Spread the News

උපුටා ගැනීම දිවයින පුවත් පත මඟින්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් 38 දෙනාගෙන් අපේක්‍ෂකයන් 25 දෙනකුට විශේෂ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා දිවයිනට ඊයේ (16දා) පැවසීය.

අපේක්‍ෂකයන් 09 දෙනකු ආරක්‍ෂාව ඉල්ලා නැති බවත් 04 දෙනකු ආරක්‍ෂාව එපා යැයි දැනුම් දී තිබෙන බවත් ඒ මහතා කීය.

ආරක්‍ෂාව ලබාදීමට පෙර ඒ ඒ අපේක්‍ෂකයා ගැන නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ ස්ථාපිත කර තිබෙන පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් කාර්යාල මගින් වාර්තා ලබාගෙන අවශ්‍ය ආරක්‍ෂාව ලබාදෙන බවත්, එහිදී පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හෝ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් ගුණතිලක මහතා පැවසීය.

අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීමට ආරක්‍ෂාව ලබාදීමට පැය 48කට පෙර එම ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි වාර්තා කැඳවා රැස්වීම පැවැත්වීමට පැය කිහිපයකට පෙරද වාර්තා කැඳවා අවශ්‍ය ආරක්‍ෂාව ලබාදී රැස්වීමෙන් පසුවද වාර්තා කැඳවීමක් සිදුකරන බව ඔහු කීය. මෙහෙයුම් කාර්යාල මගින් අපේක්‍ෂකයන්ගේ රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට පෙර අදාළ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරි සහ අදාළ පොලිස් වසමේ පොලිස් ස්ථානයෙන් වාර්තා කැඳවා අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කරන බවද ඔහු කීය.

මැතිවරණය පැවැත්වෙන දිනය තුළ ආරක්‍ෂාව ලබාදීම සඳහා අවශ්‍ය පොලිස් ජංගම රථ ඇතුළු සියලු ආරක්‍ෂක කටයුතු මේ වනවිට සැලසුම් කර තිබෙන බවත් මැතිවරණයෙන් පසු සතියක කාලයක් යන තෙක් අවශ්‍ය ආරක්‍ෂාව සැලසීම සඳහා මැතිවරණ කොමිසමෙන් ලබාදී තිබෙන උපදෙස් අනුව අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා