Mon. Nov 25th, 2024
Spread the News

ආරියතිලක
2022.12.30

දේවානම් පියතිස්ස රජ දවස මහ මිහිඳු මහරහතුන් වහන්සේගේ ආගමනයත් සමඟ මේ ලංකාද්වීපයේ ජනතාව බුදු දහම වැළද ගත්හ. තථාගත දේශනාවට අනුකූලව,රජු ඇතුලු රටේ ජනතාව දැහැමි බවට පත් වූහ. කෘෂි වණික් සහ රාජ සේවය ආදී ධාර්මික වෘර්තීයෙන් ඔවුන්ගේ දිවි පෙවත පෝෂිත විය. ඔවුහු බුදු රදුන්ගේ දේශනාව අනුව කුසල ධර්ම වැඩීමට වීර්‍යය කළෝ ය.

කාලයාගේ ඇවෑමෙන් විශේෂයෙන් දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණ තුලින් මෙරට සිංහල බෞද්ධ රාජ්‍ය බලයට බලපෑම් ඇති විය. මහායාන වෛතුල්‍යවාදය ද මෙරට ව්‍යාප්ත විය. දකුණු ඉන්දීය රාජකීය කුල සමඟ සිංහල රජවරුන් ආවාහ විවාහ කටයුතු සිදුකර ගැනිම ද සිදු විය. එකී තෙයාකාර හේතු මත දේවාල කෝවිල් ඉදිවීම, දේවාල කෝවිල් ඇදහිම, දේවාල කෝවිල් වලට පුද සැළකිළි, බිලි පූජා ආදී අභිචාර විධි ද ඇදහීම් ද ව්‍යාප්ත විය. ඇතැම් කාල වල මිසදිටු ඇදහීම් වැළඳ ගත් ශ්‍රද්ධා හීන සිංහල රජවරු ද දේවාල කෝවිල්කරණයට සහ මහායාන වෛතුල්‍යවාදයට රාජ අනුග්‍රය ලබා දීමෙන් සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහත් විලෝපයක් සිදු කළහ. රාජාණ්ඩු පාලනය ඇති කාල වල රජුගේ නොපනත් කම් විවේචනයට ඉඩක් නැත. වරද විවේචනය කරන්නන්ට රාජද්‍රෝහී චෝදනාව මත මරණීය දණ්ඩනය හෝ නැතහොත් ශාරීරික වද හිංසා සහිත බලවත් රාජ දඩුවම් වලට පාත්‍ර විය හැක. අද කාලයේ වගේ නොව ඒ කාලයේ වැරදි මඟ ගත් රජු සහ රාජ්‍ය පාලනය විවේචනයට ඉඩ -අවකාශ අල්ප ය.

