Spread the News

මහනුවර බොදු උරුමය හා යථාර්ථය 

source link:

ශ්‍රී දළදා වහන්සේ සිරිලක වැසියන්ට උතුම් පූජනීය වස්‌තුවක්‌ පමණක්‌ නොව රාජ්‍යත්වයේ සංකේතයකි. එම නිසා දළදා වහන්සේ සුවිශේෂ භූමි ප්‍රදේශයක තැන්පත් කොට පූජෝපහාර දැක්‌වීම හා ආරක්‍ෂා කිරීම අතීතයේ සිට පැවතෙන රාජ්‍ය ප්‍රතිපත්තියකි. සිංහලේ රාජ්‍යය ඉංග්‍රීසීන්ට පැවරුණේ බුද්ධාගම හා දේවාගම් සිරිත් විරිත් ආදිය කඩ නොකර ආරක්‍ෂා කිරීමේ ප්‍රධාන කොන්දේසියට යටත්වය. ඇතැම් ඉංග්‍රීසි පාලකයන් එම කොන්දේසි නිසියාකාරව ඉටු නොකළ බව ඉතිහාසයෙන් පැහැදිලි වන කරුණකි. 1843 මාර්තු මස සියම් රජුගේ නියෝජිත පිරිසක්‌ ලෙස ලක්‌දිවට වැඩම කළ භික්‍ෂූන් පිරිසකට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට එවකට සිටි ආණ්‌ඩුකාරවරයා අනුග්‍රහය දැක්‌වීය. එයට කුපිත වූ කිතුනුවෝ ආණ්‌ඩුකාරවරයාගේ දේවභක්‌තිය හීන වී ඇතැයි ඔහුට දොස්‌ නැඟූහ. තමන්ගේ ක්‍රිස්‌තීයානි දේවභක්‌තිය හීනවී නැතැයි ඔවුන්ට පෙන්වන්නට ආණ්‌ඩුකාරවරයා සිතුවේය. ඒ අනුව 1843 අප්‍රේල් 17 වැනි දින ඔහු නිවේදනයක්‌ නිකුත් කළේය.

“බුද්ධාගම සහ අනෙකුත් ඇදහිලි තහනම් කෙරෙන අතර ක්‍රිස්‌තියානි ආගම ඒ වෙනුවට ස්‌ථාන ගත කෙරේ. වන්දනා කිරීම සඳහා බුදුපිළිමයක්‌ දෙසට මුහුණ හරවන හෝ අනෙකුත් මිථ්‍යා වස්‌තූන්ට පුදපූජා පවත්වන හෝ බෞද්ධයන්ට දඩ ගැසීම හෝ ඔවුන් සිරගත කිරීම හෝ මෙතැන් පටන් සිදුකෙරෙනු ඇත. සියලුම පන්සල් හා මිසදිටු ඇදහිලි පැවැත්වෙන තැන් දේවස්‌ථාන හෝ පාඨශාලා බවට පරිවර්තනය කෙරෙනු ඇත. පන්සල්වල හා දේවාලවල තිබෙන රනින් හා රිදියෙන් තැනූ මිසදිටු පිළිම ආදිය උණුකොට කාසි නිපදවා මිෂනාරින්ගේ ප්‍රචාරක කටයුතු සඳහා බෙදා දෙනු ඇත”.

“දළදාව හෙවත් බුදුන්ගේ දත මධ්‍යම පළාතේ දිසාපතිගේ අධීක්‍ෂණය යටතේ වහාම ගිනිතබා විනාශ කෙරෙනු ඇත. මහවැලි සහ කැලණි ගංගාවල තොටුපොළ බෞතීස්‌ම කෙරෙන ස්‌ථාන වශයෙන් යොදාගනු ඇත. මේ කටයුතු ක්‍රියාත්මක වීමෙන් පසු ම්ලේච්ඡයන්ගේ ඇදහිලි අහෝසි වී ක්‍රිස්‌තියානි ආගම දීප්තිමත්ව බැබලෙන යුගයක්‌ උදාවනු ඇත යනු ආණ්‌ඩුකාර උතුමාණන්ගේ විශ්වාසයයි”.

