Spread the News

“සමාජවාදය”  කියන වචනය ඉතිහාසයට එකතු වන්නේ කාර්ල් මාර්ක්ස්ගේ සහ එංගල්ස්ගේ සුසංයෝගය නිසා බව ඒත්තු ගැන්වීමට දේශකයා දිගින් දිගටම උත්සාහ කළ බව පෙනුනා.

ඉදිරිපත් කිරීම දේශනයේ අන්තර්ගතය හා ඉදිරිපත් කිරීමේ තාක්ෂණය මත ආකර්ෂණය වූවා මිස, අවසානයේදී වචන හරඹයක් බවට පත්වීම නොවැළැක්විය හැකිවුණා.

දේශකයා අවංක උත්සාහයක් දරා තිබුණා මනෝරාජික සමාජවාදය සහ විද්‍යාත්මක සමාජවාදය අතර වෙනස පැහැදිලි කරන ඉරක් අඳින්න. නමුත් එය කියන තරම් සරළ නැති බවත් විද්‍යාත්මක සමාජවාදයක් ධනේෂ්වර ක්‍රමය තුළ ගැබ් ගත්තද ලොවට බිහිවුනේ බලාපොරොත්තු දරුවා නොවන බවත් ඉන් පැහැදිලි වුනා.

පුතෙක් බලාපොරොත්තු වෙන පියෙකුට දුවලාගෙන් වැඩක් නැතිවා සේ ප්‍රායෝගික නැති සමාජවාදයකින් අඩු වශයෙන් ආශ්වාදයක් වත් නැති බව අප පිළිගත යුතුයි. පුතෙක් ඉපදෙන තුරුම දිගින් දිගටම සහවාසයේ ⁣යෙදුනත් ඒ හැම වතාවකම උපදින්නේ දියණියක් නම් බලපොරොත්තු සුන් වූ පියෙකුට පුතෙකු පිළිබඳව ඇතිවන්නේ මනෝරාජික සිහිනයක් පමණි.

විද්‍යාත්මක සමාජවාදයක් බිහි කිරීමට ලෙනින්ට ඇත්තෙන්ම අවංක බලාපොරොත්තුවක් මෙන්ම අධිෂ්ඨානයක්ද තිබුණත්, එය යථාර්ථයක් කර ගැනීමට නොහැකි අන්දමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර සාධක රාශියක් ඊට හරස් වුණා.

ඇමරිකාව ප්‍රමුඛ කතෝලික පල්ලිය, බටහිර නිෂ්පාදන හා වෙළඳපළ හා ඒවායේ ගුණාත්මක බව සෝවියට් බලාපොරොත්තුව සිහිනයකටම සීමා කර තැබුවා.

ඇමෙරිකාව හා බටහිර ජර්මනිය දියුණු කිරීමට යුදෙව් ජාතිකයින්ගේ බුද්ධි ප්‍රභාවය තදින්ම බලපෑවා. මේ සඳහා බටහිර රටවල්වල බොහෝ දුරට ආරක්ෂා වන පුද්ගලික නිදහස, රාජ්‍ය නිර්බාධද ප්‍රතිපත්ති, ප්‍රාග්ධනය, අධ්‍යාපනය හා යටිතල පහසුකම් විශාල කාර්යභාරයක් ඉටුකළා.

ඒ තත්ත්වය සෝවියට් දේශයට හෝ නැගෙනහිර යුරෝපයේ පරිවාර රාජ්‍යවලට කිසිදාක ලැබුණේ නැහැ.

සෝවියට් දේශයේ හා නැගෙනහිර යුරෝපයේ රටවල්වල අධ්‍යාපනය ලැබූ විදේශික ශිෂ්‍යයෙන් හැමදෙනාම පාහේ වැඩිදුර අධ්‍යාපනයට හා රැකියා අවස්ථාව ලබා ගැනීමට පැමිණියේ ධනවාදයේ උච්චත්වයේ සිටි බටහිර ජර්මනියට මහා බ්‍රිතාන්‍යයට සහ ඇමෙරිකාවටයි.