ක්‍රම ක්‍රමයෙන්, ශ්‍රද්ධා සිත හීන වූ රජවරු සහ ජනතාව විසින්, බුදු සසුන් ප්‍රතිපදාවට පටහැනිව දෙවොල් දේවාල කෝවිල් ගොඩනැගීමට, ඇදහීමට සහ එම දෙවොල් දෙවාල කෝවිල් වලට පූජා පැවැත්වීමටත් නඩත්තු කිරීමටත් නතු විය. මේ කාලයේ තරම් තාක්ෂණික මෙවලම් දියුණු නැති අතීතයේ තම ගොවිතැන් බත්, හේන් ගොවිතැන දෑතේ වීර්‍යෙයෙන් කර ගත් ගොවියා දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයින් බුදු රදුන් කෙරෙහි ශ්‍රද්ධ හීන කමින්, තමන් ඇදහු දේවාලයට, කෝවිලට කැවිල්ලෙන් පෙවිල්ලෙන් , පඬුරෙන් සුවදින් , පූජා වට්ටියෙන්, ගොටුවෙන්, හෝ මොනයම් ආකාරයකින් හෝ දෙයකින් සංග්‍රහ කළෝ ය. දෙවොලට කෝවිලට අධිපති කම් කරන අමනුෂ්‍ය ඇත්තන් වෙනුවෙන් ආව තේව කම් කරන කපු, පූසාරි ඇත්තන්ට ද ශක්ති පමණින් සංග්‍රහ කළහ. එම සංග්‍රහ පිළිගෙන භුක්ති විදින,
සද්ධා හීන කපු පූසාරි ඇත්තන් ද මහත් උදාරම් ගතියෙන් තම කපු පූසාරි පරම්පරා පවත්වන්නට වූහ.
රාජ, රාජ මහාමාත්‍යවරු ද දේවාල කෝවිල් වලට රාජකීයත්වයට සරිලන ලෙසක් පා, පරිත්‍යාග කළහ. රජවරු ගම්වර දී එහි බදු ආදායම දෙවොලට කෝවිලට ලැබෙන පරිදි රාජ්‍යාඥා තැබවූහ. එකී සමහර රාජාඥා සන්නස් වශයෙන් ද හදුන්වත්.
දෙවොල් සහ දෙවොල් අධිපති අමනුෂ්‍ය ඇත්තෝ වෙනුවෙන් පෙරැහැර ද පැවැත්වූහ. ලංකා භූමියේ එසේ කිරීමට කිසිදු අයිතිවාසිකමක් ඔවුන්ට නැති වුව ද ශ්‍රද්ධා හීන සිතින් රජවරු එසේ කළහ. එපමණකින් නොනැවතී ඇතැම් බෞද්ධ සිද්ධස්ථානයන්හි ද දේවාල ඉදිකිරීම් කළහ. එම දෙවොල් හා කෝවිල් නඩත්තු කටයුතු, ප්‍රතිසංස්කරණ කටයුතු ද කළහ.
රජවරු විසින් එසේ දේවාල කෝවිල් වලට කරන ලද පරිත්‍යාග පිළිබඳව මහාවංශයේ ඇතැම් තැන් වල සඳහන්ව ඇත.
පුදුමය නම් ඇතැම් සංදේශ කාව්‍ය ලියූ භික්ෂූන් වහන්සේලා වෙතින් ද දෙවොල් දේවාල පිළිබඳ වර්ණනා කර තිබීම ය.

විවිධ කාල වකවානු වල ලංකා භූමියේ ඇති වූ අටෝරාසියක් දෙවොල් දේවාල, කෝවිල් අතර විෂ්ණු, කතරගම, ශිව(ඊශ්වර), ගණපති(පුල්ලයාර්), දැඩිමුණ්ඩ,(
වාසල බණ්ඩාර හා වාහල බණ්ඩාර, සඳුන් කුමාර, මැණික් බණ්ඩාර, අලුත්නුවර දේවතා බණ්ඩාර, ඇමිබැක්⁣කේ දේවතා බණ්ඩාර, ඳළදා බණ්ඩාර,
වාහල්කඩ දේවතා බණ්ඩාර,
පිටියේ බණ්ඩාර,)1
1.සුදුමල්කුමාර’ගේමරබණ්ඩාර’ ගලේ බණ්ඩාර’ ඟගේ බණ්ඩාර’
කුමාර බණ්ඩාර’ කීර්ති බණ්ඩාර’
කිරැල බණ්ඩාර’ දෙවි බණ්ඩාර’
නවගමු බණ්ඩාර’ වීදාගම බණ්ඩාර’ වීර වීකුමි බණ්ඩාර’
වීර වීකුමි දේවතා බණ්ඩාර’
වීර වීකුමිරත්න බණ්ඩාර’
වීර වීකිමි දෙවි’ වීර භද්‍ර දෙවි’
මහත් සුරිදු’ කිරිඳිගල්ලේ දේවතා බණ්ඩාර’ කෙ⁣⁣සෙල්ගමුවෙි දෙවි’⁣
දුනුමන්ත බණ්ඩාර හා දුනුමන්ත දෙවි, වෘක්ෂ බණ්ඩාර දෙවි,
වනේ බණ්ඩාර, පතමි බණ්ඩාර,
කුඩා කල නම දුනුමන්නා),
පත්තිනි, සූනියම්, කාලි, සොහොන් කාලි,
දුර්ගා, පාර්වතී, ලක්ෂ්මි, හනුමන්, කම්බිලි, කඩවර, අයියනායක, වල්ලි, තේවානි, සහ රජ්ජුරු බණ්ඩාර ගලේ බණ්ඩාර, නාග දෙවොල්, සමන් හෙවත් සුමන සමන් යන දෙවොල් දේවාල කෝවිල් ප්‍රධාන වශයෙන් ඇදහීම කරත්.
වෛතුල්‍යවාදී මහායාන ඇදහීමෙන් බෝධි සත්ව නාමයෙන් දෙවාල ඇදහීම ප්‍රචලිත විය.