බෞද්ධයන්ගේ විරෝධතා නිසා ඉහත සඳහන් නියෝග ඒ අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. නමුත් මුඩුබිම් පනත යටතේ පන්සල් සතු දේපළ රජයට පවරා ගැනිණි. පන්සල් හා දේවාලසන්තක ඉඩම්වල පල්ලිය ඉදිකෙරුණි. දළදා මාලිගය අසල පිහිටි ඓතිහාසික මඟුල් මඩුවද දේවස්‌ථානයක්‌ ලෙස යොදාගැනිණි. පසුව දළදා මාලිගය වැසෙන පරිදි එය ඉදිරිපස සෙන් පෝල් පල්ලිය ඉදිකරන ලදී.

දළදා මැඳුර අවට පරිසරය අද පවතින ආකාරයට සකස්‌ කරන ලද්දේ ආර්. ප්‍රේමදාස අගමැතිවරයා විසිනි. එතුමා එය සිදුකළේ දැඩි කැපවීමකිනි. නිශ්ශංක විජයරත්න දියවඩන නිලමේවරයා හා ආර්. ප්‍රේමදාස මහතා සාන්ත පාවුලු පල්ලිය බෞද්ධ පූජා භූමියෙන් වෙනත් ස්‌ථානයකට ගෙනයැම සඳහා මහනුවර ආසන්නයෙන් අක්‌කර 14 ක ඉඩමක්‌ වෙන් කළේය. නමුත් හිටපු ජනාධිපතිවරයකු තම ඥති බිෂොප්වරයකුගේ ඉල්ලීම පරිදි එම පල්ලිය ඉවත් කිරීම වළක්‌වා ඇත. එයට අදාළ ලියෑවිලි හිටපු දියවඩන නිලමෙවරයා සතුව තිබියදී මට කියවන්ට ලැබිණි.

ශාන්ත පාවුළු දේවස්‌ථානයට යාබදව පත්තිනි දේවාල භූමියේ තිබුණු රජයට අයත් ශාන්ත පාවුළු පාසල ඉවත් කොට දළදා මැඳුර අවට පරිසරය සකස්‌ කිරීමට අගමැති ආර්. ප්‍රේමදාස මහතා තීරණය කළේය. එම පාසලේ ගොඩනැඟිලි ඉවත් නොකර පල්ලියට පවරා දෙන්නැයි ඉල්ලා ප්‍රධාන පූජකවරු පිරිසක්‌ එක්‌ සිකුරාදා දිනයක මහනුවර අගමැති නිවසේදී සාකච්ඡාවක්‌ පැවැත්වූහ. ඉල්ලීමට තීරණයක්‌ නොලැබුණු නිසා පූජක පිරිස පිටව ගියේ දින දෙකකින් නැවත අගමැතිතුමා හමුවීමට එන බව පවසමිනි. ඒ අතර ඔහුට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් බලපෑම් එල්ල විණි. අගමැති ආර්. ප්‍රේමදාස මහතා වහාම දළදා මාලිගාව සම්බන්ධයෙන් වගකීම් දරන නායක හිමිනමකට හා ගිහි ප්‍රභූවරයකුට දුරකථනයෙන් කතා කොට උද්ගතවී ඇති තත්ත්වය ගැන පවසමින් පාසල් ගොඩනැඟිලි පල්ලියට ගන්නට සූදානම් බව කීවේය. ඒ සම්බන්ධයෙන් තීරණයක්‌ ගන්නට මට ලැබී තිබෙන්නේ දින දෙකයි. මම සේවකයන් ප්‍රවාහන පහසුකම් ලබාදෙන්නම්. ඉදිරි දින දෙක ඇතුළත ගොඩනැඟිලි කඩා සුන්බුන් ඉවත් කිරීමට පුළුවන්දැයි එතුමා විමසුවේය. අගමැති තුමනි, එය අපට කරන්න පුළුවන් යනු එතුමාට ක්‍ෂණිකව ලැබුණු පිළිතුරයි.

