Spread the News

හර්ෂා සුගතදාස

රෝගාතුර වූ රසල් ඉන්ග්‍රම්ව කොළඹ මහ රෝහලට කැටුව යෑම සඳහා දේවගැති මැතිව් පීරිස් විසින් ගිලන් රථයක් ගෙන්වූ අතර බොරැල්ල කින්සි පාරේ පිහිටි පූජක නිල නිවසේ සිට මහ රෝහලට යෑමට ගිලන් රථයක් ගෙන්වීම රසල්ගේ පියාගේ කුතුහලයට හේතු විය. දේවගැති මැතිව් පීරිස් කලින් සැලසුම් කළ පරිදි වෛද්‍ය ජෝශප්ගෙන් ලිපියක් රැගෙන ගියද එදින රෝගින් ඇතුළත් කිරීමට නියමිතව තිබුණේ ලිපිය යොමු කළ විශේෂඥ වෛද්‍ය විජේවික්‍රමගේ වාට්ටුවට නොව කායික රෝග විශේෂඥ වෛද්‍ය නාගරත්නම්ගේ වාට්ටුවටය. ජුනි 26 වැනි දින දහවල් 2.00 ට පමණ රසල්ව ඇතුළත් කරන විට එම වාට්ටුවේ සේවයේ යෙදී සිටියේ කුමුදුනි පීරිස් වෛද්‍යවරියයි.

වෛද්‍යවරිය රෝගියාව පරික්ෂා කරන විට මැතිව් පීරිස් දේවගැතිවරයා රසල් ඉන්ග්‍රම්ව ළමා වියේ සිට ඉතා හොඳින් හඳුනන බව පැවසුවේය. එය ඇසූ රසල්ගේ පියා විමතියට පත් වූයේ රසල් දේවගැතිවරයාව හඳුනා ගනු ලබන්නේ 1975 වසරේ සිට බව පියා දන්නා බැවිනි. පියාට ඉඩක් නොතබමින් වෛද්‍යවරියට රෝග විස්තර ඉදිරිපත් කරන මැතිව් පීරිස් දේවගැතිවරයා, රසල්ගේ අග්න්‍යාශයේ ගෙඩියක් ඇති බව වෛද්‍යවරියට තහවුරු කිරීමට උත්සාහ කළ බව පියාට පෙනිණි. වෛද්‍යවරිය රෝගියාගේ ලේ සහ මුත්‍රාවල සීනි පරීක්ෂා කිරීමටත් ඩෙක්ස්ට්‍රෝස් ලබා දීමටත් නියම කළ විට සාකච්ඡාව මැද්දට පැනගත් මැතිව් පීරිස් දේවගැතිවරයා, ඩෙක්ස්ට්‍රෝස් ලබා දුන් විට රෝගියා ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන බව පැවසුවේය. ඉන් පුදුමයට පත් වූ වෛද්‍යවරිය රෝගියාට ඩෙක්ස්ට්‍රෝස් ලබා දෙන ලෙස නියම කළේ දේවගැතිවරයාගේ කතා මායිම් නොකරමිනි.

ඩෙක්ස්ට්‍රෝස් දුන් විට ප්‍රචණ්ඩත්වය පළ නොකළ රසල්, දියවැඩියා රෝගයේ කෝමා තත්ත්වයේ පසු නොවන බවත් මොළයට විෂබීජයක් යෑම හෝ මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදු නොවී ඇති බවත් වෛද්‍යවරිය විසින් තහවුරු කෙරිණි. හෘදය වස්තුවේ සහ පෙණහලු යහපත් ක්‍රියාකාරිත්වයෙන් පවතින බවද තහවුරු කෙරිණි. එදින රාත්‍රි 8.00 වන විට රසල් ප්‍රකෘති තත්ත්වයට පත් විය. විශේෂඥ වෛද්‍ය නාගරත්නම් රසල්ව පරීක්ෂා කිරීමෙන් පසුව මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය දිසානායකට යොමු කළේ රසල් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන බවට පවසා තිබූ බැවිනි. එහෙත් වෛද්‍යවරයා පවසා ඇත්තේ රසල්ට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අනවශ්‍ය බවය. ඉන් අනතුරුව රසල්ව ෂෙරිෆ් ඩීන් විශේෂඥ වෛද්‍යවරයාගේ වාට්ටුවට යොමු කළේ අග්න්‍යාශයේ ගෙඩියක් ඇති බව දැන් වූ බැවිනි.

මේ වන විට ෂෙරිෆ් ඩීන් හා නාගරත්නම් යන වෛද්‍යවරුන්ට කරුණු කීපයක් අවබෝධ විය. ඉන් ප්‍රධාන වූයේ ඩෙක්ස්ට්‍රෝස් දුන් විට ප්‍රචණ්ඩත්වය පළ කරන බව පැවසීමය. අනෙක් කාරණාව වූයේ අග්න්‍යාශයේ ගෙඩියක් තිබෙන බව පැවසීමය.

