Spread the News

උපුටා ගැනීම දිවයින පුවත් පත මඟින්

අනුර කුමාර දිසානායක මීරිගමදී සහ සයින්දමරුදුහිදී කියයි
මාලිමාවේ ජය දැක ප්‍රතිවාදීන් අවලාද නගා කුමන්ත්‍රණය කරනවා:
ජාතික සමගිය ඇති රටක් හදන්න පුළුවන් මාලිමාවට විතරයි

සජිත් එන්නෙ හකීම් කරේ තියාගෙන
රනිල් එන්නෙ අතාවුල්ලා කරේ තියාගෙන
අපි එන්නෙ ජනතාව කරේ තියාගෙන
උතුරට දකුණට නැගෙනහිරට එකම කතාව කියන්නේ අපි විතරයි

සියලු දෙනා එකට එකතු වී අවුරුදු හතරක් පහක් පොර බදා පොහොසත් රටක් බවට මේ රට පත්කිරීමේ දේශපාලන පරිවර්තනය කරමු යැයි ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මීරිගම දී (14 වැනිදා) නගර සභා පිටියේදී පැවැති රැස්වීමට එක්වෙමින් මේ බව පැවසීය. එහි දී ඔහු මෙසේද කීය.

අවුරුදු පහක් පොර බදා පොහොසත් රටක් හදනවා

අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අන්දමන්ද වෙන තරමට දැවැන්ත ඡන්ද ව්‍යාපාරයක් මේ වන විට අපි දියත් කරලා තියෙනවා. අපි මේ රටේ විවිධ කේෂ්ත්‍රවල කණ්ඩායම් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන් සහ කලාකරුවන් ඒකරාශී කරගෙන තිබෙනවා. ඒ වගේම ඔබ මේ ආසනය පුරා ඇවිදලා ග්‍රාමසේවා වසම් කොට්ඨාස කමිටු හදලා සංවිධාන යාන්ත්‍රණය ශක්තිමත් කළා. ඒ තත්ත්වය කොයි තරම් ප්‍රබල ද කියනවා නම් සතුරාට ප්‍රතිවාදියාට අවලාද අසත්‍ය කුමන්ත්‍රණ කතා කියනවා හැර වෙන උත්තරයක් නැති තැනට ඒ ගොල්ලන්ගේ දේශපාලනය හිරවෙලා තිබෙනවා. ඒ වගේම මෙය සාමාන්‍ය පරිවර්තනයක් නෙවෙයි. ඉතිහාසය ගත්තහම සිංහල මහා සභාවෙන් පස්සේ සුද්දා අපිව සිංහල දෙමළ, මැලේ, බර්ගර් කියලා බෙදන්න පටන් ගත්තා. තව පැත්තකින් උඩරට පහතරට කියලා බෙදුවා. හැබැයි සුද්දට එරෙහිව එක සටනක්වත් කරන්න බැරි වුණා. ඒ වගේම තමයි අනෙකාට එරෙහි දේශපාලනය උතුරට එරෙහි දකුණේ දේශපාලනය, දකුණට එරෙහි නැගෙනහිර දේශපාලනය මුළු ඉතිහාසයම එකිනෙකාට එරෙහි වන දේශපාලනයක්. හැබැයි ලංකාවේ පළමු වතාවට ඔක්කොම එකට එකතු වුණු අලුත් දේශපාලනයක් ගොඩනැගිලා තියෙනවා. ඒ තමයි ජාතික ජනබල වේගය. ඒ වගේම තමයි අපි අම්පාරට ගියා. අපි ගියේ ජාතික සමගියෙ පණිවිඩය අරගෙන. එහි ඉන්න තරුණ ප්‍රජාව මේ රටේ සමගියෙන් ජීවත්වීම පිළිබඳව අපේක්ෂාවෙන් ඉන්නවා. සියවස් ගණනක් අපිට තිබුණු සිහිනය සාර්ථක කරගන්න කාලය උදාවෙලා. අපි බලයට පත් වුණොත් ජාතික කොඩිය වෙනස් කරනවා කියනවා. බුද්ධාගමට තියෙන තැන නැති කරනවාලු. මේ සියල්ල පැරණි බොරු කතා. පැරණි ගෝත්‍රිකවාදී අදහස්වලින් මේ රට කවදාවත්ම ඉස්සරහට යන්නේ නෑ. මේ රට ගොඩනැගීම සඳහා නව දිශානතියකට පරිවර්තනය වීම තමයි ජාතික ජනබල වේගයේ අරමුණ. ඒ වගේම තමයි ඒ ගොල්ලො බදාගෙන බෙදාගන්න එක තමයි කරන්නේ. අපි මේ සියල්ල අත්හරිනවා. ආණ්ඩු බලය අතට අරගෙන පළමුවෙන්ම කරන්නේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන එකයි. වාහන බලපත්‍රය අහෝසි කරනවා. ඇමැතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල්, වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන එක නතර කරමින් මේ රට පොහොසත් ලස්සන රටක් බවට පරිවර්තනය කරනවා. නිෂ්පාදන ආර්ථිකයක් තුළින් මේ ආර්ථිකය ශක්තිමත් කරනවා.