සමන් හෙවත් සුමන සමන් පිළිබඳව ද යමක් කිව යුතුය; සමන් හෙවත් සුමන සමන් යනු දේවාල බලයකි. බුදු රදුන්ගේ ප්‍රථම ලංකා ගමනේදී බුදු රදුන් විසින් දෙශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝතාපන්න වූ සුමන සුරිඳු නම් ආර්ය දෙවි රදුන්, සමන් යන දේවාල බලය නොවන බව සැළකිය යුතු ය. ත්‍රිපිටකයේ හෝ මහා වංශයේ හෝ අටුවාවක, ටීකාවක, හෝ ථේරවාද සාසන ඉතිහාස ගතක හෝ සමන් යනුවෙන් හෝ සුමන සමන් යනුවෙන් හෝ දෙවි කෙනෙකු පිළිබඳව කිසිදු දේශනවක් හෝ සඳහනක් නැත; සුමන සුරිඳු යනුවෙන් ආර්ය භාවයට පත් වූ දෙවි කෙනෙකුන් මිස සුමන සමන් හෝ සමන් යනුවෙන් බෞද්ධ දෙවි කෙනෙකුන් පිළිබඳව කිසිදු සඳහනක් නැත. සමන් හෙවත් සුමන සමන් එකෙකි. සුමන සුරිඳු (ආර්ය වූ දෙව් තොමෝ) තවකෙකි. දෙදෙනෙක් මිස එක් අයෙකු නොවේ.

ආර්‍ය භූමියට පත් උතුමෝ සක්කායදිට්ඨි ,විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන තුන් සංයෝජන සිඳලූ බැවින් ශාස්වත දෘෂ්ටික දේවාල ඇදහීම් වලට කිසිදු අනුබලයක්, නොදේ. ආර්ය උතුමෝ එකම ශාස්‍තෘ වූ බුදුරදුන්ගෙන් සිත ගලවා එක් චිත්තක්ෂණයකුදු තමන් උදෙසා හෝ වෙනයම් පිදවිලි ක්‍රමයකට හෝ යාතිකාවකට හෝ දෙවොල් ඇදහීමකට හෝ කිසිදු සත්වයකු යොමු නො කරවත්. ආර්‍ය්‍ය උපවාද කර්ම ද නොකරත්. අනුන් ලවාද නො කරවත්.

බෞද්ධ වූ සම්දිටු දිව්‍ය දේව වූ කිසිදු දේව හෝ දේව පුත්‍ර හෝ දිව්‍යාංගනා හෝ බෞද්ධ දිව්‍යය ම වූ කිසිවෙක් කැවිල්ලට, පෙවිල්ලට, කැවුම් පෙත්තට, කෙසෙල් ගෙඩියට, අඹ පළුවකට, අන්නාසි කෑල්ලට,දොඩම් බිකට, කොමඩු කෑල්ලට, කිරි බත් ගොටුවට, කිරි බත් කෑල්ලට, පඬුරු පාක්කුඩමට, දුම්මල දුමට, සාම්බ්‍රානි දුමට, සීනු නාදයට, උඩැක්කි ශබ්දයට, බෙර පද ශබ්දයට, නාලා නාදයට, කාවඩි බජව්වට, එසේත් නැති නම් පළතුරු පූජා වට්ටියට, වාල් කම් නො කරත්. මෙහෙකාර කම් නො කරත්. සෙත් කවියට වස් කවියට, මන්ත්‍ර ජපයට, යන්ත්‍ර ජපයට, යාග හෝමයට ද බෞද්ධ දෙවියන්ගේ සම්බන්ධ කම් නැත. ඒ සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර ය.