රෝහල්ගත වූ රසල් සුවපත්භාවයක් පෙන්නුම් කළ අතර වාට්ටුව තුළ එහා මෙහා ඇවිද ගියේය. තනිවම ආහාර ගත්තේය. එහෙත් ඔහු බැලීමට මැතිව් පීරිස් දේවගැතිවරයාත් ඩැල්රිනුත් පැමිණෙන විට ඔහු ඔවුන්ව මඟ හැරියේය. ඩැල්රින් කතා කළ විට තදින් කතා කරන බවත් වාට්ටුවේ හෙදියන්ට පෙනිණි. ජුලි 14 වැනි දින රසල්ව රෝහලෙන් මුදා හැරියේ ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බැවිනි. මැතිව් පීරිස් දේවගැතිවරයා රසල්ව යළි පූජක නිල නිවහනට කැඳවාගෙන ආවේය.

රසල්ගේ සුවදුක් බැලීමට පැමිණි ජෝශප් වෛද්‍යවරයාට රසල් අප්‍රාණිකව සමබරතාව ගිලිහී යන සේ සිටිනු පෙනිණි. වෛද්‍ය ජෝශප් රෝහලෙන් ටිකට් කපාගෙන පැමිණියේ මන්දැයි රසල්ගෙන් විමසූ විට මැතිව් පීරිස් දේවගැතිවරයා ඊට පිළිතුරු දුන්නේය. එය ජෝශප් වෛද්‍යවරයාගේ නොසතුටට හේතු විය. ඩැල්රින්ගේ වැඩිමහල් සොයුරිය රසල්ගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේදී දේවගැති මැතිව් පීරිස් දෙන බෙහෙත් පෙති පානය කළ විට නිදිමත හා අප්‍රාණිකත්වය දැනෙන බව රසල් පවසා ඇත. ඩැල්රින්ගේ වැඩිමහල් සොයුරිය සහ ඇගේ සැමියා සමග මැතිව් පීරිස් දේවගැතිවරයා රසල්ගේ භූමදාන කටයුතු සාකච්ඡා කළේ ඔවුන් දෙපළ පුදුමයට පත් කරමිනි.

ජුලි 17 වැනි දින නැවතත් රසල් සිහිමූර්ජා විය. එහෙත් එදින රසල්ව රෝහල්ගත කළේ නැත. ජුලි 18 වැනි දින ගිලන් රථයක් ගෙන්වා රසල්ව කොළඹ මහ රෝහලට රැගෙන යෑමට පෙර මැතිව් පීරිස් දේවගැතිවරයා රසල් නිදා සිටි යහන සමීපයට ගොස් යහන අද්දරින් කුරුසය තබා ඉටිපන්දම් දල්වා යාච්ඥා කිරීමට පසුබට වූයේ නැත. එය අන්තිම ආලේපය ලබාදෙන අවස්ථාව සිහිගන්වන දසුනකි. දැඩි සිහි මුර්ජා තත්ත්වයෙන් පසු වූ රසල්ගේ රුධිරය පරික්ෂා කළ රසායනාගාර තාක්ෂණ ශිල්පියාට සිය දෙනෙත් අදහාගත නොහැකි විය. ඒ රසල්ගේ රුධිරයේ සීනි මට්ටම "0" (බින්දුව) වී තිබූ නිසාය. සිය සේවා කාලය තුළ රුධිරයේ සීනි මට්ටම "0" ලෙසින් වාර්තා වූ එකම රෝගියා රසල් බව ඔහු සඳහන් කර තිබිණි.

මේ වන විට රසල්ගේ මොළය යළි ප්‍රකෘති ආකාරයට පත් කළ නොහැකි මට්ටමෙන් හානි වී ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. ඩෙක්ස්ට්‍රෝස් දෙන විටදීත් රසල්ගේ රුධිරයේ සීනි මට්ටම අවසාන්ද්‍රණය වීම වෛද්‍යවරුන්ට ප්‍රහේළිකාවක් විය. රසල්ට ආහාර ලබා දුන්නේ නාසයට සවි කළ බටයක ආධාරයෙනි. බොහෝ අවස්ථාවලදී රසල්ට ආහාර රැගෙන එනු ලැබුවේ මැතිව් පීරිස් දේවගැතිවරයාය. ඔහු රැගෙන ආ කෑම ශරීරගත වන විට රසල්ගේ සිරුරෙන් අධික ලෙස දහදිය ගැලු බවත් රසල්ගේ දෙනෙත් උඩ ඉන්දවු බවත් රසල්ගේ ඇඳට එහා සිටි රෝගින්ගේත් හෙදියන්ගේත් නිරීක්ෂණයට ලක් විය. දේවගැති මැතිව් පීරිස් සහ ඩැල්රින් රසල්ව බැලීමට පැමිණ ඔවුන් පිටත් වී ගිය පසු රසල්ගේ අතේ ප්ලාස්ටර් කැබලි 2 අලවා එන්නත් කර තිබූ ඉඳිකටුව පිටතට පැමිණ තිබූ බවත් ප්ලාස්ටර් කැබලි දෙකෙන් එකක් ගැලවී තිබුණු බවත් හෙදියන්ගේ නිරීක්ෂණයට ලක් විය. ඇතැම් අවස්ථාවලදී සේලයින් වතුරෙන් ඇඳ ඇතිරිලි තෙමී තිබූ බවත් සේලයින් ශරීරගත වීම වසා තිබූ බවත් හෙළි විය.

1978 ජුලි 21 වැනි දින වන විට රසල්ගේ පෙණහලු නරක් වීමට පටන් ගත්තේ ඔහු ගැන කිසිම ආකාරයකින් බලාපොරොත්තු තබා ගත නොහැකි ආකාරයටය. වෛද්‍ය මතය වූයේ රසල්ගේ රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වීම සිදු වන්නේ ඊට බලපාන කාරකයක් ශරීරගත වීමෙන් බවය. 1978 අගෝස්තු 10 වැනිදා රසල් ඉන්ග්‍රම් ජීවිතයෙන් සමු ගත්තේය. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විට අග්න්‍යාශයේ ගෙඩියක් නොමැති බව හෙළි විය. රසල්ගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂක විසින් ලබා දී තිබුණේ විවෘත තීන්දුවකි.

රසල්ගේ වාට්ටු භාර වෛද්‍යවරයා රසල්ගේ මරණයේ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය බව මරදාන පොලිසියට දන්වා සිටියේය. එහෙත් ඩැල්රින්ගෙන් කටඋත්තරයක් ගැනීමෙන් ඔබ්බට යමක් සිදු වූයේ නැත.

රසල්ගේ පියාට අවශ්‍ය වූයේ පුතුගේ අවසන් කටයුතු අතුරුගිරියේ සිදු කිරීමටය. නමුත් මෘතදේහයේ නිත්‍යනුකූල අයිතිය හිමි වන්නේ විවාහක බිරිඳටය. මේ අනුව රසල්ගේ මෘතදේහය ඩැල්රින්ට හිමි විය. ඩැල්රින් වෙනුවෙන් අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමේ සම්පූර්ණ අයිතිය මැතිව් පීරිස් දේවගැතිවරයා පවරාගෙන තිබිණි. රසල්ගේ පියා ඇතුළු නෑදෑ හිතවතුන්ට සිදු වූයේ පිටස්තරයන් මෙන් පසෙකට වී බලා සිටීම පමණි. රසල්ගේ මෘතදේහයේ අවසාන කටයුතු බොරැල්ලේ ඒ.එෆ්. රේමන්ඩ් වෙත පවරා තිබුණි. රසල්ගේ ඥාතින් දේවගැති මැතිව් පීරිස්ගෙන් නැවත නැවත ඉල්ලා සිටියේ රසල්ගේ මෘතදේහය අතුරුගිරියේ නිවසට රැගෙන යෑමටය. එහෙත් එය ව්‍යවර්ථ විය.

මේ අතරවාරයේදී "මේ අය ටිකෙන් ටික වස දීලා මගේ පුතාව මරා ගත්තා." යනුවෙන් වේදනාබර විලාපයක් නැඟුණේ රසල්ගේ මවගේ මුවිනි. ඒ සමගම අවට නොසන්සුන් තත්ත්වයක් ඇති විය. දේවගැති මැතිව් පීරිස් මරදාන පොලිසිය දුරකතනයෙන් අමතා වහාම එහි ගෙන්වාගෙන පොලිස් ආරක්ෂාව තර කරනු ලැබීය. රසල්ගේ ඥාති මාමා බලහත්කාරයෙන් එහි ඇතුළු වී මැතිව් පීරිස් දේවගැතිවරයාට තර්ජනය කළ බව දැන්වූ නිසා ඥාතියාව පොලිස් අත්අඩංගුවට ගැනිණි. අවමංගල්‍ය උත්සව සභාවේදී රසල්ගේ ඥාතිහු ඩැල්රින්ව කොන් කළහ. ඇයව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළහ. ඩැල්රින් රැඳී සිටියේ මැතිව් පීරිස් දේවගැතිවරයා සමීපයෙනි.

අගෝස්තු 12 වැනි දින බොරැල්ල කනත්තේ ඇන්ග්ලිකන් සභාවට අයත් භූමියේ රසල් ඉන්ග්‍රම්ගේ අවසන් කටයුතු සිදු විය. කනත්තේදී සිදු කෙරෙන අවසාන දේව මෙහෙයෙන් පසු මෘතදේහය බහාලු පෙට්ටිය විවෘත කරන ලෙස රසල්ගේ සොයුරු ලියෝන් ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. මෘතදේහය භූමදාන කරන අවස්ථාවේදි ඩැල්රින් ක්ලාන්ත වූ විට ඇයව බදාගෙන සැනසුවේ මැතිව් පීරිස් දේවගැතිවරයාය.

(මතු සම්බන්ධයි)

Silumina- Saturday, 06 Aug 2022