Spread the News

Picture Courtesy by Sunday Observer

මහ මිහිදු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩීමෙන් පසු දේවානම්පියතිස්ස මහ රජු බෞද්ධ විහාර ආරාම, බෝධි රෝපනය, දාගැබ් ඉදිකරවූවා මිස දේවාල් කෝවිල් සෑදූ බවක් වංශ කථා වල නැත. දේවානම් පියතිස්ස මහ රජු ඒසේ කළ බවට පිළිබඳව පුරා විද්‍යා සාධක නැත. පසු කාලීනව දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණ හේතුවෙන් වරින් වර කීප වතාවක් මෙරට අනුරාධපුර රාජ්‍යධානිය (උතුරු ප්‍රදේශ ඇතුලු) ද්‍රවිඩ පාලනයට නතුවීමෙන් එකී පාලන සමයන්හි බෞද්ධ විහාරාරාම භූමි වල හින්දු කෝවිල් ඉදි වී ඇත. එසේ ඉදිවූ කෝවිල් හේතුවෙන් මේ අවුල පැන නැගී ඇත. ක්‍රි:ව:1017න් පසුව ද්‍රවිඩ ආක්‍රමණික පාලනය පොළොන්නරුව හා අනෙකුත් බොහෝ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර ඇතැම් සිද්ධස්ථාන වල හින්දු කෝවිල් ඉදිකිර ඇත. මෙම හින්දු කෝවිල් කරණයේ බලවත් ම අවස්ථා ලෙස 1017 න් පසු සොළී පාලන කාලයේ පොළොන්නරුවේ ශිව කෝවිල් ඉදිවීමත්, රෝහණයේ කතරගම ප්‍රදේශය සොළී පාලනයට නතු වීමෙන් කතරගම අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේ සමීපයේ පිහිටි ආසනඝරය කතරගම දේවාලය ලෙසින් හින්දු කෝවිලක් බවට (ව්‍යවහාරයට) පත්වීම දැක්විය හැක. පසුව කීර්ති විජයබාහු කුමරු විසින්(මහා විජයබාහු රජ තුමා) රුහුණෙන් සොළීන් පලවා හරින ලදී. කතරගම මහ දේවාලය ලෙස අද හදුන්වන්නේ එදා සොළීන් විසින් හින්දු කෝවිලක් බවට පත් කරන ලද ආසනඝරය බව කිව යුතු ය.

දුටුගැමුණු මහ රජු විසින් එකී කතරගම දේවාලය සෑදුවේයැයි මතයක් ඇත. එය ජනප්‍රවාදයක් මිස එය සනාථ කිරීමට වංශ කතා හෝ පුරාවිද්‍යා සාධක ආදී මූලාශ්‍ර කිසිවක් නැත. කතරගම බෝධි පරිශ්‍රයට ඇතුල් වන දොරටුවේ පොළොන්නරු යුගයට අයත් සදකඩ පහනකි. දේවාලය ලෙස පවත්වන ගෘහය තුල ද සදකඩ පහනකි. මෙය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ය. පුරාවිද්‍යාත්මක තහවුරු කළ කරුණ වන්නේ සදකඩ පහන් බෞද්ධ විහාරාරාම වල හැර වෙනත් කිසිදු ආගමික ස්ථාන වල සදකඩ පහන් නොපිහිටවන වන බව ය.
පුදුමය නම් වත්මනෙහි විහාරස්ථානවල දේවාල කෝවිල් සාදා ගෙන කරන්නේ බුදුරදුන්ගේ නිර්මල ශාසන ධර්මය යට කිරීම ය. කල් යත් යත් විහාරස්ථානවලට ද හින්දූන් අයිතිවාසිකම් කීමට ද බැරි නැත.
විෂ්ණු, කතරගම, ඊශ්වර, ගණපති, පුල්ලයාර්, දුර්ගා, කාලි, සොහොන් කාලි, පත්‍තිනි, හනුමන්, හූනියම්, ලක්ෂ්මී, සමන් (මහා වංශයේ සඳහන් සුමන සුරිදු නම් සෝතාපන්න ආර්‍ය් දෙවි තුමා නොවේ) දැඩිමුණ්ඩ, කඩවර ආදී සියලු දේවාල කෝවිල් (දෙවොල්) ඇදහීම ඉන්දියානු හින්දු ආභාෂයෙන් බෞද්ධ කුලයට ආරෝපණය වී ඇත. බෞද්ධ සිද්ධස්ථාන වල වූ සියලු ආකාර දේවාල- කෝවිල් කඩා ඉවත් නොකිරීම ම තමයි ප්‍රශ්නය දීර්ඝ වීමට හේතුව. පසුකාලීනව මෙකී ඇදහීමට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් ධර්ම-විනය ගරුක නොවූ භික්ෂූන් විසින් විහාරස්ථානවල ලාභ ප්‍රයෝජන තකා දේවාල කෝවිල් සෑදීම ත් පවත්වා ගෙන යාම ත් හේතුවෙන් බෞද්ධ ජනතාව ඒ කෙරෙහි මුලා වී ඇදහීමට නතු වීමෙන් බෞද්ධයා මහත් ව්‍යසනයට පත් වී ඇත.
බෞද්ධ කුලය විසින් මේ මිසදිටු දෙවොල් කර්ම අත් හැර තථාගත සම්බුදු දේශනාවට අනුව දිපෙවත සකස් කර ගැනීමට නිර්භීත විය යුතු ය. නැති නම් නුදුරු අනාගතයේ මේ ශ්‍රී ලංකා දීපය දේවාල කෝවිල් බලය සහ දෙවාල කෝවිල් වරම් බල සහිත අමනුෂ්‍යයන්ගේ මිසදිටු බලයට ගොදුරු වනවා ඇත.
බෞද්ධයන් විසින් ම බුදු සසුන පිරි හෙළීමට දායක වනවා ද ඇත.

.ආරියතිලක 2019.07.08