ඒ අනුව අගමැති හමුව නියමිත සඳුදා දිනය වන විට පත්තිනි දේවාලය අසල පාසල් ගොඩනැඟිලි කිසිවක්‌ දකින්නට තිබුණේ නැත. පූජකවරුන්ට අගමැතිවරයා සමග කතා කරන්නට දෙයක්‌ නොවිණි. නමුත් ඔවුන් උත්සාහය අත්හැරියේ නැත. වාරියපොල ශ්‍රී සුමංගල නාහිමියන් සිහිකරන්නට පලිපාන ශ්‍රී චන්දානන්ද අස්‌ගිරි මහනාහිමියන්ගේ ඉල්ලීම පරිදි අස්‌ගිරියේ ඉදිවෙමින් තිබුණු පාසල ශාන්ත පාවුළු විද්‍යාලය යනුවෙන් නම් කරන්නැයි ඔවුහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එය අස්‌ගිරියේ මහානායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට අනුව අලුතෙන් සාදන පාසලකි. ඔබතුමන්ලා කියන නම එම පාසලට යොදන්නට නොහැකි යි. නමුත් පාවුළු විද්‍යාලයේ ළමුන් සහ ගුරුවරුන් අලුත් පාසලට අනුයුක්‌ත කළ හැකි යෑයි එතුමා කීවේය. දළදා මැදුර ඉදිරියේ පත්තිනි දේවාල භූමිය පල්ලියෙන් ගැලවුණේ ඒ අයුරිනි. මෙම කරුණ සටහන් කළේ මහනුවර බොදු උරුමය රකින්නට අගමැති ප්‍රේමදාස මහතා කැපවුණු අයුරු බෞද්ධයන්ට දැනගත යුතු බැවිනි. ක්‌වීන්ස්‌ හෝටලය අසල ප්‍රධාන වාහල්කඩ ඇතුළත භූමිය එ වන විට දළදා මාලිගාවට අයත්ව තිබුණේ නැත. එම කොටස මහමළුවට ඇතුළත් කොට බෞද්ධ අයිතිය තහවුරු කරදුන් ආර්. ප්‍රේමදාස මහතා විවිධ විවේචන මැද රන් වියන ඉදිකරවූයේය. මහාධිකරණය වෙනත් තැනකට ගෙනයැමෙන් පසු එම පැරැණි ගොඩනැඟිලි ශ්‍රී දළදා මාලිගාවට පැවරීම ගැන වත්මන් රජයට පැසසිය යුතුය. ධර්මරාජ විද්‍යාලය මුලින් ඇරඹුණේ නාථ දේවාල භූමියේ බෝධියක්‌ කැපීමෙනි. මෑතකදී එම ගොඩනැඟිලි නාථ දේවාලයට පැවරිණි. නමුත් ධර්මරාජ විද්‍යාලය ආදි ශිෂ්‍ය සමිතියක්‌ ගොඩනැඟිල්ල ගැනීමේ උත්සාහයක යෙදී සිටියි.

ඓතිහාසික සෙංකඩගල මහනුවර ලෝක උරුමය නගරයක්‌ බවට පත්වුණේ දළදා වහන්සේ නිසාය. නමුත් මහනුවර ලෝක උරුමයෙන් බෞද්ධ කොටස ගිලිහී ඇත.ලෝක උරුම බෞද්ධ ශුද්ධ භූමිය වශයෙන් නම් කළ යුතුය. දළදා මැඳුර අවට භූමිය තුළ යම් තහවුරු කිරීමක්‌ සිදු වුණත්, මහනුවර නගරය දිනපතාම අබෞද්ධකරණයට ගොදුරුවෙමින් පවතියි. මහනුවර නගරය පිහිටි කඩවත් සතර ගඟබඩ කෝරළේ ප්‍රදේශය තුළ 2001 සංඛ්‍යා ලේඛන අනුව ආගම්වලට අයත් ජනගහනය මෙසේය.