සම්දිටු දෙවියන් සලකන්නේ පංච ශීලාදී ගුණ ධර්මයන්ට සහ දාන,ශීල, භාවනා, යන ත්‍රිවිධ පුඤ්ඤ ක්‍රියා හෝ ශීල , සමාධි, පඤ්ඤා යන කුසල් බල වඩන පුද්ගලයන්ට ය. විශේෂයෙන් අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ විසාක සූත්‍රය අධ්‍යනය කිරීමෙන් සම්දිටු දෙවියන් මනුෂ්‍යාගේ ශීලයට දක්වන සැල්කිල්ල කොතරම් ද කියා වටහා ගත හැක.

කියන ලද ආකාර දෙවොල් දේවාල කෝවිල් ඇති වීම පටන් එම දේවොල් දේවාල අධිපති අමනුෂ්‍යයන් සහ එකී සමාගම් විසින් දීර්ඝ කාලයක සිට දෙවොල් දේවාල පිළිගත් ලක්වැසි ජනතාව විසින් පිළිපැදි ආකාරය ඉහත විස්තර කෙළෙමු.

රාජ්‍ය වර්ෂ (ක්‍රි: ව:) 1505 ලොරන්සෝ ද අල්මේදා නම් පෘතුග්‍රීසි ජාතික නාවික සෙන්පතියා සහිත පරිවාර නාවිකයන් පිරිස ගමන් ගත් නැව හදිසි කුණාටුවකට හසු වී ගාල්ල වරායට ගොඩ බටහ. එවකට ලක් දිව කෝට්ටේ සිංහාසනය හෙබවූයේ 8 වන වීර පරාක්‍රමබාහු රජ තුමා ය. ( රජුගේ රෝගී බව නිසා පසුව රජ වූ 9 වන ධර්ම පරාක්‍රමබාහු එවකට යුව රජු වශයෙන් රාජ්‍යවිචාරීම කළ බව ඇතමෙකුගේ මතය ය.)

ලොරන්සෝ ද අල්මේදාගේ පියා වන සෙන්පති ෆැන්සිස්කො ද අල්මේදා, පෘතුග්‍රීසි රජු විසින් පත් කරන ලද, එවකට ඉන්දියාවේ ගෝවේ ප්‍රතිරාජයා ය. ඔහු තම පුතු ලොරන්සෝ ද අල්මේදාට කියා තිබුණේ “සෙයිලන්” නම් දිවයින සොයා ගත යුතු ලෙසට ය.
කුරුඳු ආදී කුළු බඩු වලට ප්‍රසිද්ධියක් ඉසුලූ ලංකාව, එවකට එහි වෙළඳ බලය අත්පත් කර ගෙන තිබුණේ මුස්ලිම් ජාතිකයන් විසිනි. කෙසේ නමුදු අනපේක්ෂිත හදිසි කුණාටු තත්වයක් හේතුවෙන් ගාල්ල වරායට සේන්දු වූ ලොරන්සෝ ද අල්මේදා ඇතුළු ඔහුගේ නාවික බලමුළුව එවකට ගාළු වරායේ වෙළඳ බලය අත් පත් කර ගෙන සිටි මුස්ලිම් ජාතික වෙළඳුන් යටත් කර එහි නාවික බලයත් කුළු බඩු වෙළද බලයත් සියතට ගත්හ. එතනින් නොනැවතී ලංකාවේ මුහුදු බඩ පාලනය කෲර වූ සංග්‍රාම ශක්තිය යොදවා ඔවුහු අතට ගත්හ. බෞද්ධ සිද්ධස්ථාන කොල්ල කා විනාශ කළහ. පසු කාලයේ ඔවුන්ගේ පාලන බලය පිහිටුවා සිංහල බෞද්ධයන් බලහත් කාරයෙන් කතෝලික දහමට බඳවා ගත්හ. කතෝලික දහම බලහත්කාරයෙන් ව්‍යාප්ත කළහ. මේ හේතුවෙන් සිංහල වැසියන්ට, සිංහල රාජ්‍යයට, සම්බුද්ධ ශාසනයට වූ හානිය මෙතෙකැයි කියා නිම කළ නො හැක. පසුව මෙරට ලංදේසි සහ ඉංග්‍රීසි පාලන බලයට ද හේතු වූයේ පෘතුග්‍රීසීන්ගේ මෙකී ආගමනය ය.

