Spread the News

ශ්‍රී ලංකාවට එරෙහි අභූත චෝදනා හෙළා දකිනවා

දරුස්මාන්ට එරෙහිව තවත් රටවල් 22ක්

source link:

සුනිල් දයා අල්විස්

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද ආන්දෝලනාත්මක දරුස්මාන් වාර්තාව නොබැඳි ජාතීන්ගේ රටවල් 22ක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

මේ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉදිරිපත් කරන ලද්දක් නොවන බවත්, එම කවුන්සිලයෙන් වුවද ලංකාවට එරෙහි යම් යෝජනාවක් ඉදිරිපත් කළහොත් එයට ද සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

රුසියාව හා චීනය ඇතුළු රටවල් මේ අතරින් ප්‍රධාන වන අතර ඒ රටවල් පවසා තිබුණේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ බාහිර බලපෑම්වලට එරෙහිව ඉදිරිපත් වන බවයි.

රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්වෙඩෙව් හා චීන ජනාධිපති හූ ජින්තාවෝ මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉතා පැහැදිළිව ප්‍රකාශ කැර තිබුණි.

ජනාධිපතිතුමාගේ රුසියානු සංචාරයේ දී ද මේ පිළිබඳව චීන ජනාධිපතිවරයා අවධාරණය කෙළේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අනිසි බලපෑම් කරන බාහිර බලවේග දැඩි ලෙස තමන් හෙළා දකින බවයි. රුසියානු ජනාධිපති පැවසුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය කඩාකප්පල් කිරීමට බලපෑම් කරන බලවේගවලට එරෙහිව ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාදීමට තම රජය සූදානම් බවයි.

මීට අමතරව ස්පාඤ්ඤය, ජර්මනිය වැනි රටවල් ද යුරෝපා පාර්ලිමේන්තුවේදී පවා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට එකඟ වී තිබේ. සියයට 8ක ආර්ථික වර්ධනයක් සහිතව සංවර්ධනය කරා යන රටක් ලෙස මෙවැනි විදේශ සම්බන්ධතා සහ සහයෝගය රටට ඉතා වැදගත් බව විද්වත්හු පෙන්වා දෙති.