භික්ෂු සංඝයාගේ විනය ආඥාවකට විරුද්ධ හෝ ඒ විනය ආඥාව ගැන කරුණු දනුවත් කිරීමට විරුධව හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ හැකි ද? අධිකරණ ක්‍රියා මාර්ග ගත හැකි ද?
ආරියතිලක
2025.08.28
සම්බුද්ධ ශාසනය තථාගත සම්මා සම්බුදු රජුන් සතු ය. තථාගතයන් වහන්සේගේ ශාසනය තුන් ආකාර ය.
- පර්යාප්ති
- ප්‍රතිපත්ති,
- ප්‍රතිවේධ
පර්යාප්ති ශාසනය නම් ධර්ම විනය ය. ධර්ම-විනයට, ථේරවාද සූත්‍ර, විනය , අභිධර්ම අයන තුන් පිටකය හා තත් පිටකයන්ට ලියන ලද අට්ඨ කථා, ටීකා, ගන්ථ ද ඇතුලත් වේ.
මෙහි ථේරවාද යන විශේෂණය යෙදුවේ ථේරවාදයෙන් පිට කිසිදු භාවිතාවක් පර්යාප්ති ශාසනයට අයත් නො වේ.
එසේ නම් මහායාන ග්‍රන්ථ පර්යාප්ති ශාසනයට අයත් නැති ද? නැත;
මහායාන ග්‍රන්ථ කිසිසේත් ම පර්යාප්ති ශාසනයට අයිති නැත. සම්බුද්ධ දේශනාවට පටහැනි ය.
එසේ කීමට සාධක තිබේ ද? පැහැදිලි සාධක තිබේ. (1 අධෝ ලිපිය බලන්න.)
මේ තුන් ශාසනයම පවතින්නේ විනය මත ය. “විනයෝ නාම සාසනස්ස ආයු” “ විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති”
“විනය නම් ශාසනයාගේ ආයුෂ ය.”
විනය පිහිටීම ශාසනය පිහිටීම වේ”
විනය යනු සම්බුද්ධ නීතීය ය.
සම්බුද්ධ නීතිය කවරෙක් උදෙසා ද?
තථාගත සම්බුදු රජුන්ගේ ඖරස පුත්‍ර වූ භික්ෂූන් වහන්සේලා උදෙසා ය. ගිහි භවතුන් සඳහා නො වේ.
භික්ෂුභාවය හෙවත් පැවිදි බව කවර අයෙකු සතු ද? පැවිදි බව භික්ෂු සංඝයා සතු ය.
“යං නිස්සාය මහාරාජ, අම්හාකං ආචරියුපජඣායාන්ඤ්ච මම ච පබ්බජ්ජා ච උපසම්පදා චාති”
“අපගේ ආචාර්යූපජ්ඣායයන් වහන්සේගේ ද මාගේ ද පැවිදි උපසම්පදාව යමෙක් නිශ්‍රය කොට වන්නේ ද ඒ භික්ෂු සංඝයා වේ.”
ඉහතින් දැක්වූයේ නිග්‍රෝධ සාමනේර මහ අරහතුන් වහන්සේ විසින්, භික්ෂු සංඝයා පිළිබඳව විමසීමට, අශෝක මහරජතූමට දෙන ලද පිළිතුර ය.
භික්ෂු සංඝයා වහන්සේලාගේ පැවත්ම ඇත්තේ තථාගතයන් වහන්සේ පනවා වදාරණ ලද විනය මත ය.
මෙයට පිටින්, භික්ෂු සංඝයා වහන්සේලාගේ පැවැත්ම, ලෝකයේ රාජ්‍ය නීති, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති හෝ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය ආදී සම්මුති ප්‍රඥප්ති වලින් හෝ
කිසිදු අධිකරණ නීතියකින් පාලනය නො වේ. විනය ශික්ෂාවන්ට පටහැනි නො වන ලෙස රාජ්‍ය නීතියට අවනත වීම ද බුදු රදහු භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළහ. ඒ විනය ප්‍රඥ්ප්ත්තීන්ට පටහැනි නො වන ලෙස ය.
නිකාය යනු කුමක්ද?
නිකාය යනු වර්තමාන කාලයේ සම්බුද්ධ ශාසනයේ, පැවිදි උපසම්පදා ගුරු-ආචාර්ය පරම්පාරාව ය. පැවිදි උපසම්පදා ගුරු ආචාර්ය පරම්පරාව නොමැතිව සම්බුද්ධ ශාසනයේ පැවතීමක් නැත්තේ ය. එයට සම්බුධ ශාසනයේ “චීවර පරම්පරාව” යයි කියත්. හෙවත් සිවුරු පරපුර ය.
භික්ෂු චීවරය හෙවත් සම්බුද්ධ ශාසනයේ පැවිදි සිවුර කවරු සතු ද?
භික්ෂු චීවරය සම්මා සම්බුදුරදුන් සතු ය. සම්බුදු රදුන් විසින් ප්‍රථම කොට පැවිදි කරන ලද සෝතාපන්න වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසාණන් විසින් කරන ලද අයැදීම අනුව , පැවිදි කිරීමට චීවරය දෙන ලද්දේ සම්බුදු රදුන්ගේ බල මහිමයෙන් ය. ඒ ඒහි භික්ෂු පැවිද්ද හා උපසම්පදාව ලෙස ය.
තථාගත සම්බුදු රදුන් විසින්
“එහි භික‍්ඛූ. ස‍්වාක‍්ඛාතො ධම‍්මො. චර බ්‍රහ‍්මචරියං සම‍්මා දුක‍්ඛස‍්ස අන‍්තකිරියායා”ති.
යන බුදු වදන වදාරන ලද සැනින්, ඉද්ධ් බලයෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසාණන්ගේ තවුස් වෙස අතුරුදහන් වී, ඉබේම සිවුරු පෙරවී, පාත්‍රා සහිතව පැවිදි වේශය, භික්ෂු වේශය පහළ විය. එය ම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ තෙරුන්ට උපසම්පදාව විය. එතැන් පටන් ප්‍රථම ධර්ම දූත සැට නමට ද “එහී භික්ෂු” භාවයෙන් පැවිද්ද හා උපසම්පදාව, තථගතයන් වහන්සේ විසින් දෙන ලද සේක.
ඒ තථාගතයන් වහන්සේගේ සම්බුදු බල මහිමයෙන් ය. එම පැවිදි උපසම්පදාවට “එහි භික්ෂු පැවිදි උපසම්පදාව” යයි කියනු ලැබේ
භද්‍ද වර්ගිය කුමාරවරු තිස්දෙනා ද, උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප ගයා කාශ්‍යප ප්‍රධාන කොට දහසක් වූ ජටිල පිරිවර ද, උපතිස්ස කෝලිත පිරිවැජි දෙදෙන සහිත දෙසිය පනසක් වූ පිරිවැජි පිරිස ද යන සියලු පිරිස, ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලත් ක්ෂීණාශ්‍රව මහ අරහත් උතුමෝ වෙති.
තථාගතයන් වහන්සේ, භික්ෂූන් වහන්සේලා වෙත, පැවිදි වීම පිණිස,පැමිණෙන කුලපුත්‍රයන්ගේ හා භික්ෂූන්ගේ පාසු විහරණ පිණිස, කුල පුත්‍රයන් පැවිදි කිරීමට හා උපසම්පදා කිරීමට අනුදැන වදාළහ. ඒ සරණ ගමන පැවිද්ද හා උපසම්පදාව ලෙසිනි. (2.අධෝ ලිපි )
“අනුජානාමි භික්ඛවෙ, තුම්හෙව’දානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ උපසම්පාදෙථාති”
(මහාවග්ග පාලි- මහා ඛන්ධක)
“මහණෙනි, මෙකල තෙපි ම ඒ ඒ දිසාවන්හි ම ඒ ඒ ජනපදයන්හි ම පැවිදි කරවු. උපසම්පදා කරවු යි අනුදනිමි.”