මේ අතර ජාතික ජන බලවේගයේ රැලියක් – සයින්දමරුදු – හිදී පැවැත්විණ. එහිදී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙසේ කියා සිටියේය.

මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නියතයි. දකුණේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ජාතික ජන බලවේගයත් සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. මේ සයින්දමරුදුවල ජීවත්වන මුස්ලිම් ජනතාවගේ තීන්දුව මොකක්ද? ඔබලා හඬගා කියන පරිදි ජාතික ජන බලවේගය දිනවීම ස්ථිරයි.

අපේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා අද අපිට විරුද්ධ පාර්ශ්වයන් අපට එරෙහිව අවලාද මඩ සහ අසත්‍ය තොරතුරු පතුරුවමින් ඉන්නවා. ළඟදී මෙහෙට ආවද හිස්බුල්ලා. එතුමා ඇවිත් අපි ගැන අවලාද බොරු ගොඩක් ප්‍රකාශ කරලා තිබෙනවා. මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් සමරන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් රාමසාන් උත්සවය. අනික හජ්ජි උත්සවය. හිස්බුල්ලා කියල තියෙනව අපි ආවහම එකක් නතර කරනවා කියලා. හිස්බුල්ලාගෙ ඔළුව පරීක්ෂා කරලා බලන්න ඕනෑ. එයා තව කියලා තියෙනවා ජනතාවට පල්ලි යන්න දෙන්නෙ නෑලු. මේ ගොල්ලො මුස්ලිම් ජනතාව ළඟට ඇවිල්ල එහෙම කථාවක් කියනවා. ඒ ස.ජ.බ. තිස්ස අත්තනායක මහනුවර දී කියනවා අපි බලයට ආපුවහම පෙරහර කරන්න දෙන්නෙ නෑලු. ඒ ගොල්ලන්ගේ වේදිකාවට ගොඩවෙන සමහර හාමුදුරුවරු කියනවා අපි ආපුවහම දානවේල හම්බවෙන්නෙ නැතිලු. ඒව දේශපාලන කථාද? ඒව දේශපාලන විවේචනද? ඒවාට කියන්නෙ අවලාද. ඒවට කියන්නෙ අසත්‍යය. ඇත්තටම ආගම් පිළිබඳ ගෞරවයක් තිබෙනවා නම් ආගම් පිළිබඳ නිදහස ඇත්තටම අපේක්ෂා කරනවා නම් දේශපාලන වේදිකාවෙ කියන්න ඕන නැති කරුණු ඒවා. ඒවා ආගම්වාදය අවුස්සන කථා. අපි සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාව ජීවත්වන රටක් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි කියලා ආගම් ගණනාවක් අදහන රටක්. දෙමළ, සිංහල ප්‍රධාන භාෂා දෙකක් කථා කරන ජනතාවක් ඉන්න රටක්. සිංහල අයට තමන්ගේම වූ අනන්‍යවූ සංස්කෘතියක්. දෙමළ අයට අනන්‍යවූ සංස්කෘතියක්, මුස්ලිම් අයට අනන්‍ය වූ සංස්කෘතියක් සහිත සංස්කෘතීන් ගණනාවක් එක්ක ජීවත්වන රටක්, අපේ රට. ඒ නිසා මේ රටේ අනාගතය පවතින්නෙ මෙම විවිධත්වයන් සහිත ජන කණ්ඩායම් අතර සමගිය හැදුණොත් විතරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ පාලනයක් එන්නේ ඔබේ ආගම ඇදහීමේ අයිතිය, භාෂාව කථා කිරීමේ අයිතිය ලබාදෙන පාලනයක්. ඔබේ සංස්කෘතික අනන්‍යතාවය පිළිගන්න නිදහස් රටක් හදන එක තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව.

