Spread the News

චැනල් 4 සැකකරු යුද සමයේ මෙහේ ඇවිත්

 SOURCE:

කුමුදු හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට චැනල් 4 නාලිකාව ව්‍යාජ දර්ශන ප්‍රදර්ශනය කොට ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු යුද සමයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට පරීක්ෂණවලින් හෙළි වූ බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

කන්දවනම් පේදිස්වරම් නමැති මේ සැකකරු එසේ ලංකාවට පැමිණියේ කුමන කරුණකටද යන්න අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය පවසයි. වසර 21 කට පෙර ලංකාවෙන් එංගලන්තයට ගොස් ඇති සැකකරු එංගලන්තයේ පුරවැසියකු බවද රහස් පොලිසිය කියයි. සැකකරුගේ බ්‍රිත්‍යාන්‍ය ගමන් බලපත්‍රය සම්බන්ධව රහස් පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

කොළඹ මල්පාරේ ව්‍යාපාරිකයෙක් කළ පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව හෙළි වූ මේ සැකකරු රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මහනුවරදී අත් අඩංගුවට ගෙන තිබුණි. රහස් පොලිසියේ ඉල්ලීම මත රැඳවුම් නියෝග මත සැකකරු රඳවා තබා වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා රහස් පොලිසියට අවසර දී ඇත.