ඒ පැවිදි උපසම්පදාව සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ අනුදැනීම ය. එවක් පටන් භික්ෂූන් වහන්සේලා විසින් ද තථාගතයන් වහන්සේගේ ආඥාවෙන් පැවිදි උපසම්පදාවෙන් පැවැතෙන චීවර පරම්පරාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදී. බුද්ධ ආඥා සහිත ශාසනයෙහි, චීවර හිමිකම තථාගත සම්බුදු රදුන් සතු ය.
තථාගත සම්බුදු රදුන් විසින්, හේතූ ඇති වූ කල, සරණගමන උපසම්පදාව ප්‍රතික්ෂේප කොට “ඤත්තිචතුත්ථ කර්මයෙන්” උපසමපදාව අනුදැන වදාළ සේක.
ඒ බව බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“යා සා භික‍්ඛවෙ, මයා තීහි සරණගමනෙහි උපසම‍්පදා අනුඤ්ඤාතා, තාහං අජ්ජතග‍්ගෙ පටික්ඛිපාමි. අනුජානාමි භික්ඛවෙ ඤත්තිචතුත්ථෙන කම්මේන උපසම්පදං.”
(මහාවග්ග පාලි -මහා ඛන්ධක)
“මහණෙනි, මා විසින් තුන්සරණ ගමනින් යම් ඒ උපසම්පදාවක් අනුදන්නා ලද ද, ඒ උපසම්පදාව අද පටන් මම ප්‍රතික්‍ෂේප කරමි. ඥප්තිචතුර්ථකර්මයෙන් උපසම්පදා කිරීම අනුදනිමි”
සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ආයාචනයෙන් ගතයුතු බව
සම්බුදු සසුනේ පැවිදි වන කුල පුත්‍රයන් සියලු දෙනා ම ගුරු භික්ෂූන් වහන්සේලා වෙතින් පැවිද්ද ඉල්ලා ලබා ගත යුතු ය.
ආයාචනයකින් තොරව පැවිදි කිරීමක් නැත්තේ ය. බලෙන් අල්ලා පැවිදි කිරීමක් ද ශාසනයෙහි නැත. සම්බුදු සසුනේ පැවිදි වී ඇති සීයලු භික්ෂූන් වහ්න්සේලා, ස්වකීය ඉල්ලීම මත ම ගුරු උපාධ්‍යායන් වහන්සේලා විසින් පැවිදි කරන ලදී.
පැවිදි කරන ලෙස ඉල්ලා සිටින්නේ කුමන අරමුණ ඇතිව ද?
පැවිදි කරන ලෙස ඉල්ලා සිටින අරමුණ කුමක් සඳහා ද යන්න, පැවිද්ද ඉල්ලීමේ වාක්‍යයෙහි අන්තර්ගත ය. එය විමසීම මෙයට ප්‍රමාණවත් වේ.
ඔකාසා: අහං භන්තෙ, පබ්බජ්ජං යාචාමි.
දුතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං යාචාමි.
තතියම්පි අහං භන්තේ, පබ්බජ්ජං
යාචාමි.”
ඉක්බිති මේ වාක්‍යය කියා උපාධ්‍යායයන් වහන්සේ අතට සිවුරු පිළිගැන්විය යුතු ය.
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය~
දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය~
තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය~”
“සකල දුඃඛයන් ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය. මතු දැක්වෙන වාක්‍යය නැවත කියා නැවත ද පැවිද්ද ඉල්ලීම කළ යුතු ය.
“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය~
දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය~
තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාදාය~”
“සකල දුඃඛයන් ගේ නිවීම වන නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස තෙල සිවුරු දී අනුකම්පා කොට මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය.
සාමණේර භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව ද ස්වකීය ඉල්ලීම මත ම, භික්ෂු සඞඝයා වහන්සේලා විසින් සිද්ධ කරන සේක. සම්බුද්ධ ශාසනයේ පැවැත් ම උපසපන් භික්ෂූන් වහන්සේලා කෙරෙහි ම පිහිටා ඇත්තේ ය. සම්බුදු රදුන්ගේ ශාසනයේ ජීවය, උපසපන් භික්ෂූන් වහන්සේලා ම වෙත්.
ඉල්ලීමෙන් ම උපසම්පාදාව දිය යුතු බව විනය පාලියෙහි තථගතයන් වහන්සේ මෙසේ වදාළහ.
“න භික‍්ඛවෙ අයාචිතෙන උපසම‍්පාදෙතබ‍්බො. යො උපසම‍්පාදෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි භික‍්ඛවෙ, යාචිතෙන උපසම‍්පාදෙතුං. එවං ච පන භික‍්ඛවෙ යාචිතබ‍්බො: තෙන උපසම‍්පදාපෙඛෙන සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: ‘සඞ‍්ඝං භන‍්තෙ, උපසම‍්පදං යාචාමි, උල‍්ලුම‍්පතු මං භන‍්තෙ සඞ‍්ඝො අනුකම‍්පං උපාදායා’ති. දුතියම‍්පි යාචිතබ‍්බො -පෙ- තතියම‍්පි යාචිතබ‍්බො.”
(මහාවග්ග පාලි- මහා ඛන්ධක)
“මහණෙනි, සඞ්ඝයා නො ඉල්ලනලදහු විසින් උපසපන් නො කළ යුතු ය. යමෙක් උපසපන් කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ. මහණෙනි, ඉල්ලනලදහු උපසපන් කිරීම අනුදනිමි. මහණෙනි, මෙසේ ඉල්ලිය යුතු ය. උපසම්පදාපේක්‍ෂක වූ මහණහු විසින් සඞ්ඝයා වෙත පැමිණ උතුරුසඟසිවුර එකස් කොට පොරවා ගෙණ භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘ස්වාමීනි, සඞ්ඝයාගෙන් උපසම්පදාව ඉල්ලමි. ස්වාමීනි, මා කෙරෙහි අනුකම්පා කොට මා සාමණේරභාවයෙන් උදුරා භික්‍ෂුභාවයෙහි පිහිටුවනු මැනවි’ යි මෙසේ කිය යුතු ය. දෙවනවර ද ඉල්ලිය යුතු ය. තෙවනවර ද ඉල්ලිය යුතු ය.”
පැවිදි කරන ලෙස හා උපසම්පදා කරන ලෙස ඉල්ලීමෙන් ම කළ යුතු බව මේ දක්වා අනුපිළිවල විස්තර දැක්වූයේ, පැවිදි වූ පසු භික්ෂූන් වහන්සේලාට, සම්බුදු රදුන් විසින් වදාරන ලද ධර්ම-විනයට පටහැනි ලෙස, අත්තනෝමතියක් කිරීමට හිමිකම් නැති බව ද, ස්වකීය අභිමතයට හිතෙන හිතෙන ආකාරයට සම්බුද්ධ දේශනාව විකෘති වන ආකාරයට ධර්ම විනයට අරුත් කීමට අයිතියක් නැති බව ද, තථාගතයන් වහ්න්සේ විසින් පනවා වදාරන ලද විනය ශික්ෂාවන්ට පටහැනි ලෙස දිවි පවත්වමින්, ගිහියන්ට ද සාධාරණ දෑ කරමින් කටයුතු කිරීමට ද නව භික්ෂු නිකායක් ඇති කරමින්, පැවිදි වූ මුල් ගුරු ආචාර්ය පරම්පරාවට නඩු පැවරීමට ක්‍රියා කරන බවට දැන්වීම, වන්දි අයකර ගැනීමට ක්‍රියා කිරීම හා වන්දි අය කර ගැනීමට ද, සම්බුද්ධ ශාසනයේ කිසිදු භික්ෂූන් වහන්සේ නමකට අයිති නැති බව පෙන්වීම පිණිස ය.
- සියලු ම කුල පුතයන් පැවිදි වී ඇත්තේ, තථාගතයන් වහන්සේ සන්තක ශාසනයෙහි ය. ශාසනයේ සියලු බලමහිමය සම්බුදු රජුන් සතු ය. ධර්මය විනය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු, ශාස්තෘ වනවා ඇත.