මුල් උපාධිය සමාජවාදයට පින් සිද්ධ වෙන්න ලබාගෙන ආචාර්ය උපාධි වැනි දේ බටහිරින් ලබාගෙන නොදියුණු හා දියුණු වෙමින් පැවැති ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල ශිෂ්‍යයින් තමන් උපන් භූමියේ සහෝදර ජනතාව අමතක කර ධනේෂ්වර රාජ්‍යවල විද්‍යා හා කාර්මික ජයග්‍රහණ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා. 
අධ්‍යාපනය හරහා ජනතාව තුළ  ආකල්පමය වෙනසක් ඇති කිරීමට ක්‍රමය අපොහොසත් වූ විට, සත්ව සහජාශයටම තැනදී අනෙකාව පරදා පොහොසත් වීමේ ආශාවෙන් මඩනා ලදුව අවසානයේදී මිනිස්කමටත් නිගරුවන සේ ජීවත්වීමට මෙවන් පිරිස් පුරුදු පුහුණු වී සිටියා.

ප්‍රංශ විප්ලවයෙන් පසු 1871 බිහි වුණු Paris Commune පාලනය  ඉතාමත් ප්‍රායෝගික අන්දමින් සමාජවාදය කෙබඳු මුහුණුවරක් ගත යුතුද යන්න ලොවට පෙන්වා දුන්නා. සමානාත්මතාවය එහි ඉතාමත් වැදගත් අංගයක් වුණා. අතීතය හා අනාගතය යා කරන පාළමක් බවට බවට පත්වුණා. 
සෝවියට් දේශයට තිබුණු සමාජවාදී සිහිනය නැගෙනහිර යුරෝපයේ පරිවාර රාජ්‍යයන්ට තිබුණේ නැහැ. ඔවුන්ගේ එකම සිහිනය වූයේ බටහිර ජර්මනියේ  මෙන් උදාර පාරිභෝජනයකට ( conspicuous consumption) සමාජමය වශයෙන් බැරිනම් පුද්ගලික වශයෙන් හෝ අවස්ථාවක් ලබා ගැනීමයි.
හරි හෝ වැරදි හෝ මෙය තමයි මනුෂ්‍ය ස්වභාවය.

මේ නයින් බලන කල සැබෑ සමාජවාදයක් ද්‍රව්‍යවාදී සමාජයක් තුළ බිහිනොවන්නේ, ධනයෙන් ආඩ්‍ය වීමටත්, පාරිභෝජනයේ ඉහළම අදියරයකට ළඟා වීමටත්
මිනිසා තුළ ඇති නොතිත් ආශාව සමාජවාදය නැමැති දේශපාලන දර්ශනය හරහා පරාජය කළ නොහැකි බවයි.

ලොව මෙතෙක් බිහි වුණු ශ්‍රේෂ්ඨතම සමාජවාදියා  ගෞතම බුදුන් වහන්සේයි. එතුමාගේ ඉගැන්වීම වසර දෙදහස් පන්සීයක් තුළ කිසිදාක වෙනසකට භාජනය වූයේ නැත. එය එදා වගේම අදටත් වලංගුයි හෙටටත් වලංගුයි. බුදුදහම මනුෂ්‍යයාට පමණක් නොව සකල සත්ව සංහතියටම විමුක්තිය ප්‍රාර්ථනා කරනවා.  එතන ඇත්තේ සටනක් නොව අවිහිංසාව කරුණාව මෛත්‍රිය වැනිගුණාංගයි.
අප විසින් දිනාගත යුතු සමාජවාදය එය නොවේද?

මාර්ක්ස් හා එංගල්ස් සමාජවාදය පිළිබඳ තම සිහිනය තුළදී ලේ හලන විප්ලව නොදුටුවත්  ලෙනින්ට හෝ ස්ටාලින්ට එය මගහැර යෑමට හැකියාවක් ලැබුණේ නැහැ.

කොමියුනිස්ට් ක්‍රමයේ විප්ලව වෙනුවෙන් හා එම විප්ලව මර්ධනය කිරීම තුළින් විනාශ වුණු ජීවිත සංඛ්‍යාව මෙතැකැයි කියා ගණන් බලා නෑ. ලෝකයේ කොහේ හෝ මුල්ලක සමාජවාදී නාමයෙන් අරගල කරන ගොවි කම්කරුවන් සහ ශිෂ්‍යයින්  හෙට දිනයේත් මහපොළොව ඔවුන්ගේ ලේ වලින් තෙත් කරනු ඇත.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
12.08.2024