ලොරන්සෝ ද අල්මේදා ලංකාවට ගොඩ බසින්නට මත්තෙන් මුහුදේ කුණාටුවෙන් අතරමංව ලංකාව දෙසට සේන්දු වීමෙන් අපට වූ හානිය ද ඊට පසුව වූ හානියේ මූලාම්භය ද පැහැදිළි කෙළෙමු.

ඔය කියන කාළයේ මේ රටේ දෙවොල් දේවාල, කෝවිල් බොහෝ ඇති බී තිබිණි. ඒ වන විට මෙරට ඇතැම් ජන කොටස් තම ශක්ති පමණින් එකී දේවාල කෝවිල් අධිපති පිරිස් උදෙසා පුද-පූජා, බාර හාර, සංග්‍රහ, සම්මාන, සැළකිලි කළ බව නොරහසකි. එසේ සැළකුම් ලැබූ දෙවොල් දේවාල කෝවිල් අධිපති කම් ලැබූ දෙවියෝ ය’යි නම් ලැබූ ඒ පිරිවර තම යුතුකම් හරියාකාරව ඉෂ්ට කළ බවක් නම් අපට නො පෙනේ. කළ ගුණ දැක්වූ බවක් නොපෙනේ.
අප එසේ කියන්නේ යම් කවුරු හෝ තමන් අදහන්නේ ද, පිළිගන්නේ ද, සළකන්නේ ද ඔවුන් වෙත පෙරලා උදව් කිරීම සත්පුරුෂයන්ගේ ස්වාභායකි; එය සත්පුරුෂ ධර්මයක්; ලෝකයේ එය උසස් කොට සැළකීමක්.

ලොරන්සෝ ද අල්මේදා මේ රටට එන විට, හදිසියේ ගාල්ල වරායට එන බව සහ ඔවුන්ගේ පැමිණීමෙන් පසු මේ රටේ ජනතාවට වන මහත් ව්‍යසනය, බුදු සසුනට, බෞද්ධ ජනතාවට, වන මහත් ව්‍යසනය, දෙවොල් දේවාල කෝවිල් අධිපති දෙවියන් ය’යි ඇත්තෝ නො දැක්කේ ද? එසේ නො දැකීමට හේතු නැත. ඔවුන්ට දිවැස් ඇති බැවිනි. දැක්කා නම් එයට නිසි පිළියමක් නො යොදා සිටීම කොතරම් අකෘතඥ කමක් ද? අඩුම තරමින්, ඔවුන්ට ඇතැයි කියන බල පුළුවන්කාර කම, බල මහිමය උපයෝගී කර ගෙන ලොරන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස ගමන් ගත් නැව ඔවුන් ගමන් ආරම්භ කළ නැව් තොටට හෝ ඔවුන්ට ද කරදරයක් නොවන ලෙස වෙනයම් ස්ථානයකට හෝ හරවා යවන්නට කටයුතු නො කිරීම කොතරම් අකෘතඥ කමක්ද?
එක් අයෙකුට බැරිනම් ඔය කියන විෂ්ණු, කතරගම , ශිව, ගණපති,දැඩිමුණ්ඩ, පත්තිනි, සූනියම්, කාලි , සොහොන් කාලි , සමන්, ආදී මෙකී නො කී සියලු පිරිස ඔවුනොවුන්ට කථා කොට ඒකාබද්ධව බලමුළු ගන්වා හෝ තම යුතුකම ඉටු කළ යුතු යි නේද?
ඒ කිසිවක් නො කොට තම යුතුකම පැහැර හැරිය බව නම් පැහැදිළි ය.
එසේ නැති නම් කිසිවක් කර කියා ගත නොහැකි නිකමුන් පිරිසක් ලෙස බලාගත් අත බලා සිටියා ද?

