Spread the News

රනිල් උඩු යටිකුරු වෙලා’

source: අරුණි මුතුමලි

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් ගැන මේ අවස්ථාවේදී හෝ කතා කිරීමට පෙළඹීම පිළිබඳ බොහෝ දෙනා සතුටත් පුදුමයත් පළකරන බවත් මෙය විපක්ෂ නායකවරයාගේ පූර්ණ උඩුයටිකුරු වීමක් බවත් තරුණ කටයුතු හා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පාඩු ලබන ආයතන 36 ක් රජයට පවරා ගැනීම පිළිබඳ පනතින් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට පහර ගැසීමට රජය උත්සාහ කරන බව කියමින් විපක්ෂ නායකවරයා ගෙන එන තර්කය පිළිබඳ තමන් කනගාටු වන බව ද භික්ෂුන් වහන්සේට වැරැදි තොරතුරු සපයමින් මෙන්ම ඇත්ත තොරතුරු සඟවමින් සංඝයා වහන්සේ නොමඟ යැවීම විශාල අගෞරවයක් බව ද ඇමැතිවරයා පැවසීය.

1977 බලයට පත් එජාප ආණ්ඩුව විසින් ලබුදූවේ සිරිධම්ම හිමියන්ගේ විහාරස්ථානය පවරා ගැනීම වැනි කටයුතු මහින්ද රාජපක්ෂ රජයෙන් සිදු නොවන බව ඇමැතිවරයා අවධාරණය කෙළේය. පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් පසුව ඇතැම් එජාප මන්ත්‍රීවරුන් මේ ව්‍යාපාරවල සැබෑ තතු නොදැන සිටි බවට තමන් සමඟ ප්‍රකාශ කළ බව ද පැවසු ඇමැතිවරයා; එජාපය සැබෑ තතු වසන් කරමින් වෙනත් ස්වරූපයක් මවා පෙන්වීමට උත්සාහ කරන බව ද හෙතෙම පැවසීය.