අපිට ඕන ජාතික සමගිය තිබෙන රටක්. ඔක්කොම සහෝදරත්වයෙන් ජීවත්වන රටක්. ඒ නිසාම තමයි අපි ඔබව හමුවෙන්න ආවේ. සැප්. 21 අපි දිනන්න ඕනෑ. දකුණේ ඉන්න ජනතාවගේ විශ්වාසයෙන් විතරක් නොවෙයි නැගෙනහිර තමුන්නාන්සේලාගේ විශ්වාසයත් අපිට ඕනෑ. උතුරෙ ජනතාවගේ විශ්වාසයත් අපිට ඕනෑ. ලංකාවේ පළමු වතාවට දකුණේ ජනතාවද නැගෙනහිර ජනතාවද උතුරේ ජනතාවද කඳුකරයේ ජනතාවද පිළිගන්න ආණ්ඩුවක් හදමු. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත්තු ආණ්ඩුවක් අපි හදනවා.

ඔයගොල්ලො දන්නවා මීට කලින් දේශපාලන පක්ෂ තරගෙට එන්නෙ කොහොමද, සජිත් එන්නෙ හකීම් කරේ තියාගෙන. රනිල් එන්නෙ අතාවුල්ලා කරේ තියාගෙන. අපි එන්නෙ ජනතාව කරේ තියාගෙන, ඔබගේ විශ්වාසයෙන්. අන්න එහෙම එකමුතුවේ ව්‍යාපාරයක් අද හදා තියෙනවා. ඒක දෙමළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂයක් නායකයෝ නියෝජනය කරන එකක් නොවෙයි. ඒක තමයි ජාතික ජන බලවේගය. අද මෙතන දහස් සංඛ්‍යාත මුස්ලිම් ජනතාව අපේ සහෝදරියන් සහෝදරවරු එකතුවෙලා අපිට කියන්නෙ මොකක්ද? ඔබලාට ස්තුතියි අපිව විශ්වාස කිරීම ගැන. මම ඔබට එක සහතිකයක් දෙනවා, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින්වත් හානි නොකොට එය ආරක්ෂා කරන බවට.

මේ දේශපාලනයේ කැත සූදුවක් තිබෙනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙන් කුට්ටිය ගන්නවා මෙහෙන් කුට්ටිය ගන්නවා. දැන් අතාවුල්ල කොයි පැත්තෙද? මේ එහෙට මෙහෙට පනින දේශපාලනය නතර කරන්න ඕන නැද්ද? අපේ රට විනාශයට පත්වුණේ මේ කැත මජර දේශපාලනය නිසා. ගිය මාසේ බනිනවා මේ මාසේ ගිහින් බදාගන්නවා. මේක වෙනස් කළ යුතු නැද්ද? ඕන. දැන් අර ගීතා නෝන බලන්නකො. ගිය සතියෙ කියනව රනිල් තමයි ටොප් කියල. මේ සතියෙ කියනව සජිත් තමයි ටොප් කියල. එන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ.

මහරගම බොදු බලසේනාවෙ වේදිකාවෙ නැග්ග චම්පික රණවක, දැන් සජිත් ප්‍රේමදාස එක්ක. රිසාද් බදියුද්දීන් එයත් සජිත් ප්‍රේමදාස එක්ක. සජිත් ප්‍රේමදාස

නැගෙනහිරට එනකොට හකීම්ව අරගෙන එනවා, චම්පික හංගල එන්නෙ. මාතරට යනකොට හකීම්ව හංගල චම්පිකව අරගෙන යනවා. මන්නාරමට යනකොට රිසාද් බදුද්දීන්ව අරගෙන යනව චම්පිකව හංගල යනවා. ගාල්ලට යනකොට රිසාද්ව හංඟලා චම්පිකව අරන් යනවා. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක්. අද උතුරට ගිහිල්ලත්, දකුණට ගිහිල්ලත් නැගෙනහිරට ගිහිල්ලත් එකම කථාවක් කියන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි.

අපි මේ සෙල්ලම කොලේ හංගල ‘ප්ලේ’ කරන්නේ නැහැ. ඒ ගොල්ලො කොල හංගල ගහන්නෙ. මේ ජරා දේශපාලනයම ඇති මේ ගොල්ලන්ව පරාජය කරන්න. මේ ඔක්කොම සලකා බලල අපි සැප්තැම්බර් 21 වෙනිදාට හොඳ තීන්දුවක් ගන්න ඕනෑ. ඉතිං ඒ ගොල්ලෝ බෙදා ගන්නනේ එන්නේ. අපි ආණ්ඩුවක් හදනවා, වරප්‍රසාද අත් හරින දේශපාලකයෝ ඉන්න.
සුජාතා ජයරත්න –