බදු හා කුලී පදනම මත අයිතිය පැවරීම හේතුවෙන් 2011 වසර වන විට මෙම සංඛ්‍යා ලේඛන වෙනස්‌ වී ඇත. බෞද්ධ අයිතිය පහළ බැස ඇත. එසේම කොටස්‌වලට බෙදුන කඩ සාප්පු ද රාශියකි. සිංහල ව්‍යාපාරිකයකු සතු මහනුවර සුපිරි වෙළෙඳ මධ්‍යස්‌ථානය ඩුබායි ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය මගින් මුළුමනින් බදුගැනීමේ උත්සාහයක්‌ තිබිණි. මහනුවර මහනගර සභාවෙන් කොටසක්‌ වෙන්කර සෙංකඩගල නගර සභාවක්‌ පිහිටුවීමේ කුමන්ත්‍රණයක්‌ ද තිබේ. මහනුවර නගරයේ බෞද්ධයන් වැඩි පිරිස අයත්වන්නේ සෙංකඩගල කොටසටය. එය සිදුවුණොත් වර්තමාන වාතාවරණය අනුව දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගර සභාවේ බොදු බලය හීන වන බව පැහැදිලිය.

මහනුවර නගරයේ වැව ආසන්නයේ සිට බද්උද්දීන් විද්‍යාලය දක්‌වා මාතලේ දෙසට විහිදෙන ඩී. එස්‌. සේනානායක වීදියේ බෞද්ධ ආයතන වශයෙන් තිබෙන්නේ මහනුවර පුෂ්පදාන සමිතිය, මහනුවර බෞද්ධ සංගමය හා කල්‍යාණෝදය සමිතිය යන බෞද්ධ සමිති තුන පමණි. ඒ හැරුණු විට බුරුම ආවාසය තිබේ. එම වීදියේ පිහිටි අන්‍යාගමික ආයතන ගණන හයකි. ඒ අතර මිෂන් දේවස්‌ථානය ඉදිකර තිබෙන්නේ සේනානායක වීදියේ සිට කොටුගොඩැල්ල වීදියට යැමට තිබුණු හරස්‌ පාරක්‌ වසා දැමීමෙනි. එහි කොටුගොඩැල්ල වීදිය කොටසේ තරුණ ක්‍රිස්‌තියානි සංගමය පිහිටා ඇත. දේවස්‌ථානය දෙපස මහල් ගොඩනැඟිලි පල්ලියට අයත්ය. පැරැණි වලව්වක්‌ ගිනි තැබූ තැනක ඉදිවුණු දේවස්‌ථානයක්‌ ද නගරයේ ඇත. මහනුවර බොදු උරුමයක්‌ ගැන කතා කළත් නගර මධ්‍යයේ බෞද්ධයන් සතුව පවතින්නේ සතර මහා දේවාල සහ දළදා මාලිගාව පමණි. අබෞද්ධ ආගමික ආයතන 21 කි. සෑම ප්‍රධාන වීදියකම අන්‍යාගමික ආයතන පිහිටා තිබේ. අස්‌ගිරි මල්වතු මහා විහාර, පොත්ගුල් විහාරය හා දළදා තපෝවනය තරමක්‌ ඔබ්බෙන් පිහිටා ඇත. අස්‌ගිරි මහා විහාරයට අයත් භූමියක ඉංගී්‍රසි පාලන සමයේ ඇරඹුණ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණය පිහිටා තිබේ. මීරාමක්‌කම් ඉස්‌ලාම් පල්ලිය තිබෙන්නේ බුද්ධාගමට අවනම්බුවක්‌ නොකරන පොරොන්දුව මත අස්‌ගිරි විහාරයෙන් ගත් බදු ඉඩමකය.

