Spread the News

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි.

දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි.

ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි.

සත්‍ය යනු කුමක්ද යැයි දිනෙන් දින වටහා ගැනීමත් සමගම මිනිසා බොරුව පිළිකෙව් කළා. සදාචාරය යනු බොරුව ප්‍රතික්ෂේප කිරීමත් සත්‍ය ආරක්ෂා කිරීමත් බව මිනිසුන් අදටත් තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටිනවා.

නැගෙනහිරින් හිර පායන බවත්, හිරු බටහිරින් බැස යන බවත් සත්‍යයක් වුවත් ඒ සත්‍යයෙන් මිනිසාට අවසාන විමුක්තිය ලැබෙන්නේ නැහැ.

නැගෙනහිරින් හිර පායන බව හෝ බටහිරින් හිරු බැස යන බව අවසානයේදී සාහිත්‍යයට පමණක් සීමා වන්නේ ඇත්තෙන්ම සිදුවන්නේ හිරු නැගීමක් හෝ බැසීමක් නොව හිරු වටා පෘථිවිය භ්‍රමණය වීම නිසයි.

ක්‍රි.පූ. 5 වන සියවසේ ග්‍රීක දාර්ශනික ෆිලෝලස් Philolaus of Crotan පෘථිවිය ගිණි බෝලයක් වටා කැරකෙන බව පැවසුවා. ක්‍රි. පූ. 3 වන සියවසේදී ඇරිස්ටකස් Aristarcus of Samos ග්‍රීක දාර්ශනික ෆිලෝලස්ගේ මතය පදනම් කරගෙන පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන බව පැවසුවා.

16-17 සියවසේ ඉතාලියේ ජීවත් වූ ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥයකුවූ ගැලිලියෝ Galileo di Vincenzo පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන පෙන්වා දුන්නා.

මේ එක සත්‍යයක් පමණයි. එය මූලාරම්භයකින් ඇරඹී පරිණාමය වෙමින් අවුත් ගැලලියෝගෙන් අවසන් වන පරම සත්‍යයක් බවට පත්වීමට ශත වර්ෂ ගණනාවක් අවශ්‍ය වුණා.

ක්‍රිස්තු පූර්ව 623 දී නේපාලයේ ලුම්බිණියේ උපන් සිද්ධාර්ථ, ගෞතම නමින් බුදු වන්නේ සියලුම සත්‍යයන් කැටිකොට ඉදිරිපත් කළ පරම සත්‍යය වන චතුරාර්ය සත්‍යය සොයාගැනීමත් සමගයි.

බොරුව මත පදනම් වූ ආගම් රාශියක් ලොව පුරා පැතිර ඇති යුගයක ඊනියා දේශපාලනයද ආගම් විසින් උගන්වන බොරු පදනම් කරගෙන ලෝකය මුදාගැනීම කෙසේ වෙතත් තමන් උපන් රටවත් මුදාගැනීමට නොහැකිව තවදුරටත් බොරුවට පොහොර දමමින් කාලය කා දමමින් සිටිනවා.

බුදු දහමට එරෙහිව ලෝකයම පෙළගැසී ඇත්තේ වෙනත් ආගම්වල බොරු විසින් පෝෂණය කරන දේශපාලන මතවාද පදනම් කරගෙනයි.

ධනවාදය විසින් කම්කරු ශ්‍රමය සූරා කෑම පරම සත්‍යයක් සේ ලොවට ඉගැන්වූ කාල් මාක්ස්ගේ දර්ශනය ශත වර්ෂයක් ඉක්මවන්නත් කලින් ප්‍රතික්ෂේප වන්නේ ධනවාදයේ හපන්කමක් නිසා නොවෙයි.

කාලීන සත්‍යයක් වූ ශ්‍රම සූරා කෑම සදාකාලික නිර්ණායකයක් නොවන නිසා ඒ වෙනුවට විකල්ප නිරන්තරවම ඉදිරිපත් වෙමින් පවතිනවා. ධනවාදය පූර්ණ වශයෙන් පෘථිවි තලයෙන් ඉවත් නොවුනත්, එහි ව්‍යුහාත්මක වෙනස්කම් තුළින් කෘත්‍යන්ද වෙනත් මුහුණුවරින් ලෝකය හමුවට එනවා.

නිවහල් චින්තනය ගුරුකොට ගෙන අලුත් නිමැවුම් ලෝකය වෙලාගන්නවා.

අලුත් අවශ්‍යතාවන් තුළ අලුත් ක්‍රියාකාරකම් බිහිවෙනවා.

පෘථිවිය බිහිවුණු දා සිට අද දක්වාත් නොනැවතී සූර්යයා වටා කැරකෙමින් පවතිනවා.

මුග්ධ මිනිසුන් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වැනි බංකොලොත් දේශපාලන මතවාද භාවිතා කරමින් දීර්ඝ ගමනක් යෑමට සූදානම් වෙනවා.

ප්‍රසිද්ධ ජර්මන් කියමනක් තිබෙනවා “බොරුවෙ කකුල් කොටයි” කියා.

විවෘත මනසකින් අපි මේ දෙස බලා සිටිමු.