අපට අනුර කුමාර දිසානායක මහතගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.
1987 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු – ලංකා ගිවිසුම, පළාත් සභා පිහිටුවීමෙහිලා මූලික විය. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 154 ව්‍යවස්ථාවට 154(අ) සිට 154(ඩ) දක්වා අලුතින් පරිච්ඡේදයක් ඇතුළත් කොට පළාත් සභා පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සකස් කෙරිණි. ඒ සඳහා 1987 අංක 42 දරණ පළාත් සභා පනත ද සම්මත කෙරිණි.
මේ පළාත සභා පිහිටු වීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සෘජුවම ක්‍රියා කළහ. පළාත් සභා පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට විරුද්ධව 1987 නොවැම්බර් 09 ජවිපෙ මඟින් පළමු ජාතික විරෝධතා දිනය පවත්වන ලදී. ජනතාවි මුක්ති පෙරමුණ ඉන්දු- ලංකා ගිවිසුමට සහ පළාත් සභා පිහිට වීමට සෘජුව විරුද්ධ විය. ඉංදු- ලංකා ගිවිසුම යටතේ පිහිට වූ පළාත් සභාවලට සෘජුව ම විරුද්ධ ව අරගල කළ ජවිපෙ පක්ෂය, අද එහි නායක අනුර කුමාර දිසානායක මහතා, 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරනවා යැයි කීම පුදුම සහගත ය. එය දෙබිඩි පිළිවෙතක් නොවන්නේ ද? මේ දෙබිඩි පිළිවෙත කිසි ලෙසකි ම ලඝු කළ නොහැක.
1987, 1988, වර්ෂවල ජනතා විමුක්ති පෙරමුණ දේශපානයෙහි ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ කතිකාවන්හි ඉංදු ලංකා ගිවිසුම සහ පළාත් සභා පිහිටුවීම දැඩිව විවේචනයට ලක් කෙරිණි. එම විවේචනාත්මක ඉගැන්වීම් මගින් තරුණ තරුණියන් තම පක්ෂයට සාමාජික කර ගැනීම ද සිදු නො වුනායැයි නො කිව හැකි ද? එසේ බැදුණු තරුණ තරුණියන්ට පළාත් සභා පිහිටුවීමට විරුද්ධවීමේ ඇති අයිතිය සහ එසේ විරුද්ධ විය යුතු බවට ඉන්දියානු ව්‍යාප්ත්වාදය යටතේ කරුණු කියා එම ඉගැන්වීම් හරියයැයි සාධාරණයැයි කියා, සිතා පිළිගෙන තම පක්ෂයට බැදුනු දහස් සංඛ්‍යාත තරුණ පිරිස අතරින් කී දහසක් නම් එවකට රාජ්‍ය මර්දනය හමුවෙහි ජීවිත පරිත්‍යාග කර ඇත් ද? එදා එසේ කියා මෙදා මෙසේ කීම බරපතල දේශපාන වංචාවක් බව කිව යුතු ය. ඒ ඉගැන්වීම් පිළිගත් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්, 1987 1988,1989,1990,1991 වර්ෂවල ජීවිත අහිමි කර ගත් දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් මහත් ම රැවටීමකට, වංචනික ඛේදවාවාකයකට ඇද දැමූ බව ද පැහැදිලි ය.
ජනතා විමුක්ති පෙරමුණ නායකයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා මේ දෙබිඩි පිළිවෙළ ගැන රටේ ජනතාවට උත්තර දිය යුතු ය. පිළිතුරු දිය යුතු ය.
ආරියතිලක
2024.06.13