දළදා වීදියේ මහමළුව අසල කොටස පොදු වාහන ගමනාගමනයට නැවත ඉඩදිය යුතු යෑයි මතයක්‌ පවතියි. මහනුවර වායු දූෂණයට හේතුව එම මාර්ගය වසා තැබීම බවට සරසවි ඇදුරු පිරිසක්‌ ද මාධ්‍ය ප්‍රචාරයක්‌ ගෙන ගියහ. නමුත් රජයේ අදහස වන්නේ දළදා මැඳුර ප්‍රදේශය පදිකයන්ට සීමා වියයුතු බවයි. දළදා මාලිගාව දෙසට පොදු වාහන ගමන් කිරීමෙන් ඝෝෂාකාරී බවක්‌ හා ගෞරවය කෙළෙසීමක්‌ සිදුවන බැවිනි. නමුත් පොදු වාහන සඳහා විකල්ප මාර්ග සකස්‌ කිරීම සිදුවන්නේ ඉතා සෙමිනි. සිරි දළදා වහන්සේ, දාගැබ, බෝධිය, විහාරය, පන්සල, දේවාල ආශ්‍රිතව ලාංකික ජනතාව විසින් පවත්වාගෙන එනු ලබන පූජා විධි, චාරිත්‍ර වාරිත්‍ර, වත් පිළිවෙත්, විශ්වාසය හා ඒ සමග බැඳුන අයිතිවාසිකම් අපගේ බෞද්ධ සංස්‌කෘතික උරුමයයි. ලේඛන ගත හා ලේඛන ගත නොවූ එකී සම්ප්‍රදාය නිශ්චිත හා අර්ථවත් ආගමික නීතියකි. 1970 දශකයේ දළදා මාලිගාව අවට කොටසක්‌ පූජා භූමියක්‌ ලෙස නම් කර සතර කොණේ පිහිටුවන ලද සීමා කණු දැන් දිරාපත් වී ඇත. 1989 අගෝස්‌තු 17 වැනි දින නෙරන්ජන් විජයරත්න දියවඩන නිලමෙතුමා විසින් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා වෙත භාරදෙන ලද පෙරහැර සංදේශයෙහි මහනුවර ශ්‍රී දළදා මාලිගාව හා සතර මහ දේවාල පිහිටි භූමි ප්‍රදේශය පූජා නගරයක්‌ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.

“ශ්‍රී දළදා මන්දිරය සහ අවට පූජා භූමියක්‌ කිරීමේ ඉල්ලීමට ඇත්තේ වසර 30 කටත් එහා සිට එන ඉතිහාසයකි. එහි පළමුවන අදියර ඉෂ්ට කර ගැනීමට ලැබීම ගැන ඉතාමත් සතුටින් ප්‍රකාශ කරමි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට කළ උදාර පූජාව ජාතිය පවතින තාක්‌ කල් ඉතිහාසයේ ලියෑවෙන උදාර සිද්ධියකි. මෙම අවස්‌ථාවේ රජයට කරුණු ඉදිරිපත් කළත්, රජයේ වැඩි දෙනෙක්‌ බෞද්ධ වුවත්, බුද්ධාගම සහ බෞද්ධයන් පිළිබඳ ඉල්ලීම ඉල්ලා කරදර කරන විට බේරෙන්නට බැරිතැන තවත් වර්ෂ ගණනාවක්‌ ඇදි ඇදී බේරෙන්නට මෙන් පූජා නගර ප්‍රශ්නය ඉටුකිරීම පිණිස වැඩ කරන ලදී. එසේ ඇදෙන ප්‍රශ්නයකි පූජා නගර ප්‍රශ්නය. එබැවින් මෙම කටයුත්ත තවදුරටත් ඇදි ඇදී යැමට ඉඩ නොදී දෙවන පියවර ලබන වසරේ ඇසළ පෙරහැර මංගල්‍යයට පෙර අවසන් කරදෙන ලෙස ශාසනාලයෙන් ඉල්ලමි. මෙය කඩාකප්පල් කිරීම සඳහා දේවදත්තයන් සිටින බව කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුවී ඇත. මේ ගැන මවිසින් රජයේ නිලධාරීන්ට දැන්වූ අවස්‌ථාවලදී එම අය මගේ ඉල්ලීම ගැන නොසැලකීම ජාතියටත්, ආගමටත් විශාල අපරාධයක්‌ වී ඇත. මෙම අවනඩුව විසඳීම ඔබතුමාට භාරකරමි”.