- පැවිදි වීම ස්වකීය ඉල්ලිීම අනුව ම ය. උපසපන් වීම ද ස්වකීය ඉල්ලීම අනුව ය. ඒ ඉල්ලීමෙන් කියවෙන්නේ;
“සකල දුඃඛයන් ගේ නිවීම වන නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස තෙල සිවුරු ගෙන, එසේ ම තෙල සිවුරු දී අනුකම්පා කොට මා පැවිදි කරනු මැනවි.” යනුවෙන් ය.
උපසම්පදාව ද ඉල්ලීමෙන් සිදු වී ඇත. ඒ ඉල්ලීම අනුව සාමණේර පැවිදි බව හා උපසම්පදා භික්ෂුභාවය යන දෙයාකාර පැවිදි දිවිය, තථාගතයන් වහන්සේගේ අභිමතාර්ථ සාක්ෂාත් කරනු පිණිස වන්නේ ය.
- සම්බුදු රදුන්ගේ අභිමාතාර්ථයට පිටින් කිසිදු කර්තව්‍යයකට, තථාගතයන් වහන්සේගේ ශාසනයේ අවකාශ නැත්තේ ය.
එසේ හෙයින්
නව නියායක් පිහිටු වීමට ඇති උවමනාව කුමක් ද?
නව නිකායක පිහිටුවා ගැනීමට සාධාරණ හේතු තිබිය යුතු ය. යම් පැවිදි පිරිසක්, පැවිදි උපසපන් බව ලත් භික්ෂු නිකායේ හික්ෂූන් වහන්සේලාගේ විනය විරෝධී ක්‍රියා නිසා, තම පැවිදි උපසම්පදාව පැවැත්වීමට නො හැකි ලෙස, විනය කර්ම දූෂිත භාවයට යේ නම්, සංඝ භේද කර්මය ඇති නො වන ලෙස, පැවිදි උපසම්පදා පරපුරේ ශුද්ධිය පවත්වා ගැනීමට, භික්ෂු සංඝයාගේ අනුමැතිය ඇතිව කිරීම වරද නැත්තේ ය.
මෙයින් අදහස් වන්නේ පවතින තත්වයට වඩා විනය ආරක්ෂා කිරීමට උත්සාහවත් වීමය.
සිහෙල ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමි ලෙස නම් කර ඇති මහා නායක හිමි. හා අනුකෙතුත් හිමිවරුන්ට, කර ඇති අපහාසයට වන්දි ඉල්ලා එන්තරවාසි යැවීම, වන්දි ගැනීම සම්බුදු විනයට අනුව හැකියාවක් තිබේ ද?
නව නිකායක් හෙවත් ගුරු ආචාර්ය පරපුරක් ඇති කිරීමට තිබිය යුතු ප්‍රධාන ම සාධකය වන්නේ පාරාජිකාපත්තියට භාජනය නො වූ උපසම්පන්න භික්ෂූන් වහ්න්සේලාගේ පිරිසිදු පැවැතීම ය. එම භික්ෂූන් වහන්සේලා වෙතින්, පැවිදි බව හා උපසම්පදාව ලබා, අවිච්ඡින්න පැවත එන භික්ෂූන් වහන්සේලා වැඩ සිටීම ය. එම උපසම්පදා භික්ෂු පරම්පරාවේ ශුද්ධිය මත මිස, මෙයට වෙනස්ව නව නිකායක ආරම්භය ඇති නො කළ හැකි ය.
එසේ නම්, සිහෙල ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමි ලෙස නම් කර ඇති මා හිමියන් හා අනෙකුත් හිමිවරු උපසම්පදා ගුරු පරම්පරාව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ පැවිදි උපසම්පදාව බැවින් එම ගුරු ආචාර්ය පරම්පරාවෙන් වෙන් වී. වෙන ම විනය කර්ම කිරීමට සාධාරණ හේතු විනයානුකූලව පෙන්නා දිය යුතු ය.
එසේ සාධාරණ හේතු නො වේ නව නිකායක් ඇරඹීම, නම් භික්ෂු සංඝයා වහන්සේලාට එරෙහි වීම ය. එසේ එරෙහි වීමට සම්බුද්ධ ශාසනයේ කිසිදු භික්ෂූන් වහ්න්සේ නමකට ඉඩක් නැත; අවකාශ නැත; විනයට පිටින් ක්‍රියා කරනවා නම් එවැනි භික්ෂූන් වහන්සේලා සම්බන්ධව, විනය ක්‍රියා මාර්ග ගැනීමට භික්ෂු සංඝායා වහන්සේලාට, විනයානුකූලව ඇති හැකියාවට විරුද්ධ වීමට, කිසිවෙකුට හිමි කම් නැත්තේ ය. විනය පිටකයේ, චුල්ලවග්ග පාලියේ කමක්ඛන්ධයෙහි තථාගතයන් වහන්සේගේ විනය ආඥා, ඒ සඳහා පනවා ඇත්තේ ය.
සම්බුද්ධ ශාසනයට අනුලොම් නො වන ක්‍රියාවකදී ගන්නා ලද, විනය ක්‍රියා මාර්ගයකට එරෙහිව, පැවිදි උපසම්පදාව දී වදාළ ගුරු ආචාර්ය භික්ෂූන් වහන්සේලාට එරෙහිව, රාජ්‍ය නීතියකින් හෝ අන්තර් ජාතික නීතියකින් හෝ ක්‍රියා කිරීමේ හැකියාවක් නැති බව කිව යුතු ය. එසේ කිරීමට උත්සාහ කිරීම ද භික්ෂු සංඝයා වහන්සේලාට එරෙහි වීම ය.
විනයානුකූල සංඝ ආඥාවකට හෙවත් විනය කර්මයකට එරෙහිව, නීතිය අනුව වන්දි ඉල්ලීමකට හෝ මූලික අයිතවාසිකන් කඩවීමක් සේ සලකා ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමෙන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමෙන් හෝ ප්‍රතිකර්ම සලසා ගැත හැකි ද?
එසේ කිරීමේ හැකියාවක් තිබේ ද යන්න සලකා බැලීම වටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙහි,
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.”
යනුවෙන් ව්‍යවස්ථා කොට ඇත.
මෙම ව්‍යවස්ථාවෙහි “බුද්ධාගම” සහ “බුද්ධ ශාසනය” යනුවෙන් හදුන්වන්නේ අප විසින් ඉහතින් දැක් වූ, ත්‍රිවිධ ශාසනය ය. පර්යාප්ති ශාසනය නම් ධර්ම විනය දෙක ය. ධර්ම විනය නම් ථේරවාද සූත්‍ර, විනය අභිධර්ම යන තුන් පිටකය හා තත් පිටකයන්ට ලියන ලද අට්ඨ කථා ටීකා, ගන්ථ ද අයත් වේ.
වර්ෂ 2019 ජනවාරි 05 වන දින, ජාතික උරුමයක් ලෙස, ඓතිහාසික මාතලේ අලුවිහාරයේදී, ශ්‍රීලංකා රජයෙන් ප්‍රකාශයට පත් කළ, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන්හි අන්තර්ගත ධර්ම-විනය ද ඒ හා බැදී ඇති ප්‍රතිපත්ති, හා ප්‍රතිවේධ ධර්මයත්, එම ත්‍රිපිටකයෙහි අන්තර්ගත (කියවෙන) භූ දේශපාලනික හා ශාසන ඉතිහාසයත්, ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ 09 වන ව්‍යවස්ථාවෙන් කියවෙන “බුද්ධාගම” සහ “බුද්ධ ශාසනය” යන වචන දෙකෙහි අන්තර්ගතය වන බව කිව යුතු ය.
මෙරට සම්බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට ලෙස මුද්‍රණය වූ පුස්කොළ පොත්වල(තාලපන්න පොත්ථක) සඳහන් සද්ධර්මය මිස වෙන දහමක් නො වේ. ඒ හැර වෙනත් ධර්මයක් සම්බුද්ධ ශාසනය ලෙස පිළිගන්නේ නැත.
ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි ව්‍යවස්ථාවෙහි අන්තර්ගත,
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය.”
“ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.”
යන වක්‍ය දෙක සහිත ව්‍යවස්ථා කිරීම් අනුව ශ්‍රී ලංකා ජනරජය සැම විට ම වර්ෂ 2019 ජනවාරි 05 වන දින, ජාතික උරුමයක් ලෙස, ඓතිහාසික මාතලේ අලුවිහාරයේදී, ශ්‍රීලංකා රජයෙන් ප්‍රකාශයට පත් කළ, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන්හි අන්තර්ගත ධර්ම-විනය ද ඒ හා බැදී ඇති ප්‍රතිපත්ති, හා ප්‍රතිවේධ ධර්මයත්, එම ත්‍රිපිටකයෙහි කියවෙන් භූ දේශපාලනික හා ශාසන ඉතිහාසයේ පිළිගැනීමත්, ආරක්ෂා කර දීමට ව්‍යවස්ථා ප්‍රකාරව බැදී ඇත්තේ ය. ඊට පටණිව යමෙක් කටයුතු කිරීම, හා කරවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනවා ඇත.
වර්තමානයේ ඇතම් කෙනෙක් වෙනස් මතයන් ද දරත්. කිනම් මතයන් ද යත්: “ලංකා භූමියට අයිති සීමාව ඇතුලත, තථාගත සම්බුදු රදුන් උපන්නා ය; සම්බුදු බව අවබෝධ කළා ය; දම්සක් පැවතුම් සුතුර දේශනා කළා ය; පිරිනිවන් පෑවා ය; සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහ්න්සේ ඉපදීම පටන් අභිනික්‍රමණය කිරීම දක්වා වර්ෂ විසිනවයක කාලය ද එතැන් පටන් වර්ෂ හයක දුෂ්කරක්‍රියා කාලය ද, සම්බුදු වීම පටන් පන්සාළිස් වසක් මුලුල්ලේ පිරුනිවන් පෑම දක්වා, බුද්ධකෘත්‍ය කාලය, මේ ලංකාද්වීපයේ සිදු වුණා ය; තථාගතයන් වහ්සේ විනය පාලියේ වදාළ “මධ්‍ය දේශය” මේ ලංකා භූමිය වන්නේ ය. ත්‍රිපිටකයේ සඳහන් භූ දේශපාලනික සංසිද්ධි ද මේ ලංකා භූමියේ වූ සිදු වුණා ය” යන ලෙසෙනි.
තථාගත සම්බුදු රදුන්, ලංකාද්වීපයට වැඩම කොට වදාළ කාලය හැර මෙසේ වූ මතයන් ප්‍රකාශ කිරීම, ප්‍රචලිත කිරීම, ඉගැන්වීම, ව්‍යප්ත කිරීම, මුද්‍රිත පොත් පත්, ලිපි ලේඛන ලෙස එළි දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යස්ථා විරෝධි වන්නේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වෙනි ව්‍යවස්ථාවට පටහැනිව පවතින්නේ ය.
එසේ ම ඉහත ආකාර ධර්මය විකෘති කිරීම හා එම විකෘති කිරීම් මත ක්‍රියා කිරීම දණ්ඩනීති සංග්‍රහයේ 291-අ වගන්තිය ප්‍රකාර “ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන ආදිය කීම” යන වරදක් වන්නේ ය.
දණ්ඩ නීති සංග්‍රහයේ 291-අ වගන්තිය නම්:-
“292අ. ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් වචන ආදිය කීම.
යම් තැනැත්තකුගේ ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමකු යම් වචනයක් කියතොත් හෝ ශබ්දයක් කළ හොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත් ඔහුට අවුරුද්ද දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවම් දෙකින්ම දඩුවම් කළ යුතුය”
මෙම වගන්තිය අනුව බෞද්ධ වූ ඕනෑ ම අයෙකුට, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ අන්තර්ගතයෙන් කියවෙන ධර්මයට පටහැනි වූ මතයන් ප්‍රකාශ කිරීම, ප්‍රචලිත කිරීම, ඉගැන්වීම, ව්‍යප්ත කිරීම, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් පොත් පත්, ලිපි ලේඛන ලෙස එළි දැක්වීම, යමෙක් කරන්නේ නම පොලිසියට කරන පැමිණිල්ලක් මගින් නීතිය ක්‍රියාම කර ගැනීමේ හිමි කම් ඇත්තේ ය.
සිහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමියන් හට, මල්වතු පාර්ශ්වයේ මහා නායක මාහිමියන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගත හැකි ද?
“සිහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමි ලෙස නම් කර සිටින බදුල්ල ගම්මන සුමනසාර හිමියන් ඇතුළු එම නිකායේ හිමිවරුන් සම්බන්ධයෙන් සිදු කර ඇති අපහාසාත්මක ප්‍රකාශ වලට වන්දි ඉල්ලා මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම නිකාය සඳහන් කර ඇත. .
ස්වාධීන බෞද්ධ සංවිධානයක් ලෙස ගොඩනැගෙන සිය නිකාය පිළිබඳ තීරණ ගැනීමට වෙනත් නිකායික භික්ෂුන් වහන්සේට නීතිමය අවසරයක් නැති බව එම නිවේදනය මඟින් පවසන සුමනසාර හිමියන් මෙයින් ප්‍රබල මානව හිමිකම් කඩවීමක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 08 වැනිදා අරඹන එක්සත් ජාතීන්ගේ 60 වැනි මානව හිමිකම් සැසියේදී සිය භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් ඉදිරිපත් වී කරුණු දැක්වීමට ද බලාපොරොත්තු වන බවත් එම නිකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.”
ඉහතින් උපුටා දැක්වූයේ මාධ්‍යයෙහි පළකළ ප්‍රවෘතියක කොටසකි.
සිහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමි ලෙස නම් කර සිටින බදුල්ල ගම්මන සුමනසාර හිමියන් ඇතුළු එම නිකායේ හිමිවරුන්ට අප විසින් ඉහතින් දැක්වූ විනය කරුණු අනුව, සිහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකාය නමැති නිකායේ මහා නායක හිමියන්ට, නීති මගින් ක්‍රියා කිරීමට ඇති හැකියාව විමසිය යුතු. පූජ්‍ය බදුල්ල ගම්මන සුමනසාර හිමියන් ඇතුළු එම නිකායේ හිමිවරුන්ගේ පැවිදි උපසම්පදාව, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ බැවින්, පැවිදි උසම්පදාව දී ඇති ගුරු ආචාර්ය භික්ෂු සංඝයා විසින් දෙන ලද විනය උපදෙස් පිළිපැදීමට, පූජ්‍ය බදුල්ල ගම්මන සුමනසාර හිමියන් ඇතුළු එම නිකායේ හිමිවරුන් විනය අනුව බෑදී අත්තේ ය. ස්වාධින සංවිධානයක් ලෙස ක්‍රියා කිරීමට සිහෙළ ගොතම සිරි සම්බුද්ධ මහා නිකායට කිසිදු නෛතික බලයක් ඇති නො කරන්නේ, එම නිකායයෙහි භික්ෂූන් වහන්සේලාගේ පැවිදි උපසම්පදාව මල්වතු පාර්ශවයේ සංඝ සභාවෙන් ලබා ඇති බැවිනි. පැවිදි උපසම්පදාව ලත් ගුරු ආචාර්යන් වහන්සේලා විසින් සම්මත කරන ලද සංඝ ආඥාවන්ට පටහැනි වීම ම සම්බුද්ධ ශාසන විරෝධී ය.
මෙවැනි කරුණකදී භික්ෂූන් වහන්සේලාට, මානව හිමිකම් කඩ වීමක් ලෙස සලකා එක්ස්ත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ හැකි ද?
ආගම සම්බන්ධව කරුණකදී ආණ්ඩුක්‍රම ව්‍යවථාවේ 10 වන ව්‍යස්ථාව හා 14(1) ඉ ව්‍යවස්ථාව යන ව්‍යවස්ථා මූලික අයිතිවාසිකම් මත ක්‍රියා කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවථාවේ 10 වන ව්‍යස්ථාව නම්:-
“සැම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්දියක් හෝ විශවාශයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට හෘදය ශාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14 .(1)(ඉ) ව්‍යවස්ථාව නම්;-
“14.(1) සෑම පුරවැසියකුටම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය.”
භික්ෂූන් වහන්සේලාගේ කටයුත්තක් සම්බන්ධව මෙම ව්‍යවස්ථා දෙකෙහිදී ම කියෙවෙන ආගම සම්බන්ධව ක්‍රියා කිරීමේ දී 09 වන ව්‍යවස්ථාවෙහි බුද්ධාගම සහ බුද්ධ ශාසනය යන වචන අන්තර්ගත
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය.”
“ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය”
යන පැනවීම් අනුව සම්බුද්ධ ශාසනයේ
- පර්යාප්ති
- ප්‍රතිපත්ති,
3 . ප්‍රතිවේධ
යන ත්‍රිවිධ ශාසනයට හානි නො වන ලෙස ක්‍රියා කිරීමට සියලු ම පුරවැසියන් බැදී තිබේ. සම්බුද්ධ ශාසනයට කිසිදු ආකාර හානියකට හේතුවන ක්‍රියා කිරීම්, ප්‍රකශ කිරීම්, දේශනා හා ප්‍රචලිත කිරීම් කිරීමට හිමි කම් නැත්තේ ය.
එකසත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි, ආගම සම්බන්ධ සඳහන් කර ඇත්තේ 18 වන වගන්තියේ ය. තම නිදහස් මතය දැරීමට හා ප්‍රකට කිරීමට සෑම කෙනෙකුටම ඇති අයිතිය දක්වන්න්නේ 19 වන වගන්තියේ ය. එනම්:-
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම්.පිළිබඳ විශ්ව ප්‍රකාශනය:-
18 වන වගන්තිය
සිතීමේ, හෘද සාක්ෂිය දැරීමේ හා ආගම ඇදහීමේ නිදහස භුක්ති විදීමේ අයිතිවාසිකම් සෑම පුද්ගලයෙකුම සතුව ඇත. තම ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමේ නිදහසත් තනිවම හෝ අන්‍යයන් සමඟ සමූහ වශයෙන්, පෞද්ගලිකව මෙන්ම ප්‍රසිද්ධියේ තම ඇදහීම් හෝ ආගම ප්‍රකට කිරීමේ, ඉගැන්වීමේ, පිළිපැදීමේ, වන්දනා කිරීමේ හා අනුගමනය කිරීමේ නිදහසත් එයට ඇතුලත් වේ.
19 වන වගන්තිය
තම නිදහස් මතය දැරීමට හා ප්‍රකට කිරීමට සෑම පුද්ගලයෙකුම අයිතිය ඇත. අනුන්ගේ බාධවක් නොමැතිව, තම මත දැරීමටත්, දේශ සීමා නො සලකා කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමට
හා දීමටත් ඇති අයිතිය ද ඊට ඇතුලත් ය.
එසේ ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මගින් ආගම හා ඇදහීම ගැන 18 වන වගන්තිය 19 වන වගන්ති මෙසේ කියයි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය:-
18 වන වගන්තිය
- සිතීමේ, හෘද සාක්ෂිය දැරීමේ හා ආගම ඇදහීමේ නිදහස භුක්ති විදීමේ අයිතිවාසිකම් සෑම පුද්ගලයෙකුම තිබිය යුතු ය. තමාට කැමති ආගමක ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහසත්, තනිවම හෝ අන්‍යයන් සමඟ සමූහ වශයෙන්, පෞද්ගලිකව මෙන්ම ප්‍රසිද්ධියේ තම ඇදහීම් හෝ ආගම ප්‍රකට කිරීමේ, පිළිපැදීමේ, වන්දනා කිරීමේ හා අනුගමනය කිරීමේ සහ ඉගැන්වීමේ නිදහසත් එයට ඇතුලත් වේ.
- තමාට කැමැති ආගමක් ඇදහීමට හෝ විශ්වාසයක් දැරීමට තිබෙන නිදහසට බාධා පමුණුවන බල කිරීමකට කිසිම කෙනෙකු භාජන නො කළ යුතු ය.
- කෙනෙකුට ආගම හෝ විශ්වාසය ප්‍රකට කිරීමට තිබෙන නිදහස යටත් කළ හැක්කේ නීතියෙහිලා නියමිත වූ ද මහජන ආරක්ෂාව, සාමය, සෞඛ්‍ය, සදාචාරය රැකීමට අවශ්‍ය වන්නා වූ ද යම් යම් සීමාවන්ට පමණි.
- සිය අවබෝධයට අනුකූලව සිය දරුවන්ගේ ආගමික හා සදාචාරාත්මක අධ්‍යාපනය ගැන වග බලා ගැනීමට දෙමාපියන්ට තිබෙන නිදහසට ගරු කිරීමට මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවෝ පොරොන්දු වෙති.
19 වන වගන්තිය
- බාධාවකින් තොරව ස්වකීය මතය දැරීමට සෑම කෙනෙකුට ම අයිතිවාසිකම් ඇත්තේ ය.
- සෑම කෙනෙකුට ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇත්තේ ය. දේශ්සීමාවගෙන් තොරව තොරතුරු, සෑම අන්දමකම ම අදහස් වාචිකව, ලිඛිතව, හෝ මුද්‍රිතව ද චිත්‍රවල ආකාරයෙන් ද එසේ නැතහොත් තමන්ට කැමැති ඕනෑම මාධ්‍යයකින් ද සොයා ගැනීමට, ලැබීමට සහ දැන්වීමට තිබෙන නිදහස මෙම අයිතිවාසිකමට ඇතුලත් විය යුතු ය.
මෙම වගන්තියේ 2 වන ඡේදයෙහි ප්‍රතිපාදන අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම, විශේෂ රාජකාරි හා වගකීම් හා සම්බන්ධව පවතී. එසේ හෙයින් එය ඇතැම් සීමා කිරීම්වලට යටත් විය හැකි නමුත් එම සීමා කිරීම:
(අ) අනික් අයගේ අයිතිවාසිකම්වලට හා කීර්ති නාමයන්ට ගරු කිරීම සඳහා:
(ආ) ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ මහජන සෞඛ්‍ය හා සදාචාරය හෝ රැකීම සඳහා:
නීතියෙහි ලා විධිවිධාන සලසා ඇත්තා වූ ද අවශ්‍ය වන්නා වූ ද එවා විය යුතු ය.
එසේම
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය;-
2 වන වගන්තිය 1 අනු වගන්තිය:-
- 2
මෙම සම්මුතියට ඇතුලත් රාජ්‍ය පාර්ශවකරුවෝ මෙම සම්මුතියෙහි දක්වා ඇති අයිතිවාසිකම් වර්ගය, වර්ණය, ස්ත්‍රී පුරුෂභාවය, ආගම් දේශපාලනය හෝ වෙනත් මත, ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත, හෝ වෙනත් තත්වයන් පිළිබඳව කිසිම විශේෂත්වයක් හෝ වෙනස්කමක් නොමැතිව ක්‍රියාවේ යොදවන බවට ඇප වීමට පොරොන්දු වෙති.
5 වන වගන්තිය
- මෙහිදී පිළිගෙන ඇති අයිතිවාසිකම්වලින් කිසිවක් හෝ කිසියම් නිදහසක් හෝ විනාස කිරීමක් නැතහොත් මෙම සම්මුතියෙහි විධිවිධාන සලසා ඇති ප්‍රමාණයට වඩා සීමා කිරීම අරමුණු කොටසක් කිසියම් ක්‍රියාවක යෙදීමට හෝ කිසියම් ක්‍රියාවක් සිදු කිරීමට කිසිම අයිතිවාසිකමක් කිසිම රාජ්‍යායකට, පිරිසකට හෝ තැනැත්තකුට ඇති බව හැඟවෙන හැඟවෙන කිසිවක් මෙම සම්මුතියෙහි ඇති බවට අර්ථ නිරූපණය නො කළ යුතු ය.
- කිසියම් රටක නීතීයට, සම්ප්‍රධායන්ට, රෙගුලාසිවලට හෝ සිරිත්වලට අනුව එහි පිළිගෙන ඇති හෝ පවත්නා මානව අයිතිවාසිකම්වලින් කිසිවක් මෙම සම්මුතිය මගින් පිළිගන්නේ නැතැයි හෝ වඩා අඩු ප්‍රමාණයකින් පිළිගන්නේ යයි යන මුවාවෙන් ඒවා කිසිවක් සීමා කිරීමට හෝ බලහීන කිරීමට හෝ ඉඩ දිය නො හැකි ය.
මෙවැනි කරුණකදී භික්ෂූන් වහන්සේලාට, මානව හිමිකම් කඩ වීමක් ලෙස සලකා එක්ස්ත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ හැකි ද යන්න විමාසා බැලීමේදී, කිසිදු මානව අයිතිවාසිකම් කඩ වීමක් මෙම කරුණෙහිදී සිදු වී නැති බව පැහැදිලි ය.
එයට හේතූ:-
- පූජ්‍ය බදුල්ල ගම්මන සුමනසාර හිමියන් ඇතුළු හිමිවරුන්ගේ පැවිදි උපසම්පදාව, එම ස්වාමින්වහන්සේලා විසින් ආයාචනා කොට ලබා ගෙන ඇති බව;
- එසේ ලබා ගත් පැවිදි උපසම්පදාව, තථාගත සම්බුදු රදුන්ගේ ආඥා අනුව භික්ෂු සංඝයා සතු බව; කිසිදු පුද්ගලික හිමිකමක් නැති බව;
- එම පැවිදි උපසම්පදාව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ භික්ෂු සංඝයා වෙතින් ලබා ඇති බැවින්, පැවිදි උපම්පදාව දී ඇති ගුරු උපාධ්‍යාය කර්මාචාර්ය භික්ෂු සංඝයා වහන්සේලාගේ විනයානුකූල අණ පිළිපැදීමට බැදී ඇති බව:
- එම සංඝ ආඥා පිළිබඳව සංඝාධිකරණයක කරුණු කියා සංසිඳවා ගත යුතු වීමත් එයට පිටින් ගිහි භවතුන්ගේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අයිතියක් ද නැත්තේ ය. හේතුව පැවිදි උපසම්පදාව තථාගත සම්බුදු රදුන්ගේ ආඥා මත භික්ෂු සංඝයාගෙන් ලද වීමත්, එම පැවිදි උපසම්පදාව ස්වකීය ඉල්ලීම මත සිදු වීමත්, එතැන් පටන් පෑවිදි උපසම්පදාව ලබා ගත් භික්ෂූන් වහන්සේලා සම්බුදු විනයට අනුව පැවතීමට බැදී සිටීමත්, සියම් මහා නිකාය ථේරවාදී ත්‍රිපිටකය මත පිහිටා ඇති බැවින් එම නිකායේ මල්වතු පාර්ශවය ද ථේරවාදී ධර්ම විනය මත පැවතීමත්, එබැවින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ පැවිදි උපසම්පදාව ලත් කිසිදු භික්ෂුන් වහන්සේ නමකට ථේරවාදී ධර්ම විනය සහිත ත්‍රිපිටකයෙහි අන්තර්ගත ධර්ම විනයට පටහැනිව, අදහස් ප්‍රකාශ කිරීමට, දේශනා කිරීමට, හා ක්‍රියා කිරීමට හිමිකම් නැති බවත්,
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 09 වන ව්‍යවස්ථාවෙන් කියවෙන් “බුද්ධාගම” සහ “ බුද්ධ ශාසනය” යන වචන වලින් කියවෙන, බුද්ධාගම හා බුද්ධ ශාසනය නම් ථේරවාද සූත්‍ර, විනය අභිධර්ම යන තුන් පිටකය හෙවත්,
වර්ෂ 2019 ජනවාරි 05 වන දින, ජාතික උරුමයක් ලෙස, ඓතිහාසික මාතලේ අලුවිහාරයේදී, ශ්‍රීලංකා රජයෙන් ප්‍රකාශයට පත් කළ, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන්හි අන්තර්ගත ධර්ම-විනය ද ඒ ත්‍රිපිටකයට ලියන ලද අටුවා, ටීකා සහිත ධර්ම ග්‍රන්ථයන්හි අන්තර්ගතය ද වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව ප්‍රකාරව තත් ත්‍රිපිටකය හා අටුවා ටීකා ග්‍රන්ථ ද ඒ හා බැදුණු ශාසන ප්‍රතිපත්ති මාර්ගය ද ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය බැදි ඇති හෙයින් ද, - දණ්ඩ නීතී සංග්‍රහයේ 291-අ වගන්ති ප්‍රකාරව,
වර්ෂ 2019 ජනවාරි 05 වන දින, ජාතික උරුමයක් ලෙස, ඓතිහාසික මාතලේ අලුවිහාරයේදී, ශ්‍රීලංකා රජයෙන් ප්‍රකාශයට පත් කළ, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන්හි අන්තර්ගත ධර්ම-විනයට ද ඒ ත්‍රිපිටකයට ලියන ලද අටුවා, ටීකා සහිත ධර්ම ග්‍රන්ථයන්හි අන්තර්ගතයට ද තත් ත්‍රිපිටකය, අටුවා ටීකා ග්‍රන්ථ හා බැදුණු ශාසන ප්‍රතිපත්ති මාර්ගයට ද එම ශාසන මාර්ගය අදහන්නන්ගේ ආගමික හැගීම් වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමකු යම් වචනයක් කියතොත් හෝ ශබ්දයක් කළ හොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත්, දණ්ඩ නීතී සංග්‍රහයේ 291-අ වගන්ති ප්‍රකාරව වරදක් වන බැවින්, එම වරදට එරෙහිව නීතිය ක්‍රියාත්මක කීරීමට ශ්‍රී ලංකා රජය බැදි ඇති බැවින් ද - එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම්.පිළිබඳ විශ්ව ප්‍රකාශනය හෝ එහි 18 වන වගන්තිය ප්‍රකාරව හෝ
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අනුව හෝ එහි 18 වන හෝ 19 වන වගන්ති ප්‍රකාරව හෝ
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය අනුව හෝ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට පැමිණිලි කිරීමේ දී
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ
18 වන වගන්තියෙහි 3 හා 4 යන අනු වගන්ති වන
“3. කෙනෙකුට ආගම හෝ විශ්වාසය ප්‍රකට කිරීමට තිබෙන නිදහස යටත් කළ හැක්කේ නීතියෙහිලා නියමිත වූ ද මහජන ආරක්ෂාව, සාමය, සෞඛ්‍ය, සදාචාරය රැකීමට අවශ්‍ය වන්නා වූ ද යම් යම් සීමාවන්ට පමණි.”
“4. සිය අවබෝධයට අනුකූලව සිය දරුවන්ගේ ආගමික හා සදාචාරාත්මක අධ්‍යාපනය ගැන වග බලා ගැනීමට දෙමාපියන්ට තිබෙන නිදහසට ගරු කිරීමට මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවෝ පොරොන්දු වෙති.”
යන වගන්ති ප්‍රකාරව ද
ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුතියේ
ආර්ථික, සමාජීය හා සංකෘතික අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතියේ 5 වගන්තියේ 2 වන අනු වගන්තිය වන
“5.2 කිසියම් රටක නීතීයට, සම්ප්‍රධායන්ට, රෙගුලාසිවලට හෝ සිරිත්වලට අනුව එහි පිළිගෙන ඇති හෝ පවත්නා මානව අයිතිවාසිකම්වලින් කිසිවක් මෙම සම්මුතිය මගින් පිළිගන්නේ නැතැයි හෝ වඩා අඩු ප්‍රමාණයකින් පිළිගන්නේ යයි යන මුවාවෙන් ඒවා කිසිවක් සීමා කිරීමට හෝ බලහීන කිරීමට හෝ ඉඩ දිය නොහැකි ය.”
යන වගන්ති ප්‍රකාර සීමාවන්ට යටත් වන බැවින්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවෙන් හා දණ්ඩ නීති සංග්‍රහයේ 291අ වගන්තියෙන් හිමිකර දී ඇති ආගම සම්බන්ධ අයිතිවාසිකම් හා නීතියේ රැකවරණය මත
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට කරන පැමිණිලි හෝ දැනුවත් කිරීම හෝ බල රහිත වන බව කිව යුතු ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව අතුලත සම්බුද්ධ ශාසනයේ විනය ප්‍රඥප්ති ප්‍රකාරව භික්ෂූවහන්සේලා ගත් තීන්දුවක් විභාග කිරීමට, කිසිදු හිමි කමක්, බලයක් නැති බව ද කිව යුතු ය.
සම්බුද්ධ ශාසනයේ ස්වකීය පැවිදි උපසම්පදාව ලබා ගත් ගුරු උපාධ්‍යාය ආචාර්ය භික්ෂු සංඝයා වහන්සේලාගෙන් වන්දි අය කර ගැනීමට ක්‍රියා කිරීම, විනය විරෝධී වනවා මෙන් ම, සදාචාර විරෝධී ය. එසේ වන්දි අය කර ගැනීමෙන්,
ලබා ගත් භික්ෂූන් සියලු දෙනා ම අදින්නාදාන පාරාජිකාපත්තිය නම් ඇවතට පැමිණේ. උපසම්පදාව අහොසි වී ශ්‍රමණ දුශ්ශීල බවට පත් වේ. මෙය බලහත්කාරයෙන් ගැනීමට අයිති ය.
තථාගත ශාසනයේ පැවිදි භික්ෂූන්ට රන් රිදී, මිල, මුදල්, මුතු මැණික්, පිළිගැනීම, පිළිගන්වා ගැනීම, පිළිගන්වන විට සිතින් ඉවසීම ඇකැප ලෙස, තථාගත සම්බුදු රදහු සිකපද පනවා වදාළහ. එම පැනවීමට පටහැනිව ක්‍රියා කිරීම විනය විරෝධී ය. (විනය පිටක පාචිත්තය පාලි)
වන්දියක් ලෙස මුදල් අයකර ගැනීමට නඩු දමා හෝ එන්තරවාසි යවා හෝ මුදල් හෝ රතන සංඛ්‍යාවට යන කුමන දෙයක් හෝ ගැනීම ශාසන විරෝධී ය. මේ නයින් බලන කළ මේ නව පැවිදි ගුරුකුලය සම්බුදු විනයට පටහැනි දෑ කරන බව පැහැදලි ය. එසේ නම් විනය විරෝධි බවට සාධක ඇති පැවිදි නිකායක් සම්බුද්ධ ශාසනයට කුමක් සඳහා ද යන්න විමසිය යුතු.
අධෝ ලිපි1.
මහායාන දහම සම්බුද්ධ ශාසනය අයිති නැත්තේ ඇයි?
මහායාන සම්බන්ධ ඇදහීම, ගොඩ නැගෙන්නේ ආර්ය උපවාද කර්මය සමගිනි. තථාගත සම්බුදු රදුන් පිරිනිවන් පා වැදෑරීමෙන් වර්ෂ සියයක් ගත් වූ තැනේදී වජ්ජිපුත්තක භික්ෂූන් විසින් දස ඇකැප වස්තුවක් ඇති කරන ලදී. ඒ අකැප වස්තු දසය සම්බුදු විනයට පටහැනි බව විනයානූකූලව, මහා සඞඝයා විසින් තීරණය කරන ලදී. අනතුරුව කාලාශෝක මහාධිරාජයන්ගේ අනුග්‍රහයෙන් යස රේවත සබ්බකාමී මහ අරහතුන් වහන්සේලා ප්‍රධාන කොට චතුර්පටිසම්භිදාප්‍රාප්ත මහ අරහතුන් වහන්සේලා හත්සියය නමකගේ සහභාගිත්වයෙන්, ද්විතීය ධර්ම සංගායනාව කළ සේක. මෙම සංගීතීකාරක මහ අරහතුන් වහන්සේලාගේ මතය නො පිළිගෙන වජ්ජි පුත්තක භික්ෂූන් විසින් පෘතජ්ජන භික්ෂූන් රැස්කරවා, පත්‍යන්ත රාජ්‍යකදී, වෙන ම මහා සාංඝික යයි අධර්ම සංගීතියක් ඇති කරන ලදී. එය ම මහායානයේ උපත ය. ආර්ය උපවාද කර්මය සමඟ සම්බුද්ධ භාෂිතයට විරුද්ධ මතයක් ගොඩ නගන ලදී. ආර්ය උපවාද කර්ම පඤ්චානන්තරිය පාපකර්මය සදිස බව, සමාන බව ධර්මයෙහි දක්වා ඇත.
ආරිය උපවාදය කමක් ද යන්න කුද්දක නිකාය ඉතිවුත්තක පාලි
මිච්ඡාදිට්ඨි කම්ම සමාදාන සූත්‍ර අටුවාව මෙසේ විස්තර කරයි.
“අරියානං උපවාදකාති බුද්ධාදීනං අරියානං අන්තමසො ගිහිසොතාපන්නානම්පි ගුණපරිධංසනෙන අභූතබ්භකක්ඛානෙන උපවාදකා අක්කොසකා ගරහකා.”
සිංහලාර්ථය:-
“අරියානං උපවාදකා යනු බුද්ධාදී ආර්යයන්ට යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහි අයට ද ගුණ නැසීමෙන් බොරු චෝදනා කිරීමෙන්, දොස් කියන්නා වූ ආක්‍රෝශ කරන්නා වූ ගරහන්නා වූ සත්ත්වයෝ”
තත් සූත්‍ර අටුවාවෙහි
“මහාසාවජ්ජෝ හි අරියූපවාදො ආනන්තරියසදිසො.”
යනුවෙන් දක්වා ඇත.
එහි සිංහල තේරුම වනුයේ,
“ආර්ය උපවාද කර්මය මහා සාවද්‍යය ආනන්තරික පාපකර්මය සමානය”
බව ය.
යස, රේවත, සබ්බකාමි මහ අරහතුන් වහන්සේලා ප්‍රධාන කොට හත්සියයක් චතුර්පටිසම්භිදාප්‍රාප්ත මහ අරහතුන් වහන්සේලාගේ වචනය ප්‍රතික්ෂේප කිරීමෙන් ම වජ්ජි පුත්තක භික්ෂූන් ඇතුලු, මහා සංගීතිය කළ සියලු භික්ෂූන්ට ආරිය උපවාද කර්මය ඇති විය. ඒ සමඟ ම සම්බුදු විනයට හා ධර්මයට පටහැනිව උපදවන ලද දහම ද, අර්ය උපවාද කර්මය ඇති කර ඇත්තේ ය. ඒ මහායානයේ උපත ය. එනම් මහායානය පිහිටා ඇත්තේ ආර්ය උපවාද කර්මය මත ය. යම් මනුෂ්‍යයෙක් වේවා දෙවියෙක් වේවා වෙන යම් කවර වූ අයෙක් වේවා ඒ මහායාන දහම පිළිගත්තේ ද ඒ සැමට ආර්ය උපවාද කර්මය නැගේ.
තථාගත සම්බුදු රදුන් විසින් ධර්මය සංස්කෘත භාෂාවට නො පෙරළිය යුතු බව වදාරන ලදී. විනය පනවා වදාරන ලදී. නමුදු මහායානිකයින් විසින් ධර්මය සංස්කෘත භාෂාවට පෙරළන ලදී. එය ද සම්බුද්ධ දේශනාව විකෘති කරමින් ය. මහායානිකයන් විසින්ගේ ග්‍රන්ථ අධ්‍යනය කර බැලිමේ දී ඔවුන් අමුතු ම දහමක් ඉපදවී ය. ථේරවාද සාසනයේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය වෙනුවට මහායානිකයන් විසින් බුද්ධ, ධම්ම= (ඔවුන් විසින් ගොඩ නගන ලද ප්‍රබන්ධ කරන ලද ධර්මය) සහ බෝධි සත්ව යන සංකල්ප ඇති කරණ ලදී. සංඝ රත්නය වෙනුවට බෝධි සත්ව සංකල්පය ඔවහු ආදේශ කළහ. මහායානික ගන්ථ අනුව ඔවුන්ගේ පිළිගැනීම
1 බුද්ධ,
- ධර්ම (ඔවුන් විසින් ගොඩ නගන ලද ප්‍රබන්ධ කරන ලද ධර්මය)
- බෝධි සත්ව යන ත්‍රිත්වය ය.
ආර්ය උපවාදය සමගින් ඇති කළ, මිත්‍යා මාර්ගය තව තවට ගැබුරට විහිදී යන ලෙස, මාහායාන ආචාර්යවරු ත්‍රන්ත්‍රයානය ගොඩ නැගූහ. මන්ත්‍ර, දැහැන් ප්‍රබන්ධ කළහ. ධාරණී නම් මන්ත්‍ර විශේෂය ප්‍රබන්ධ කළහ. තථාගත සම්බුදු රදුන්ගේ දේශනාවේ නැති ප්‍රබන්ධ ඇති කළහ. ප්‍රචලිත කළහ. ජලනන්දන, අභිසම්භිදාන, ගිනි පිරිත, ඛුද්දක ජිනපඤ්ජරය, ජය මං මංගල ගාථා, මහා ජයමංගල ගාථා, සීවලී දැහැන, ඇණවුම් පිරිත යන සියල්ල බුද්ධ භාෂිතයෙන් බැහැර මහායානික ප්‍රබන්ධ වේ. මේ සියල්ල ආර්ය උපවාදය කර්මය මත පිහිටා ඇත. මේ ප්‍රබන්ධ කිසිවක් ථේරවාද ත්‍රිපිටකයේ නැත. අටුවාවක, ටීකාවක නැත.
මහා යාන ගුරුකුල අධ්‍යාපන ආයතන ලෙස වැඩී ගිය ඉන්දියාවේ, එකල දඹදිව නාලන්දා ,තක්ෂිලා, වික්‍රම ශීලා, ජගද්දලා, වලභි, ඕදන්තපුර, සෝමපුර විශ්වවිද්‍යාලය යන අධ්‍යාපන ආයතන හේතුවෙන් ඉන්දියාවේ ථේරවාද බුදු දහමේ පැවැත්මට බාධා ඇති විය. ථේරවාද ශාසනය වෙනුවට ජනතාවාගේ පිළිගැනීමට, ඇදහීමට, ගරු සම්භාවනාවට පාත්‍ර වූයේ ආර්ය උපවාද කර්මය සමඟ බැඳුනු මහායාන දහම ය. එය ආනන්තරිය අකුසලය සදිසි පාප අකුසල් බැවින් ඒ දහම වැළදගත් ජන්තාවට අත් වූයේ ආර්ය උපවාද කර්මය සහිත අකුසල් මඟ ය. අකුසලයෙන් සම්බුද්ධ ශාසන පවතින්නේ නැත. ඒ හේතුව ඉන්දියාවෙන් බුදු සසුන අතුරු දහන් වීමට ඉවහල් වූ බව පැහැදිලි ය. සම්බුදු රදුන්ගේ ශාසනයේ කුසල බලය මත පිහිටා කටයුතු කළේ නම් ආක්‍රමණිකයන්ට නාලන්දා, තක්ෂිලාදී අධ්‍යපන ආයතන සහිත මහායාන භික්ෂුන් සමූල ඝාතනයට හේතු ඇති වන්නේ නැත. තථාගතයන් වහන්සේගේ ජාත භූමියෙහිදී භික්ෂූන් සමූලඝාතනයට, තථාගත ශාවක සම්දිටු දෙවියන් බ්‍රහ්මයන් කිසිසේත් ම ඉඩ නො දෙනවා ඇත. ආර්ය උපවාදය කර්මය සමඟ බැදුනු ථේරවාද ශාසනය විනාශයට මුල් වූ පිරිසට සම්දිටු බෞද්ධ දෙවියන්ගේ ආරක්ෂාව සලසා දෙන්නේ නැත. ඉන්දියාවෙන් සම්බුදු සසුන විනාශ වීමට මහායානය බලපෑ බව පැහැදිලි ය. ඉන්දියාවේ වර්තමාන බාහ්මණ, ක්ෂත්‍රීය සහ වෙළඳ කුල අතර බුදු දහම ව්‍යාප්තිය නො වීමට අදට ද බලපා ඇතතේ මහායානිකයන් විසින් ඉන්දියාවේ ථේරවාද ශාසනය යටපත් කළ හේතුව බව, පැහැදිලි වෙනවා ඇත.
අධෝලිපි2
මහාවග්ග පාලි තීහි සරණගමනෙහි පබ‍්බජ‍්ජාඋපසම‍්පදාකථා
අනුජානාමි භික්ඛවෙ, තුම්හෙව’දානි තාසු තාසු දිසාසු තෙසු තෙසු ජනපදෙසු පබ්බාජෙථ. උපසම‍්පාදෙථාති. එවඤ‍්ච පන භික‍්ඛවෙ, පබ‍්බාජෙතබ‍්බො. උපසම‍්පාදෙතබ‍්බො. පඨමං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා1 එකංසං උත‍්තරාසඞ‍්ගං කාරාපෙත්‍වා භික‍්ඛූනං පාදෙ වන්‍දාපෙත්‍වා උක‍්කුටිකං නිසීදාපෙත්‍වා, අඤ‍්ජලිං පග‍්ගණ‍්හාපෙත්‍වා, එවං වදෙහීති වත‍්තබ‍්බො:
“බුද‍්ධං සරණං ගච‍්ඡාමි,
ධම‍්මං සරණං ගච‍්ඡාමි,
සඞ‍්ඝං සරණං ගච‍්ඡාමි;
දුතියම‍්පි බුද‍්ධං සරණං ගච‍්ඡාමි,
දුතියම‍්පි ධම‍්මං සරණං ගච‍්ඡාමි,
දුතියම‍්පි සඞ‍්ඝං සරණං ගච‍්ඡාමි;
තතියම‍්පි බුද‍්ධං සරණං ගච‍්ඡාමි,
තතියම‍්පි ධම‍්මං සරණං ගච‍්ඡාමි,
තතියම‍්පි සඞ‍්ඝං සරණං ගච‍්ඡාමි.”
අනුජානාමි භික‍්ඛවෙ, ඉමෙහි තීහි සරණගමනෙහි පබ‍්බජ‍්ජං උපසම‍්පදන‍්ති.
මහණෙනි, මෙකල තෙපි ම ඒ ඒ දිශාවන්හි ම ඒ ඒ ජනපදයන්හි ම පැවිදි කරවූ. උපසම්පදා කරවු යි අනුදනිමි. මහණෙනි, මෙසේ පැවිදි කළ යුතු ය. උපසපන් කළ යුතු ය: පළමු කොට හිසකේ රවුල් බා කසාවත් අඳවා උතුරුසඟසිවුර එකස් කරවා භික්‍ෂූන්ගේ පා වඳවා උක්කුටුකයෙන් හිඳුවා ඇඳිලි බඳවා මෙසේ කියව යි කිය යුතු ය.
“බුදුන් සරණ යෙමි
දහම් සරණ යෙමි
සඟ සරණ යෙම්
දෙවනු ද බුදුන් සරණ යෙමි
දෙවනු ද දහම් සරණ යෙමි
දෙවනු ද සඟ සරණ යෙමි
තෙවනු ද බුදුන් සරණ යෙමි
තෙවනු ද දහම් සරණ යෙමි
තෙවනු ද සඟ සරණ යෙමි” යි.
නිමි.
චිරං තිට්ඨති ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං.
