Spread the News

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩු තීන්දුව නොවැම්බර් 14 වැනිදා ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (26) නියෝග කළේය.

2016 වසරේ කූරගල විහාරස්ථානය පිළිබඳව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුකොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි නීතිපතිවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 295 වැනි වගන්තිය යටතේ වන අධි චෝදනා දෙකක් එල්ල කරමින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

එම චෝදනා දෙකකටම කොළඹ මහාධිකරණය විසින් ඥානසාර හිමියන් වරදකරු බවට තීරණය කර වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.

තමාව ඇප මත මුදාහරින ලෙස ඥානසාර හිමියන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. එම මහාධිකරණ නියෝගයට එරෙහිව ඥානසාර හිමි ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර තිබිණි.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (26) දින ලිඛිත දේශනයක් ගොනු කර අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

උපුටා ගැනීම දිනමිණ