මෙම වසරේ යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහනුවර දළදා මාලිගාව ආශ්‍රිත ප්‍රදේශය පූජා භූමියක්‌ ලෙස අතිවිශේෂ පනතකින් පාර්ලිමේන්තුවේ සම්මත කොට එම ප්‍රදේශය විධිමත්ව සංරක්‍ෂණය කිරීමට රජයේ අවධානය යොමු කළ යුතුය. අනුරාධපුර පූජා භූමි සංවර්ධන පනත මගින් එම පූජා නගරය සංවර්ධනය කිරීම ඇරඹුවේ 2500 බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙනි.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිනිය 2001 වසරේදී පූජා භූමියක්‌ වශයෙන් සලකුණු කොට සිටුවූ තඹ පලක කණු හතරක්‌ වීදිවල ඇත. 2002 ඔක්‌තෝබර් මස අංක 1258 / 1 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රයෙන්ද පූජා භූමියේ සීමාවන් පුළුල් කර ඇත. අස්‌ගිරි හා මල්වතු මහා විහාර, නුවර වැව, කතරගම් දේවාල පරිශ්‍රය, ආදාහන මළුව, ගෙඩිගේ විහාර පරිශ්‍රය, උඩවත්ත කැලේ රාම විහාර පරිශ්‍රය හා ගැටඹේ චාරිත්‍රානුකූලව දියකපන ස්‌ථානය මහනුවර පූජාභූමියට අයත් ප්‍රදේශ ලෙස නම් කර ඇත. ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කළ පමණින් එය නීතියක්‌ වශයෙන් බලාත්මක නොවෙයි. බෞද්ධ පූජා භූමියකට නොගැලපෙන වෙළෙඳ ව්‍යාපාර හා අබෞද්ධ ආයතන රාශියක්‌ පූජා භූමිය ඇතුළත පවතියි. මස්‌ හා සුරා වෙළෙඳ සල් ද ඒ ආසන්නයේ වෙයි. නාථ හා පත්තිනි දේවාල ඉදිරිපස ඇහැලේපොල වලව්වේ පිහිටුවා ඇති රිමාන්ඩ් සිරගෙදර ද බෞද්ධ පරිසරයට නොගැලපෙයි. එම භූමිය දළදා වඳින්නට එන බොදු ජනයාගේ ප්‍රයෝජනයට වෙන් කළ යුතුය. දළදා වඳින්නට පැමිණෙන ගම්බද බෞද්ධයන්ට කෑම කන්නට හා වැසිකිළි පහසුකම් ඉතා සීමිතය.

මහනුවර ලෝක උරුමය යටතේ නවීකරණය තහනම් බවට පුවරු ගැසූ ගොඩනැඟිලි රාශියක සැලසුම් වෙනස්‌ කර ඇත. ඒවා අනුමත කරන්නට පිහිටුවා තිබෙන කමිටුවේ කීපදෙනකුට අල්ලස්‌ දුන් විට ඕනෑ ඉදිකිරීමක්‌ කළ හැකිය. කතරගම දේවාලය අසල කඩ කාමරයක්‌ යට බංකරයක්‌ හදන්නට යැමේදී බිත්තියකට යට වී පුද්ගලයකු මියගියේ ඉදිකිරීම ගැන නිලධාරීන් සොයා නොබැලුව නිසයි. බෝ ගස්‌ වට කරමින්, පදික වේදිකා අවහිර කරමින් කඩ කාමර තනා තිබෙන්නේ ඒ අනුවය. මහනුවර නගරය මැද තිබෙන අතුරු වීථි පා ගමනින් යන අයට විවෘතව තිබිය යුතුය. දළදා පෙරහැර සමයේ අලි ඇතුන් හදිසියේ කුලප්පු වූ වොත් ජනතාවට බේරීයැමට හා පදික වේදිකාවල තදබදය වැළැක්‌වීමට ඒ වීථි භාවිත විණි. පසුගිය සමයේ කොළඹ වීදියේ අතුරු මාර්ගයක්‌ අවහිර කොට වෙළෙඳුන් එළවළු කඩ සෑදුවේ රුපියල් 40,000 බැගින් අල්ලස්‌ දීමෙනි. පසුව කඩ ඉවත් කෙරිණි. මහනුවර මහ නගරයේ බොදු උරුමය අහිමි කිරීම ගැන ඇතැම් බෞද්ධ ප්‍රභූවරුන් ද වගකිව යුතුය. පිළිහිඩු යනු දෙවිවරුන්ට කිල්ලකි. එහෙත් පුදබිම් වටා කරවල, මස්‌ මාළු විකුණති. සෞඛ්‍ය පරීක්‍ෂකයකුගේ අවසරයෙන් තොරව ඝාතනය කළ ගවයන්ගේ මස්‌ නගරයට ගෙන ඒම සඳහා අවශ්‍ය නීතිමය රැකවරණය පසුගිය සමයේ මහනගර සභාවෙන් ලබාදී තිබිණි. එය සිදුකෙරුණේ සෑම මස්‌ කිලෝවකින්ම රුපියල් විසිපහක කප්පමක්‌ ලබාදීමේ වාචික පොරොන්දුවක්‌ යටතේය.

මහනුවර යනු සිංහලේ අවසාන රාජධානියේ අගනුවරයි. පූජනීයත්වයෙන් හා දර්ශනීයත්වයෙන් ශ්‍රී ලංකාවේ මුල්තැනට පත්වන නගරයයි. අස්‌ගිරි මල්වතු මහනාහිමිවරුන් වැඩ සිටින නගරයයි. දළදා වහන්සේ රැක ගැනීම නිසා ශ්‍රී ලංකාව බෞද්ධ ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වී තිබේ. මහනුවර බොදු උරුමය තහවුරු කරගැනීමේ වගකීම ආණ්‌ඩුවට පමණක්‌ නොව ගිහි පැවිදි බෞද්ධ නායකයන්ට ද පැවැරුණ වගකීමකි. ඒ ගැන අවධානය යොමු නොකළොත් ඉදිරියේදී නගරයේ වීදියක බෞද්ධ කොඩියක්‌ එසවීම දුෂ්කර වනු ඇත. එසේම පෙරහැර බලන්නට එන අහිංසක ගැමි බෞද්ධයන්ට පදික වේදිකාවේ ඉඩකඩ තව තවත් ඇහිරෙනු ඇත. පසුගිය දළදා ප්‍රදර්ශන සමයේ බෞද්ධ කොඩි දැමුවේ මර්වින් සිල්වා ඇමැතිවරයා ඉදිරිපත්ව බලහත්කාරයෙනි. මහනුවර බෞද්ධ පූජා භූමිය, නගර සංවර්ධනය හා ක්‍රියාකාරකම් ගැන අධීක්‍ෂණය කිරීම සඳහා ස්‌වාධීන විධිමත් බෞද්ධ උපදේශක මණ්‌ඩලයක්‌ තිබිය යුතුය. දැන් එය සිදුවන්නේ නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ හිතූ මනාපය අනුවයි.

මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික