Spread the News

‘මානුෂිය මෙහෙයුමේ ඇත්ත කතාව මේකයි’

 source:

කොටි ත්‍රස්තවාදය පරදා ශ්‍රී ලංකාව ලැබූ විජයග්‍රහණයට පසු රටේ සාමකාමී බවත් එකමුතු බවත් ඉවසා සිටිය නොහැකි වූ විරුද්ධවාදීහු රටට එරෙහි ව විවිධ අසත්‍ය චෝදනා එල්ල කිරීමට ඉදිරිපත් වූහ. මෑතකදී චැනල් 4 මාධ්‍ය ආයතනය යුද අපරාධ චෝදනා එල්ල කළේ ද එහි එක් පියවරක් වශයෙනි. අන්තර්ජාතික වශයෙන් යළි සංවිධානය වෙමින් පවතින එල්.ටී.ටී.ඊ. යේ අසත්‍ය චෝදනාවලට පිළිතුරක් ලෙස ද එල්.ටී.ටී.ඊ ය ත්‍රස්තවාදයට එරෙහිව කළ මානුෂීය මෙහෙයුමේ ස්වභාවය පිළිබඳව ද සියලු දත්ත හා තොරතුරු රැගත් (Humanitarian Operation Factual Analysis July 2006 – may 2009) 2006 ජූලි සිට 2009 මැයි දක්වා මානුෂීය මෙහෙයුම කරුණු සහිත විශ්ලේෂණය’ වාර්තාව පසුගිය 01 දා කොළඹ හිල්ටන් හෝටලයේ දී එළිදක්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දේශනයෙන් මෙසේ කරුණු උපුටා දක්වමු.

දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදය ලෙස හැඳින්වූයේ ඔවුන්ගේ පාලන ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රෑර ලෙස විනාශ කරමින්, දිවයින පුරාම ත්‍රස්ත බිය ඇති කරමින් අහිංසක සිවිල් ජනතාවට අමානුෂික ලෙස අපමණ ප්‍රහාර එල්ල කරමින්, තමන්ගේ එදිරිවාදින් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත් මධ්‍යස්ථ දෙමළ දේශපාලනඥයන් මෙන්ම විද්වතුන් මරා දැමු දරුණු පිරිසක්.

කොටින්ගේ අන්තර්ජාතික අපරාධ ජාලය ඔස්සේ මූල්‍යාධාර සම්පාදනය කරගනිමින්, මේ භූමිය මත ඔවුන්ගේ ත්‍රස්තවාදය පවත්වාගෙන යෑමට උපක්‍රම යොදනවාට අමතරව මුහුද හා ගුවන් මඟින් සිය ම්ලේච්ඡත්වය ශක්තිමත් කර වැපිරීමට මාන බැලුවා. එල්ටීටීඊයේ වපසරිය රටක සම්ප්‍රදායික හමුදාවක් තරමටම වාගේ වූ අතර එය මර්දනයට හමුදාමය වශයෙන් ප්‍රාමාණික බලයක් අවශ්‍ය වුණා.

වසර ගණනක් පුරා ශ්‍රී ලංකා රජය මේ ගැටුම්කාරී තත්ත්වයට නොයෙක් විසඳුම් හමුදාමය වශයෙන් හා සාම සාකච්ඡා ඔස්සේ ගෙන එනු ලැබුවා. රජය විසින් විශ්වසනීය ලෙස සාකච්ඡා මාර්ගයට පිවිසියත් ඒ හැම විටම එල්ටීටීඊය එය වර්ජනය කළා. යුදමය වශයෙන් දුර්වල වී අනාථ වූ සටන් විරාම අවස්ථාවල පවා එල්ටීටීඊය සාමය සඳහා උනන්දු වුණේ නැහැ.

විශේෂයෙන්ම 2002 – 2006 සටන් විරාම කාලයේ මෙන්ම සෑම සටන් විරාමයකදී ම ඔවුන් කිසි අපහසුවකින් තොරව අපරාධ සිදු කරමින් ජනතාව බිය වැද්දුවා.

මේ කටයුත්තේදී එල්ටීටීඊ කොටි වලිගයේ නෂ්ඨාවශේෂ, දෙමළ ඩයස්පෝරාව සමඟ එක්වී රටේ ප්‍රතිරූපය විනාශ කිරීමට, සහෝදර ජනතාව බෙදා වෙන් කිරීමට සහ ශ්‍රී ලංකාව අතීත ව්‍යසනයට ඇද දැමීමට දරන උත්සාහය කනගාටුදායකයි. ඔවුන් මානුෂිය මෙහෙයුමට එරෙහිව විවිධාකාර සාවද්‍ය තොරතුරු සපයමින් අවාසනාවන්ත ලෙස දැඩි අවධානයක් ලබා දෙමින් සිටිනවා. ඒ සාවද්‍ය තොරතුරු සත්තකින්ම විකෘති කරන ලද ඒවායි.

නිදසුනක් ලෙස ආරක්ෂක හමුදාවලට යටත් වුවන් හෝ රැඳවියන් හට අමානුෂික ලෙස වධ දීම හෝ ඝාතනය කර දැමු බවට ගෙනෙන තොරතුරු සාවද්‍යයි. මේ කාරණය පුන පුනා කීමටත් ඒ පිළිබඳ ප්‍රචාරය දීමටත් කටයුතු කළ ද කිසිවෙකුත් එහි සත්‍යාසත්‍යතාව නිවැරැදිව සොයා බලා ප්‍රකාශ කිරීමට කිසිවකුත් පෙනී සිටින්නේ නැත.

මානුෂික මෙහෙයුම අවසානයේ 11000 කට අධික එල්ටීටීඊ ක්‍රියාකාරීන් පිරිසක් ආරක්ෂක හමුදාවට යටත් වුණා. මේ පිරිස කෙතරම් ත්‍රස්ත ක්‍රියා, සමූහ ඝාතන සිදුකර තිබුණ ද ඔවුන්ට කිසි අයුරකින් අකටයුත්තක් සිදු වීමට ඉඩ තැබුවේ නැහැ. යටත් වූ ළමා සොල්දාදුවන් 595 ක් වසරක් ඇතුළත දී ඔවුන්ගේ පවුල් සමඟ යළි ඒකාබද්ධ කරන ලද අතර වැඩිහිටියන් 6100 කට අධික පිරිසක් 2011 ජුනි මස වන විට පුනරුත්ථාපනය කොට මුදා හැරියා.

ඉතිරි එල්ටීටීඊ ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් දෙනා තවදුරටත් පුනරුත්ථාපන වැඩසටහන්වලට යොමු වී සිටින අතර ඔවුන් සම්පූර්ණයෙන් සූදානම් වූ පසු සමාජයට මුදා හරිනවා. ඉතා දරුණු අපරාධවලට සම්බන්ධ වූවන්ට නිසි නෛතික ක්‍රමවේද ඔස්සේ සුදුසු කටයුතු යෙදීමට පියවර ගන්නවා.

ශ්‍රී ලංකා රජය උපරීම රැකවරණය සහිතව බලා ගනු ලබන්නේ. එල්ටීටීඊයෙන් පීඩනයට පත් උතුරේ හා නැගෙනහිර ජනතාව පමණක් නොවේ, සෘජුවම එල්ටීටීඊයට සම්බන්ධ වූ පිරිස් ද ඒ අතර වනවා. මානුෂිය මෙහෙයුමේ අවසාන අදියරේදී එල්ටීටීඊයේ නායක ප්‍රභාකරන්ගේ මවුපියන් පවා රජයේ පාලන ප්‍රදේශවලට පැමිණි අවතැන් වූවන් අතර සිටියා. ඔවුන්ට පවා හිරිහැර කිරීම වෙනුවට ප්‍රභාකරන්ගේ පියා 2010 ජනවාරියේත් මව 2011 පෙබරවාරියේත් ස්වභාවික හේතුන් මත කාලක්‍රියා කරන තුරු ඉහළම ආකාරයෙන් ආරක්ෂාව හා සැලකුම් ලබා දීමට කටයුතු කළා.

මේ ආකාරයේම අවධානයකින් එල්ටීටීඊයේ අනෙක් නායකයන්ගේ පවුල්වලට ද නිසි සත්කාර ලබාදීමට යෙදවූවා. ප්‍රභාකරන්ගෙන් පසු ඉතා බලවත්ම පුද්ගලයා වූයේ නාවික සෙබළුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ මුහුදු කොටි නායක සුසෙයි යි.

ඔහුගේ බිරිය සහ දරුවන් තවත් එල්ටීටීඊ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ රූබන්ගේ පවුලේ අයත් සමඟ මානුෂික මෙහෙයුමේ අවසන් සතියේ රාත්‍රියක බෝට්ටුවක ආධාරයෙන් රටින් පැන යාමට උත්සාහ දරද්දී නාවික හමුදාව විසින් අල්ලා ගත්තා. ඒ මොහොතේ සිට ඔවුන්ව රැක බලා ගත්තේ නාවික හමුදාවයි.

අනෙක් නිදසුන නම් එල්ටීටීඊයේ ඊනියා දේශපාලන නායකත්වයේ කඩඉම් පසු කරමින් ප්‍රාදේශීය නායකයකු මට්ටමට පැමිණි තමිල් සෙල්වන් ගේ පවුලේ උදවියයි. තමිල් සෙල්වන් 2007 නොවැම්බරයේ ගුවන් හමුදා ප්‍රහාරයකට හසුව මිය ගියා. නමුත් 2009 ආරක්ෂක හමුදාවලට ඔවුන් විසින්ම තමන් කවුදැයි යන්න හඳුන්වා දීමෙන් පසු රජය විසින් ඔවුන් රැකබලා ගනු ලැබුවා. ඔවුන් ඉතා සුව පහසුවෙන් කොළඹ වෙසෙනවා. මේ කාරුණිකත්වයේ දෑත් දිගු වුණේ එල්ටීටීඊ ක්‍රියාකාරින්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් නොවේ, එල්ටීටීඊයේ හිටපු ක්‍රියාකාරින්ටත් ඒ සහයෝගය පල වුණා. ජෝජ් මාස්ටර්, දයා මාස්ටර් වැනි පූර්ණ කාලීන එල්ටීටීඊ සාමාජිකයන් ද මේ මෙහෙයුමේ අවසාන අවස්ථාවලදී යටත් වුණු අතර ඔවුන්වත් රැක බලා ගනු ලැබුවා.

සිවිල් ජනතාවට ක්‍රෑරකම් කර, විඳවීමට භාජනය කළ එල්ටීටීඊයේ සෘජු සාමාජිකයන්ට හා ඔවුන්ගේ දරු පවුල්වලට පවා මේ තරම් දුරටත් රැකවරණයක් ලබාදීමට රජයක් කටයුතු කළ යුතු ද? එසේ තිබියදීත් මොවුන් ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්‍රණකාරී ලෙස තමන්ගේ ප්‍රතිලාභ සඳහා කටයුතු කළ පාර්ශ්වයක පිරිසක් වෙනුවෙන් පෙනී සිටිනවා.

එසේ විකෘති කළ අසත්‍ය ප්‍රකාශ ලබා දීම සඳහා සැදී පැහැදි සිටිමින් නියම තොරතුරු දෙස නිසි අවධානය යොමු නොකිරීම ඉතාම කනගාටුදායකයි.

එල්ටීටීඊ පාපොච්චාරණකරුවන් විසින් මතු කරනු ලබන මාධ්‍ය උන්මාදය මත ඔවුන් ගමන් කරන අතර තමන් වෙනුවෙන් හෝ මෙහි සැබෑ ස්වරූපය වටහා ගැනීම ඔවුන් මඟ හැර තිබෙනවා.

නිදසුනක් ලෙස මානුෂික මෙහෙයුමේදී සිදුවුණු බව කියන 40000 ක සිවිල් තුවාලකරුවන් පිළිබඳ අසත්‍ය වාර්තාව ගනිමු. මේ අවුල්සහගත අසත්‍ය ප්‍රකාශය පාදක කරගෙන ඇත්තේ ද අවුල් සහගත ගණිත ක්‍රමයකි. මෙය දැනගත යුතුව තිබු පුද්ගලයන් පවා කිසිදු තර්කානුකූල විශ්ලේෂණයකින් තොරව පුන පුනා කියමින් සිටිනවා. මානුෂික මෙහෙයුමේ විවිධ කාලච්ඡේදවලදී විවිධ පාර්ශ්වයන් විසින් උතුරේ ජනගහනය පිළිබඳ විවිධ ඇස්තමේන්තු සාදාගෙන තිබෙනවා. Consortium of Humanitatian Agencies ට අනුව ඒ සංඛ්‍යාව 75,000 සහ 150,000 ක්. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරකට අනුව මේ ගණන 120,000 ක් හා 180,000 ක් අතර වනවා. ලෝක ආහාර වැඩසටහනට අනුව මේ සංඛ්‍යාව 210,000 ක්. මුලතිව්හි දිසාපතිට අනුව සංඛ්‍යාව 305,000 ක්.

