ශිර්ෂය නමා ආචාර කරමි !

කුමකටද ?

ඔබ දුන් අනුග්‍රහයට.

ඔබ කළ මහත් හරසර වලට.

ඔබ ලොවට පෙන්වා ලු අති මහත් ගෞරවාන්විත බවට. 

කාටද ?

දළදාවට.

නිම්හිම් නොමැති සතුටක් දැනෙයි.

අණකින් තොරව, කේවල් කිරීමක් නොමැතිව (නාවොත් මියගිය පසු අපෙන් අසවල් උපකාරය නොලැබේ යයි කියා කප්පම් ඉල්ලීමක් නොමැතිව)

බලව් රැස්කකා දඟලන මහා ජන සන්නිපාතය.

දෙඇසම තෙමෙයි කඳුලින්

මහා ආඩම්බරයකි මට සහ ඔබට.

නමුත් ?

ඇයි?

බිමෙහි උරුමය ගැන වචන නොමැති නම් මේ සාඩම්බරය ?

ශ්‍රී දළදාව රැකී උරුමක්කාර දැය ගැන මුනිවත රකී නම් මේ ගෞරවාන්විතය ?

උරුමය “අබින්” වුවක් යයි කියයි නම් මේ දැවැන්ත වූ හරසර ?  

බලන්න !

අද ඔබගේ ශිර්ෂ ප්‍රණාමය, ප්‍රණාමයක් සඳහා ප්‍රණාමයට පාත්‍ර වන දෙයක් අතීත මිනිසුන් විසින් තම ඇස් \ ඉස් \ මස්\ ලේ අප්‍රමාණව කැප කොට මේ දක්වා සුරක්ෂා කොට තැබූ නිසාය.

අද ඔබගේ ශිර්ෂ ප්‍රණාමය, ප්‍රණාමයට වගකියන \ පණදෙන බිමක් මෙහි සුරැකිව තිබු නිසාය. අතීතයේ දිනක බිම ප්‍රණාමයට වගනොකියන්නන්ගේ ග්‍රහණයට හසු වුවා නම් ?

අද ඔබගේ ප්‍රණාමය, ප්‍රණාමයට ගරු කළාවූ දැයක් බිමෙහි බින්නව තිබු නිසාය. අතීතයේ දිනක දැය ප්‍රණාමය අත්හැරියානම් අද ?

අද ඔබ අතිමහත් ගරවාදරයට පාත්‍ර කිරීමට වලිකන ශ්‍රී දළදාව මෙතෙක් කලක් සුරැකිව තිබුනේ ඕපපාතිකව නොවේ. බහු නොව එකම එක ජන කණ්ඩායමක් විසින් බිමෙහි චිරාත් කාලයක් මහා පොලවේ අනේක වාරයක් වැලලෙමින්, තම ඇස්, ඉස්, මස්, ලේ පුද දෙමින් රැකගත් උරුමයයි ශ්‍රී දළදාව.

එදා දළදාව අද ඔබට කිර්තිය ගෙනෙන තුරු රැක්කේ උරුමක්කරුවෝද නැත්නම් ආගන්තුකව මෙරටට ආගමනය වූවෝද ? එය එසේ නම් ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ ගෞරවය යා යුත්තේ “බහු” වතාටද ? උරුමක්කරුවාටද ?

අද ඔබ අතතබා ඇත්තේ උරුමක්කරුවන් විසින් නොයෙක් උපක්‍රමයන් යොදා “තම පණ දෙවැනි කොට” රැකගත් ශ්‍රී දළදා වහන්සේටය.

අද ඔබ “ඕපපාතික වී නම්” ශ්‍රී දළදාව කුමට ?

එදා දළදාව රැක්කෝ ගේ සහ උන්ගේ පෙළපත  අද “නොසිටියා” වී නම් අද ඔබ හා පුදදීමට ජන සන්නිපාතයක් ගලාඑයිද ?  එසේ වී නම් ශ්‍රී දළදාව හමුවේ අන්‍යයෙක් පුෂ්පෝහාර, ප්‍රත්යෝපහාර, ප්‍රතිපත්තෝපහාර පවත්වයිද  ?

අද ඔබ මේ පුණ්‍ය භුමියෙහි දළදාව කරලියට ගෙන එයි නම් ඒ අන් කවුරුවත් නිසා නොව එදා සිට අද දක්වා බිම, දැය සහ සමය තම දිවි දෙවැනි කොට, දිවිහිමියෙන් රැකී අප්‍රමාන වූ දේශප්‍රේමීන් නිසාය. නැතිව නපුංසකයින් නිසා නොවේ.

අද ඔබට දළදාව සරණයි නම් එම සරණ එදා මේ පින් බිමෙහි උරුමය රැක්කෝ නිසාය.

අද ඔබ ඉහලට එසවෙන්නේ දළදාව නිසා නම් ඒ එදා මෙම උරුමය වෙනුවෙන් තම දිවි කැප කල අප්‍රමාන මිනිසුන් නිසාය.

ඉඳින් සබඳ !

පතිරුපදේශයක පැවැත්ම අද ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ දළදා සරණ පතන්නේ ඇයි ?

දළදාව රැකී මිනිසුන් හා අන්‍යයන් යන “සියල්ලන් එක හා සමානයි” යයි කියා අද ඔබ ප්‍රකාශ කරනවා නම් ඔබ දලදාවෙන් පිහිටක් පතන්නේ ඇයි ?

දළදාව හා ඊට අනුගත සහ ඒ හා සබැඳී උරුමය අද ඔබ පිටුදකිනවා නම් අද ඔබ දලදාවෙන් එසවෙන්නට යත්න දරන්නේ ඇයි ?

එනිසා ………

පෙර මෙන් මතුවටත්

දිවි දෙවැනි කොට

 බිම රකිමු.

දැය රකිමු.

උරුමය රකිමු.

එයයි අනාගත සශ්‍රිකත්වය.

ස්තුතියි !

Protected by Security by CleanTalk