ්‍යයන අංශවලට පමණක් සීමා විය. එකල විද්‍යාලංකාරයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ විවිධ අධ්‍යයන අංශ තිබී ඇති අතර එය එහි පැමිණි බෞද්ධ අධ්‍යයනය නිසා ම පේරාදෙණියේ මහාචාර්යවරයෙකු වූ තැනැත්තකුගේ උපහාසයට හා අපහාසයට ලක් වී ඇත. ඔහු එහි පැමිණ අභිධර්මය පිළිබඳ මහාචාර්යවරයා කොහේ දැයි ඇසීලු.
බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ උරචක්‍ර මාලය දමාගත් පසු විද්‍යාලංකාරයට එවැනි උපහාස හා අපහාස උරුම විය. මා දැනට වසර අටකට පමණ පෙර කැලණියට ගියේ එය නැවත විද්‍යාලංකාරය බවට පත්කිරීමේ අපේක්‍ෂාවද ඇතිව ය. එහෙත් ප්‍රායෝගිකව ඒ සඳහා වැදගත් යමක් කිරීමට මට අවස්‌ථාවක් නො ලැබිණි. ක්‌වොන්ටම් භෞතිකයට සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් නව අර්ථකථනයක් සැපයීමි, මම අද එය ගණිතය හා ගණිතමය භෞතික විද්‍යාව හදාරණ අවසන් වසරේ සිසුන්ට උගන්වමි. ඉලෙක්‌ට්‍රෝන පථවල ගමන් නොකරන බවත් ඒවා එක් තැනකින් චුත වී තවත් තැනක පහළ වන බවත් ඉගෙන ගන්න ලෝකයේම සිටින කිහිප දෙනා ඒ අය විය යුතුය. මේ සම්බන්ධ ලිපියක් මා කැලණිය විශ්වවිද්‍යාලයට අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් පළකරන ලද සංග්‍රහයට ලියූ නමුත් එය මා හැරෙන්නට කියවා ඇත්තේ මගේ භාර්යාව, සඟරා සංස්‌කාරක හා ලිපිය විමර්ශනය කළ තැනැත්තා පමණක් යෑයි සිතමි. පසුව මම එය ඉලෙක්‌ට්‍රොනික සඟරාවක පළ කෙළෙමි. එයට නම් යම් ප්‍රතිචාරයක් ලැබිණි. එහෙත් බටහිර ක්‍රිස්‌තියානි විද්‍යාඥයෝ ඒ නො පිළිගත්හ. ඔවුන් එය පිළිගනිවී යෑයි මම අපේක්‍ෂා නො කළෙමි. මට අවශ්‍ය වූයේ කැලණියේ සිදුකරන ලද පරීක්‍ෂණ කිහිපයක් පිළිබඳව ලෝකයාට දැනුම් දීම පමණකි. එයට අමතරව සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප ඇසුරෙන් නිර්මාණය කරන ලද විශ්වය පිළිබඳ ආකෘතියක් තැනීමට ද අපි සමත් වීමු. එය බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේ විද්‍යාලංකාරයෙන් දැයට පිරිනැමෙන තිළිණයක් ලෙසය.
එයට අමතරව බටහිර විද්‍යාවේ ක්‍රිස්‌තියානි පදනම ගැන ප්‍රවාද රාශියක් ගොඩනඟා ගත්තෙමි. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දැනුම් ආධිපත්‍යයෙන් අප වැනි රටවල් පෙළන ආකාරය පිළිබඳ කොළඹ දී මා ඇරැඹූ අධ්‍යයනය තවදුරටත් කරගෙන යැමට කැලණියේ දී හැකි විය. බටහිර ක්‍රිස්‌තියානි විද්‍යාවද ඇතුළු බටහිර ක්‍රිස්‌තියානි දැනුමෙන් අප රට නිදහස් කර ගැනීම සඳහා කළ හැකි සියල්ල කැලණියේදී ද කෙළෙමි. දෙමළ ජාතිවාදය පිළිබඳ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ගොඩනඟා තිබූ දැනුම පොඩිපට්‌ටම් කිරීමට අපි සමත්වීමු. කොටි පරාජය කිරීමට හැකිය යන මතය තහවුරු කිරීමට අපි සමත්වීමු. කොටි පිටුපස තිබූ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ බලවේග පිළිබඳ අවුරුදු විසිහපකට පමණ පෙර ඇරැඹි අධ්‍යයනය පරිසමාප්තියකට ගෙන ඒමට කැලණියේ දී හැකි විය. දෙමළ ජාතිවාදය යනු එංගලන්තය ප්‍රමුඛ බටහිර බලවේග හැකි නම් සිංහල බෞද්ධ සංස්‌කෘතිය නැති කිරීමට නිර්මාණය කරන ලද අවියක් පමණක් බව තේරුම් ගැනීමට අපට හැකි විය.
බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ආරම්භය හා එය ක්‍රියාකරන ආකාරය පිළිබඳ අපට අවබෝධයක් ඇති අතර පශ්චාත්නූතනත්වයක් නැති බවත් එය හුදෙක් ඇමරිකානු ආධිපත්‍යය යටතේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය කළමනාකරණය කිරීමක් බවත් අපි තේරුම් ගතිමු. පසුගිය සමයෙහි අප තේරුම් ගත් දෙයක් වූයේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය වැඩිකල් නොගොස් ම කඩාවැටෙන බවය. අද ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසයට බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය වගකිව යුතු බවත් ඔවුන් විසින් ක්‍රිස්‌තියානි නූතනත්වය වෙනුවෙන් ඔස්‌ටේ්‍රලියාවේ, නවසීලන්තයේ, ඇමරිකාවේ මිනිසුන් සමූලඝාතනය කරමින් හා වෙනත් රටවල මිනිසුන් ඝාතනය කරමින් සිදුකරන ලද පාපකර්මවල වන්දිය අද ගෙවීමට සිදුවී ඇති බවත් පාලකයන් අධාර්මික වූ විට දෙවියන් කාලයට වැසි නොවස්‌සන බවත් අපි දනිමු. අද අපට ඇති එකම සැනසීම මේ අධාර්මික මිථ්‍යාදෘෂ්ටික බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය විද්‍යාව සමගින් වැඩිකල් නොගොස් කඩාවැටීමය. අපට වහාම විකල්පයක් අවශ්‍යය.
අපි එකල සිංහල බෞද්ධ ක්‍රමය විකල්පය ලෙස සලකමින් සෛද්ධාන්තිකව ඒ පිළිබඳ හැදෑරුවෙමු. එහෙත් දැන් මාස හයක පමණ කාලයක සිට මේ තත්ත්වය වෙනස්‌වීමට පටන්ගෙන ඇත. එය සිද්ධාන්තයෙන් ප්‍රායෝගිකත්වයට මාරු වී ඇත. විද්‍යාලංකාරයේ විද්‍යා පීඨයේ බටහිර ක්‍රිස්‌තියානි විද්‍යාව උගන්වන අතර ම සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන ප්‍රායෝගිකව හැදෑරීමට අපි කුඩා කණ්‌ඩායමක් පිහිටුවා ගත්තෙමු. අවුරුදු විසිපහක පමණ කාලයක් මා විසින් බොහෝ විට ආචාර්වරයෙකු ලෙස තනියම එහෙත් කොළඹ හා කැලණියේ ශිෂ්‍යයන්ගේ ද ආධාරය සහිතව සෛද්ධාන්තික මට්‌ටමක කරන ලද අධ්‍යයන දැන් තවත් ආචාර්යවරුන් කිහිප දෙනකු සමගින් ශිෂ්‍යයන් ද එකතු කරගෙන ප්‍රායෝගිකව කිරීමට ඉඩක් ලැබී ඇත. මේ කණ්‌ඩායමේ අනෙක් ආචාර්යවරුන් බටහිර විද්‍යාව හා බටහිර දැනුම ගැන මා දරන මතය සමග සම්පූර්ණයෙන්ම එකඟ වන්නේ යෑයි මෙයින් නො කියෑවෙයි. එහෙත් ඔවුහු සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන ප්‍රායෝගික අධ්‍යයනයක යෙදෙති. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපි පැරැණි සිංහල ක්‍රමයට අනුව කුඹුරක් කරන්නෙමු. දැනටමත් එහි කන්න දෙකක් වැඩ කිරීමට අපි සමත්වීමු. විද්‍යා පීඨ භූමියේ ම පැරැණි ක්‍රම අනුව එළවළු ගොවිතැන් කිරීම ඇරැඹුවෙමු. ඒ සියල්ල කෙරෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරවය. එපමණක් නොවේ. එහි ඊනියා කාබනික ගොවිතැනක්‌ද නැත. ඇත්තේ හුදෙක් පැරැණි සිංහල ගොවිතැන පමණකි.
මේ අතර රජරට වකුගඩු රෝගය පිළිබඳ අධ්‍යයනයකට ද අපි යොමු වීමු. එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින අතර ඒ ගැන පසුගිය සතිවල සඳහන් කෙළෙමි. අපට ඇත්තේ පැරැණි සිංහල නිල වෙදකමය. පැරැණි සිංහල බෞද්ධ ජීවන ක්‍රමය ආධ්‍යාත්මිකව ද දියුණු එකක් විය. අද ඇතැමුන් සවස් යාමයේ සමාජ ශාලාවට යන්නාක් මෙන් එකල රජකුමරුවෝ ද භාවනාවෙහි යෙදුණහ. ගැමුණු කුමරු යුද්ධය ජය ගත්තේ ආයුධ ශක්‌තිය මෙන්ම ආධ්‍යාත්මිය ශක්‌තිය ද යොදා ගනිමිනි. සිංහල වෙදකම පමණක් නොව අනෙක් සිංහල දැනුම ලබාගැනීම ද ආධ්‍යාත්මක ගුණ වගාව මත පදනම් වෙයි. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි දැනුම ලබා ගැනීම (සංස්‌කරණය කිරීම) හුදු පංෙච්න්ද්‍රියෙන් පමණක් අරඹන එකක් නොවේ. එය මනස දියුණු කිරීමෙන් සමාධියකට පත්වීමෙන් ද ලබාගත යුතු වෙයි. විද්‍යා පීඨයේ ශිෂ්‍යයන් නිවන අරමුණු කරගෙන භාවනා කරන අතර ඔවුන්ට අදාළ අතුරු ඵල ද හිමි වනු ඇතැයි සිතමි.
අද විද්‍යාලංකාරයේ ඇතැමුන්ගෙන් තර්ජන එල්ල වන්නේ මේ භාවනා වැඩසටහනට හා සිංහල බෞද්ධ විද්‍යාවටය. ඔවුන්ට අනුව අප භාවනා කිරීමේ දී යොදාගන්නා පැදුරු විශ්වවිද්‍යාලයට හරි නැත. අපේ භාවනාව මෛත්‍රී බෝසතාණන් වහන්සේ හා සමග සම්බන්ධය. එක් කණ්‌ඩායමක් ඒ පිළිබඳ හා වෙනත් සිංහල බෞද්ධ දැනුම පිළිබඳවද උපකුලපතිතුමාට පැමිණිලි කර ඇත. විද්‍යා පීඨයේ කාමරයක් සතියේ දිනක් හතරෙන් පසු භාවනාව සඳහා වෙන්කිරීම හා වකුගඩු රෝගය පිළිබඳ ඔවුන් තමන් නොදන්නා ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඔස්‌සේ ප්‍රශ්න නඟති. මෙය විශ්වවිද්‍යාලයට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවේ. විශ්වවිද්‍යාල නඩත්තු වන්නේ මහජන මුදලිනි. මෙරට මහජනයාගෙන් අතිමහත් බහුතරය සිංහල බෞද්ධයෝ වෙති. මේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දාසයන්ට අවශ්‍ය වන්නේ මුලිකව සිංහල බෞද්ධයන්ගේ මුදලෙන් නඩත්තුවන විශ්වවිද්‍යාලවල බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දැනුම පමණක් ඉගැන්වීමටය. ඔවුන්ට අනුව සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන හැදෑරීම විශ්වවිද්‍යාලයේ සම්පත් නාස්‌තියකි. ඔවුන්ට අනුව අප මෙරට මහජන මුදල් වියදම් කළ යුත්තේ යටත්විජිතවාදී ක්‍රිස්‌තියානි දැනුම් ආධිපත්‍යය පවත්වාගෙන යැමටය. විද්‍යාලංකාරයේ භාවනාවට වැට බැඳීමට බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දාසයෝ වෙර දරති. අපි මේ දැනුම් ආධිපත්‍යය බිඳිමු. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දාසයන් ඔවුන්ට හිමිතැන තබමු