ඒ අනුව විශාලතම ඇස්තමේන්තුව ලබා දී ඇත්තේ මුලතිව් දිසාපති වරයායි. මානුෂිය මෙහෙයුම අවසානයේ ලියාපදිංචි අවතැන්වූවන්ගේ සංඛ්‍යාව 294,000 යි.

උතුරේ සිටින ජන සංඛ්‍යාව ඇස්තමේන්තුගත කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක්. ගැටුම්කාරී කාලයේදී නෛතික ක්‍රමවේදයෙන් තොරව රට හැර ගිය සංඛ්‍යාව අති විශාලයි. එල්ටීටීඊ සාමාජිකයන් ද ඇතුළුව අවම වශයෙන් 100000 දෙනා බෝට්ටුවලින් ඉන්දියාවට ගොස් එහි කඳවුරුවල සිටිනවා. කෙසේ වුවත් ඔවුන් හඳුනා ගැනීමට තරම් ප්‍රමාණවත් තොරතුරු අප සතුව නැහැ. ඒ වගේම ඉන්දුනිසියාව, ක්‍රිස්මස් දූපත්, ඕස්ට්‍රේලියාව හා කැනඩාව වැනි රටවල විශාල සංඛ්‍යාවක් සරණාගත රැඳවියන් සේ සිටිනවා. මොවුන්ගේ නම් අප නොදන්නා අතරම ඒ රටවල් ඒ තොරතුරු නිදහස් කරන්නේ ද නැහැ.

එක්සත් රාජධානියේ චැනල් 4 නාළිකාව මඟින් විකාශය කරන ලද වීඩියෝ පටයේ යුද හමුදා නිලධාරීන් යැයි කිව හැකි දෙදෙනකු පෙන්වනවා. වගකීම් සහිත මාධ්‍ය භාවිතය කෙසේ වුවද නම් නොකරන ලද පුද්ගලයන් දෙදෙනකුගේ සම්මුඛ සාකච්ඡා පැවැත්වෙන්නේ ඔවුන්ගේ රූපය තිරයේ දිස්වීමක් හෝ ඔවුන්ගේ හඬ තත්තපර කීපයක්වත් නෑසෙන අයුරිනි. මොවුන් දෙදෙනාගේ නම් වශයෙන් ලබා දෙන්නේ ඉතා පොදු නමක් වූ ‘ප්‍රනාන්දු’ යන්න සහ සශෘත නම් වූ ඉතා දුර්ලභ නමක්. මේ දෙදෙනා වෙනුවෙන් ලබා දෙන හඬ පටය සාවද්‍ය ලෙස පවසන්නේ මානුෂිය මෙහෙයුමේ අවසන් දින කීපයේදී යුද අපරාධ සිදු වූ බවයි. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම සාක්කි ඒ සඳහා ඉදිරිපත් නොකරන අතර මොවුන් සත්‍ය වශයෙන්ම යුද හමුදා නිලධාරීන් යැයි කීමට සාක්කි ද නැත.

ඒ කෙසේ වෙතත් මේ හඬ පටය මඟින් පැහැදිලි කරන්නේ මේ දෙදෙනා ඇසින් දුටු සාක්ෂි බවයි. ඒත් ඔවුන් මොනවා සඳහා දෑසින් දුටු සාක්කිකරුවන් ද? ඔවුන් ඇත්තෙන්ම කියන්නට උත්සාහ කරන බව පෙන්වන්නේ ශවේන්ද්‍ර සිල්වා විසින් “මම ඔහුට කතා කර යම් යම් දේ කරන්නට උපදෙස් දුන්නා” යනුවෙන් ඔවුන් කී බවයි. මෙය සම්පූර්ණ අසත්‍යයක් වගේම නිර්මාණය කළ ප්‍රකාශයක්.

ඔවුන් කියන සියල්ල නිර්මාණය කරන ලද ඒවායි. ඒ කිසිවක් ඇසින් දුටු සාක්ෂි නෙවෙයි. මොවුන්ගේ ප්‍රකාශ ඉතා සුළු වශයෙන් හෝ යුදමය ක්‍රියාදාමයක් සිදුවන ආකාරය පිළිබඳ අවබෝධයකින් විශ්ලේෂණය කරන්නේ නම් මේවායේ විකෘතිතාව ඉතා පැහැදිලි වනු ඇති.

ඉතිහාසගතව ස්ථාපිත කරන ලද නීති හා ක්‍රමවේද අණක් පිළිපැදීමේදී තිබෙනවා. ශවේන්ද්‍ර විසින් උපදෙස් දිය හැකි එකම නිලධාරීන් විය හැක්කේ බල සේනාධිපතියන් සහ අණ දෙන නිලධාරීන් පමණයි. මේ අයගෙන් කිසිවෙක් ලංකාව හැර ගොස් නැහැ. එසේ නම් චැනල් 4 කියන මේ හෙවණැලි මිනිසුන් මේ මිහිමත සිටී ද? ඔවුන්ගේ විශ්වසනීයත්වය කුමක් ද? ඔවුන්ගේ මේ විකෘති ප්‍රකාශයන් මුහුණත අගයෙන්ම ගන්නේ කෙසේ ද? ඔවුන්ට අනාවරණය නොකළ න්‍යාය පත්‍රයක් තිබේ ද?

ශ්‍රී ලංකාවට එරෙහිව මේ නවතම වාර්තාව තනන ලද අනෙක් අසත්‍ය ප්‍රකාශය වන්නේ අන්තර්ජාතික පුද්ගලයන්ගේ මැදිහත්වීම මත එල්ටීටීඊ දේශපාලන සාමාජිකයන් දෙදෙනකු රජයට යටත් වීමට දරන ව්‍යාජ උත්සාහයයි. එම වාර්තාවේ ශ්‍රී ලංකාව දැඩිව විවේචනය කරන බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පෙන්වන අතර ඔහු මේ ත්‍රස්ත සාමාජිකයන් යටත් වීමට හැකිව තිබු බව සහතික කරයි. එසේ සහතිකය වීමක් කළත් නැතත් 11000 කට අධික එල්ටීටීඊ ක්‍රියාකාරින් මෙන්ම නායකයින් යටත් වනවාට අමතරව පුනරුත්ථාපනය වී සමාජගත වීම ද සිදුව තිබෙනවා. ඒත් කිසිවෙකුත් මේ කියන්නා වූ පුද්ගලයන් දෙදෙනාගේ අදාළ දින සිදු වූ යටත් වීම පිළිබඳ වගකිවයුත්තන්ට කිසිදු සන්නිවේදනයක් කර නැහැ. ආරක්ෂක ලේකම් ලෙස මට කෙසේත් හමු වී නැහැ.

මේ ඊනියා වාර්තා වැඩසටහන සේම චැනල් 4 මඟින් කොටස් වශයෙන් ප්‍රවර්ධනය කරන පදනමක් නැති අසත්‍ය ප්‍රකාශ කරන්නන්ගේ එකම අවශ්‍යතාව ශ්‍රී ලංකාවට අපහාස කිරීමයි. එයින් උත්සාහ කරන්නේ රටේ ප්‍රතිරූපය බිඳ දමා අපේ ජනතාව බෙදා වෙන් කිරීමයි. මෙය රිදුම් දෙන වසර තිහකින් පසු දිනු සාමය යළි පසෙකට ඇද දැමීමේ උත්සාහයයි.

මෙය වාර්තාවක් නොවේ. එය ප්‍රචාරක වැඩසටහනක්. වගකීම් සහිත මාධ්‍ය ආයතන පවසන්නේ බෙදුම්වාදීන්ගේ මේ න්‍යාය පත්‍රය ඉතා කනගාටුදායක බවයි. එක් වරක් එක්සත් රාජධානියේ මාධ්‍ය ආයතනයක් දැඩි ගින්නකට හසුවූ පසු බ්‍රිතාන්‍ය අධිකාරින්ගේ අවධානය යොමු කෙළේ එහි සදාචාරවල මදකම පිළිබඳවයි, එයින් පෙනෙන්නේ චැනල් 4 ට ද ගැලවීමක් නැති බවය.

මාධ්‍යවේදය සේ පෙන්වන්නා වූ මාධ්‍ය ප්‍රචාරණයේ අනෙක් හොඳම උදාහරණය වන්නේ රෝහල් බිම හෙළීම පිළිබඳ විශාල ලෙස හුවා දැක්වූ අසත්‍ය ප්‍රචාරයි. ඒ රෝහල්වල සේවය කළ වෛද්‍යවරු පැහැදිලිව ප්‍රකාශ කළේ එවැනි දැවැන්ත හෙළීම් සිදු නොවූ බවයි. මෙය චන්ද්‍රිකා තාක්ෂණය මඟින් රෝහල් අසළ ප්‍රදේශ සටනට පෙර හා පසු අවස්ථා ගෙන බැලීමේදී තහවුරු වේ.

අවාසනාවකට මේ වෛද්‍යවරුන් විසින් ලබාදෙන ලද දිවුරුම් පෙත්සම ඊනියා උපදෙස් සපයන්නන්ගේ අවධානයට ලක් වී නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ අවධානය යොමු වුණේ එල්.ටී.ටී.ඊ. යේ අනිසි බලපෑම් මත වෛද්‍යවරුන් ලබාදුන් අසත්‍ය ප්‍රකාශ වෙතයි.

එමගින් රජයට එරෙහිව මූලිකව ම ඔවුන් ගෙන යන පක්ෂපාතී බව තහවුරු වීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව බලවත් කනගාටුව පත් වෙනවා. එල්.ටී.ටී.ඊ. ය මගින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන පීඩාවට පත්ව සිටියදී සත්‍යවාදී වූ වෛද්‍යවරුන් රජයේ සුහදශීලිත්වය හමුවේ නිදහසේ සිටියදී බොරු කියන්නේ යැයි කීම මොනතරම් අපහාසයක්ද?

මානුෂීය මෙහෙයුම් කාලයේ දී උතුරු කරයේ ජනතාවට සෑහෙන ආහාර සහ ආධාර ලබා නොදුන් බවට කෙරෙන අසත්‍ය චෝදනාව තවත් එවැනි ම එකකි. මානුෂීය මෙහෙයුම ආරම්භයේදී ම ශ්‍රී ලංකා රජය මානුෂීය සහයෝගය සඳහා උපදේශක කමිටුවක් පිහිටෙව්වා. මෙය ඛ්ඛ්ඩ්ඒ නමින් නිතර හැඳින්වූ අතර නිතිපතා රැස් වුණේ ආරක්ෂක අමාත්‍යාංශයේයි. මහින්ද සමරසිංහ ඇමැතිවරයා විසින් සභාපතිත්වය දරනු ලැබූ ඒ කමිටුවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගි වුණා.

සාම වැඩපිළිවෙලෙහි නියුතු වූ දූතයන් මෙන් ම අන්තර්ජාතික සංවිධානවල ප්‍රධානීන්, රාජ්‍ය නොවන සංවිධාන දිනපතා කමිටුවට සහභාගි වන අතර ම ආධාර බෙදා දීමට කටයුතු කළා. මානුෂීය සහයෝගිතාව සඳහා වූ සියලු කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු අතර ම ක්ෂණික විසඳුම් ද ලබාදුන්නා. මේ හමුවීම්වලදි කිසිදු අඩුපාඩුවක් ගැන චෝදනා එල්ල වුණේ නෑ. අනෙක් අතට ඉතාම සංකීර්ණ මෙන් ම අන්තරායකර අවස්ථාවලදී පවා රජය මේ ගැටලුව සමඟ යහපත් අයුරින් කටයුතු කිරීමට සියලු උත්සාහයන් දැරුවා.

කරුණු කාරණා කෙතරම් දුෂ්කර වුවත් එල්.ටී.ටී.ඊ යේ ග්‍රහණයට ලක්ව සිටි ජනතාවට අත්‍යවශ්‍ය තිබූ සම්පත් කෙසේ හෝ ලබාදුන් බව හා ඒවා ඔවුන් අතට පත්වූ බව තහවුරු කර ගැනීමට ද රජය උපරිම වශයෙන් කටයුතු කළා.