මේ සියලු දෙයින් සිදු වුයේ මෙරට සම්බුද්ධ ශාසනයට සහ බෞද්ධ කුලයට පරිහනිය ගෙන දීමය.
බුදු සසුන් මඟට පිටින් අමනුෂ්‍යයන් ඇදහීම තුලින් සිදුවූයේ, මිසදිටු සතුරු විපත්තියක් මැඩ පැවැත්වීමට තරම් තම කුසල ශක්තිය අරි අට මඟට අනුකූලව බල ගැන්වී නොමැති වීමය. විපතේදී ඔවුන් ද පිහිටට නොපැමිණි බව පැහැදිළි ය. එසේ නම් දෙවොල් ,දේවාල කෝවිල් අධිපති කම් කරන අමනුෂ්‍යයන්ගේ සහ ඒ ඒ දෙවොල් දේවාල කෝවිල් වැද කටයුතු කරන කපු පූසාරි ඇත්තන්ගේ කයිවාරු පුරසාරම් තවත් කුමට ද? විපතේදී ඔවුන් පිහිටට නොපැමිණි බව පැහැදිළි ය. විපතේ දී මඟ හරින අසප්පුරුෂ පුද්ගලයන් (මනුෂ්‍ය, අමනුෂ්‍ය) දුරින් ම දුරු කළ යුතු ය.

ඉහත දැක් වූ දැඩිමුණ්ඩ ගැන ද යමක් කිව යුතු ය.

“මුණ්ඩ (දෘඩ මුණ්ඩ) නම් වූ එතුමා “දැඩි මුණ්ඩ.” වන්නේ, ගෞතම බුදුන්ගේ මාර පරාජයේදී අනෙක් අය දුවන නමුත් මුණ්ඩ පමණක් නොබියව නොසෙල්වී සිටි නිසා බව පැවසේ.”
මේ එක් තැනක දැඩ්ඩිමුණ්ඩ හදුන්වා දීමේදී දක්වා ඇති වැකියකි.
මෙම කීම ඉතාමත් සාවද්‍ය සම්පජාන මුසාවාදක් බව කිව යුතු ය. තථගයන් වහන්සේගේ ත්‍රිපිටක බුද්ධ වචනය තුල හෝ අටුවාවක, ටීකාවක දැඩිමුණ්ඩ ගැන කිසිදු සඳහන් කිරීමක් නැත;

එදවස මහ බෝසතානන් වහන්සේ ජය ශ්‍රී මහ බෝ මැඩ වැඩ සිටින අවස්ථාවෙහි මහ බෝසතානන් බැහැ දැකීමට සපැමිණි දස දහසක් සක්වළ, දෙවි, බඹ, සක්‍ර, යක්ෂ, ගාන්ධර්ව නාග සුපර්ණාදි අමනුෂ්‍ය පිරිස්, දස බිම්බරක් මාර පිරිස සහිත වසවත්ති මාර දේවපුත්තගේ ආගමනයත් සමඟ හිස් ලූ ලූ අත පලා හියහ. එකදු දෙවියෙකුදු එහි සිටීමට සමර්ථ නොවුනු බවත් මහ බෝසතුන් වහන්සේ තනිව ම වැඩ සිටිය බවත් විසුද්ධ ජනවිලාසිනී නම් අපදාන පාලි අට්ඨකථාවෙහි දක්වා ඇත.

