මේ ලියන මමත් 1971දී රහස් පොලිසියේ හතරවෙනි මහළයේදී පැය 5ක් තිස්සේ ප්‍රශ්න කිරීමට භාජනය වුණා.
ප්‍රශ්න කරන අතරතුරේදී එම පොලිස් නිලධාරියාගේ හැසිරීම මිනිස්කමටත් නින්දාවක් වූ නමුත් මාගේ ශරීරය ස්පර්ශ කරන්නට ඔහුට කිසිම ආත්ම ශක්තියක් තිබුණේ නැහැ.
නමුත් හතරවෙනි මහලේ දී තමන්ගේ මස් පිඬු වල හයිය බැලූ අළුගෝසුවන් අතින් මියගිය තරුණයින්ගේ ගණන කොතෙක්දැයි තවම කිසි කෙනෙක් දන්නේ නැහැ.
කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගැනීමේ හැකියාව ඇත්තේ පොලිසියේ මහත්තුන්ලාට පමණක් නොවන බව මතක් කර දෙනු කැමැත්තෙමි.
දේශපාලනයේ අවස්ථාවාදී බව, බලයට ඇති කෑදරකම, කල දුටු කළ වළ ඉහ ගැනීම
පාර්ලිමේන්තුවට පමණක් සීමාවුණි නම්, අපේ රට මීට වඩා කොතරම් හොඳ වෙන්න ඉඩ තිබුනාද.
ජනතාවට සේවය කිරීමට බැඳී සිටින, ජනතාවගේ සේවකයන් ලෙස ජනතා බදු වලින් වැටුප් ලබන කුමන හෝ නිලධාරියෙක් තම තනතුර අවභාවිතා කරන්නේ නම් ඔවුන්ට සැලියුට් ගහන්න ජනතාව සෑදී පැහැදී සිටිය යුතු නැහැ.
ශිෂ්ට සම්පන්න රටවල්වල මහ මඟ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් තතු තරාතිරම් නොබලා ඕනෑම පුරවැසියෙකුට “සර්” කියා අමතනවා. ඒ හැම මොහොතකම එම නිලධාරියාගේ මනසට ඇතුල් වන්නේ ඔහු ජනතාවගේ මුදලින් නඩත්තු වන සේවකයෙක් පමණක් කියායි.
ජවිපෙ/ජාජන බලවේග හවුල විශ්‍රාම ගිය පොලිස් සහ සන්නද්ධ හමුදාවල ඉහළම තනතුරු දැමූ පුද්ගලයින් සමඟ ආණ්ඩුවක් පිහිටවූ දිනක අසාධාරණයට එරෙහිව තරුණ තරුණියන් මහ මඟට අවතීර්ණ වුවහොත්, පොලිසිය ඒ අයට සිසිල් පැන් වලින් සංග්‍රහ කරන්න බලාපොරොත්තුවක් ඇත්නම්, මම පෞද්ගලිකවම අතීතයේදී යුනිෆෝම් දැරූ මේ හැම බලවතාටම මල් මාලයක් දමා පිළිගනිමි.
එදාට වැලිකඩ හිර ගෙදර තාප්පයේ ලියා තිබෙන “සිරකාරයොත් මනුෂ්‍යයෝය” යන වැකියට සමානවම කොටුවේ රහස් පොලිස් ගොඩනැගිල්ල ඉදිරියේත් “පොලිස් නිලධාරීනුත් මනුෂ්‍යයෝය” කියා ලියා තැබීමට අමතක නොකරමු.
නමුත් ජවිපෙ/ජාජබ ආණ්ඩුවක පාලනය දුවන්නෙත් වර්තමානයේ ඇති පීළිමතම නම්, අනාගත තරුණ පරපුර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරියේ මෙසේ ලියා තබනු ඇත.
“මෙහි සිටින්නේ මනුෂ්‍යයන් පමණක් නොවේ”
-තෙවැනි ඇස-
11.06.2024