අන්තර්ජාතික රතුකුරුස සංවිධානය වගේ ම ලෝක ආහාර වැඩසටහන ඒ බවට සාක්කි දරනවා ඇති. මානුෂීය මෙහෙයුමේ අවසාන අදියරවලදී එල්.ටී.ටී.ඊ. යට කොටු වී සිටි ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මහාමාර්ග පද්ධතිය ඔස්සේ ලබාදීමට නොහැකි වූ විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ අන්තර්ජාතික රතු කුරුස සංවිධානයේ නෞකාවක් මගින් ඒවා සපයා දීමට පවා කටයුතු කළා. අන්තර්ජාතික රතුකුරුස සංවිධානයේ වාර්තා පෙන්වා දෙනවා. මානුෂීය මෙහෙයුම අවසන් කළ 2009 මැයි 18 වැනිදා පවා බෙහෙත් ද්‍රව්‍ය සැපයීමට කටයුතු කළ බව.

කෙසේ වෙතත් එවැනි කරුණු සෙවීම හා සත්‍ය පැවසීමට හැකි තත්ත්වයේ අයගෙන් උපදෙස් ගන්නවා වෙනුවට ශ්‍රී ලංකාවට විරුද්ධවාදීන් අඛණ්ඩව කරගෙන යන්නේ ඔවුන් විසින් දිගින් දිගටම පැවසූ පිළුණු වූ බොරුව මත්තේ ම එල්බ සිටීමයි. එල්.ටී.ටී.ඊ. වරදකරුවන් ලෙස හඳුන්වා ගන්නවා වෙනුවට මේ විරුද්ධවාදින් ඇතැම් විට කරන්නේ ඔවුන්ගේ මේ කර්කශ බොරු වෙනුවෙන් ප්‍රභූවරුන් සේ පෙනී සිටීමයි. ඒ සඳහා ඇති හොඳම නිදසුන දමිල්වානි ඥානකුමාර් මෙනවියයි.

එම කාන්තාව පැවසුවේ තම මාපියන් බැහැ දැකීමට ශ්‍රී ලංකාවට පැමිණියත් ගැටුම් නිසා ආපසු යෑමට නොහැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල්වල ස්වේච්ඡා සේවයට බැඳුණු බවයි. එහිදී ඇය පැවසුවේ විශාල වශයෙන් තුවාල කරුවන් මෙන් ම දරුවන් පවා හිරිවැට්ටීමකින් ද තොරව ශල්‍ය කර්මවලට භාජනය කරනු සියැසින් දුටු බවයි. ඒ රෝහල්වල සේවය කළ වෛද්‍යවරුන් ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා පමණක් නොවේ. ඇය එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් ලෙස කටයුතු කරමින් සිටින බව ද අවසානයේ දැනගන්නට ලැබුණා.

ඇයව බඳවා ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ. අන්තර්ජාතික මෙහෙයුම් බාර නිලධාරී කැස්ත්‍රෝ විසින්. එමෙන් ම ඇය 2008 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ලන්ඩනයේ එල්.ටී.ටී.ඊ. පෙරමුණේ රාජකාරි කළ ඇත්තියක්. ඒ වගේ ම මෙරට දී ඇය එල්.ටී.ටී.ඊ කාන්තා නායක දුර්ගා යටතේ යුද පුහුණුව ලබාගෙන තිබෙනවා. කණගාටුදායක යථාර්ථය නම් ඇයගේ ප්‍රකාශ එලෙස ම බාර ගැනීමයි.

එල්.ටී.ටී.ඊ මාධ්‍ය ප්‍රචාර මෙහෙයුම දිගින් දිගටම ඔවුන්ගේ බොරු කතාවලට පිහාටු ලබා දෙද්දී බටහිර මාධ්‍ය නොසැලකිලිමත් ප්‍රමිතියකින් පවතිද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් නඟන හඬ යටපත් කරගෙන දුෂ්ටයින්ගේ බොරු කාරත්වය නැඟී සිටිනවා. මේ වාර්තාව එළි දැක්වීමත් සමඟ අසත්‍යයට ඇති තැන සදහට වැළලී ගොස් කිසිදු සැකයකින් තොරව සමස්ත ලෝකයම මේ මෙහෙයුමේ මානුෂිකත්වය දකිනු ඇතැයි මට විශ්වාසයි.

සකස් කෙළේ අරුණි මුතුමලී

Read the report PDF: