සමාජයේ විවිධ අංශ නවකවදය නතර කරන ආකාරය ගැන වසර ගණනාවක සිට කතා කළද එය නතර වී නැත. නවකවදය හේතුවෙන් වන මරණද නතර වී නැත. නවකවදය නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමේදී අහිතකර බලපෑම් ඇතිකරන බවටද සමාජයේ විවිධ අංශ අතර කතිකාවක් පවතී.

නවකවදය දෙන සිසුන්ට ද‍ඬුවම් කිරීමෙන් හෝ සරසවියෙන් නෙරපීමෙන් හෝ නීති පැනවීමෙන් පමණක් නවකවදය සරසවියෙන් ඉවත් කළ නොහැකිය.

ආණ්ඩුවට හෝ සරසවි පරිපාලනයට හෝ පොලීසියට පමණක් නවකවදය නතර කිරීමේ පියවර ගැනීමද ප්‍රායෝගික නොවේ.
නවකවදය නතර කරවීම සරසවි සිසුන්ට, සරසවි සිසුන්ගේ දෙමාපියන්ට, සරසවි ආචාර්ය මහාචාර්යවරුන්ට, උපකුලපතිවරුන්ට, රජයට  සහ පුරවැසියන්‍ට අයත් වගකීමක් සහ යුතුකමක් වෙයි.

තම තමන්ගේ සරසවිවල සිසු දරුවන්ගේ ජීවිත නවකවදයෙන් ආරක්ෂා කරදීම සරසවි උපකුලපතිවරුන්ගේ, පීඨාධිපතිවරුන්ගේ, නේවාසිකාගාර පාලකයන්ගේ සහ සරසවි ආරක්ෂක අංශයේ ව්‍යවස්ථාපිත යුතුකමකි. ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය අදාල වෙයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය මෙසේ දක්වා ඇත.

මෙතෙක් හෝ මීට පසු පනවනු ලබන යම් ආඥාපනතකින් හෝ නීතියකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට නොසලකා හරින හෝ නොකර හරින නැතහොත් එබඳු ආඥාපනතක හෝ නීතියක විධිවිධාන ඕනෑවටම නොපිළිපදින හෝ කඩකරන තැනැත්තෙකුට, එබඳු නොසලකා හැරීමකට නොකර හැරීමකට, නොපිළිපැදීමකට හෝ කඩකිරීමකට මේ සංග්‍රහයෙන් හෝ වෙනත් ආඥාපනතකින් හෝ නීතියකින් දඬුවමක් විශේෂයෙන් සඳහන් කොට නොමැති විටකදී දඩයකින් දඬුවම් කළ යුතුය.”

1994 අංක 22 දරන වධ දීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය පනත, 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙතත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ශ්‍රී ලංකාවේ පවතින නීතිය. නීති ආරක්ෂා කිරීම සහ අනුගතවීම පුරවැසියන්ගේ යුතුකමකි.

සරසවිවල හෝ සරසවි ශිෂ්‍යයන්ට නවකවදය සිදුකරන බවට සාක්ෂි තිබෙන අවස්ථාවක අදාල සරසවියේ උපකුලපති, අදාල පීඨාධිපති, අදාල නේවාසිකාගාර පාලක සහ සරසවි ආරක්ෂක අංශයේ අදාල නිලධාරීන්ට එරෙහිව 1994 අංක 22 දරන වධ දීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය පනත, 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙතත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ඇතුලු වෙනත් නීති සමඟ කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ අපරාධ නඩු පැවරිය හැකිය. 

අපරාධ නඩු පැවරීමේ කාර්ය පටිපාටිය 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 වගන්තියේ දැක්වෙයි. ඒ යටතේ පොලීසිය විසින් අපරාධ නඩු පවරන්නේ නම් 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.ආ. වගන්තිය යටතේද නීතීඥවරයෙකු මගින් අපරාධ නඩු පවරන්නේ නම් 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.අ. වගන්තිය යටතේද සිදුකළ හැකිය. 

යම් අපරාධයක් සිදුවූ විට නීතිය අතට ගැනීම නොව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් අපරාධයට දඬුවම් ලබා දීම සහ අපරාධ වළක්වා ගැනිම කළ යුතුය.

ආසන්නතම සිදුවීමක් වන සබරගමුව සරසවියේ සියදිවි නසාගත් ශිෂ්‍යයාගේ මරණයට නවකවදය හේතුවී ඇති බවට ලිඛිත, වාචික හෝ පරිගණක සාක්ෂි තිබේනම් සබරගමුව සරසවියේ අදාල බලධාරීන්ට එරෙහිව ව්‍යවස්ථාපිත යුතුකම ඉටුනොකිරීමේ වරද දක්වා ඇති දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.ආ. වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු පැවරිය හැකි අතර පොලීසිය විසින් නඩු නොපවරන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.අ. වගන්තිය යටතේ නීතීඥවරයෙකු මගින් යම් පුරවැසියෙකුට මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු පැවරිය හැකිය.

අධිකරණයේ පවරන නඩුවකදී සරසවි පරිපාලනයට එයට මුහුණදී ඔවුන්ගේ ක්‍රියාවන් නීතියට අනුකූලව කර ගැනීමට සිඳුවෙයි.

නවකවදය නතර කිරීමට ගත හැකි අනෙක් විසඳුම වන්නේ මූලික නීතිය විෂය නමින් පොදු විෂයක් හඳුන්වා දී උසස් පෙළට පෙනි සිටින සිසුන් එම විභාගයෙන් 40% කට වඩා ලබා ගැනීම සරසවි ප්‍රවේශයට අනිවාර්යය කිරීමය. එවිට නීතියට අනුකූල වීමේ වැදගත්කම, ඉන් ලැබෙන ආරක්ෂාව, තමන්ගේ නෛතික අයිතිවාසිකම්, යුතුකම්, වගකීම් දන්නා නෛතික බලවන්ත  ප්‍රජාවක් බිහිකර ගත හැකිය. එමගින් නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ Ignorantia juris non excusat) යන්න ප්‍රායෝගික තත්ත්වයක් බවටද පත් වෙයි.

මෙවැනි විසඳුම් ක්‍රියාවට පත් නොකළහොත් නවකවදය හේතුවෙන් සරසවි සිසුන් මියයාම පුරුද්දක් ලෙසද, සරසවියෙන් නිදහස් චින්තනයක් සහිත උපාධිධාරීන් බිහි නොවීමද, රටේ සංවර්ධනය අඩාල වීමද, අවිචාරවත්, අවිචාරශීලී,අනුකාරක සහ නීතිය ආගන්තුක ප්‍රජාවක් බිහිවීමද දිගටම සිඳුවනු ඇත.

http://neethiyalk.blogspot.com/2025/05/2.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.05.02)

Protected by Security by CleanTalk