” ඒක දේවතාපි ඨාතුං සමත්ථා නාම නාහෝසි මහාපුරිසෝ පන ඒකෝව නිසීදි.”
(අපදාන පාලි අට්ඨකථා හේවාවිතාරණ මුද්‍රණය පිට 64)
“එක් දෙවියෙකුදු එහි සිටීමට සමත් නම් නොවීය. මහබෝසත්හු වනාහි තනිව ම වැඩ සිටි සේක.”
යනු එහි සිංහලාර්ථය ය.

වසවත්ති මාර දේවපුත්‍ර විසින් විවිධ ආකාරයෙන් දිව්‍යමය සෘද්ධිය පා මහ බෝසතුන්ට පහර දී කිසිදු හානියක් කිරීමට නොහැකි විය.
මහ බෝසතානන් වහන්සේ මාර දෙව් පුතුගෙන් විමසන්නේ මම දානාදි පින්කම් කොට පාර්මී ධර්ම බලයෙන් මේ වජ්‍රාසන භූමියේ වැඩ සිටී. ඔබට මේ වජ්‍රාසනයට හිමිකම් සඳහා සක්ෂි තිබේ ද? එවිට වසවත්ති මාර දේවපුත්‍ර උදෙසා මහ බෝසතානන් වහන්සේ වැඩ සිටිය වජ්‍රාසනයට අයිතිවාසිකම් පිණිස මාර පිරිස, “අපි සාක්ෂි අපිත් සාක්ෂි ය”යි කීයෝ ය.
අනතුරුව වසවර්ති මාර දේව පුත්‍ර විසින් මහ බෝසතානන් වහන්සේගෙන් ” ඔබට මේ වජ්‍රාස්න භූමියට හිමි කම් සඳහා සාක්ෂි තිබේ ද යන්න විමසන ලද විට දී මහ බෝසතානන් වහන්සේ,

“මයිහං පන ඉමස්මිං ඨානෙ සචේතනො කෝචි සක්කි නාම නත්ථි”
(අපදාන පාලි අට්ඨකථා හේවාවිතාරණ මුද්‍රණය පිට 66)

“මට වනාහි මෙහි සිටින ජීවමාන කිසිදු ශාක්ෂියක් නැත.” යනුවෙන් පිළිතුරු දී වදාළාහ.

අපදාන පාලි අටුවේ විස්තර කථාවෙන් පැහැදිළි වන්නේ, මහ බෝස්තානන් වහන්සේගේ මාර පරාජය කළ මොහොතේ සක් සුරිඳුන් සහිත සියලු දෙවියන් ද මහාබ්‍රහ්ම රාජයෝ සහිත සියලු බ්‍රහ්මයන් ද සහිත සියලු අමනුෂයන් මහ බෝසතානන් වහන්සේ තනි කර දමා පලා ගිය බව ය. එහි “මුණ්ඩ” හෙවත් දැඩි මුණ්ඩ කෙනෙක් කෙසේ සිටියේ ද?
“මුණ්ඩ (දෘඩ මුණ්ඩ) නම් වූ එතුමා “දැඩි මුණ්ඩ.” වන්නේ, ගෞතම බුදුන්ගේ මාර පරාජයේදී අනෙක් අය දුවන නමුත් මුණ්ඩ පමණක් නොබියව නොසෙල්වී සිටි නිසා බව පැවසේ.”

යන දැඩිමුණ්ඩ ගැන මේ කියුම්, සම්බුද්ධ දේශනාවට, සම්බුද්ධ ශාසනට පටහැනි, සම්පජාන මුසාවාද බව කිව යතු ය. බෞද්ධ ජනතාව රැවටීමක් ද මුලා කිරීමක් ද වන බව ද කිව යුතු ය.

Protected by Security by CleanTalk