Spread the News

ග්‍රීස්‌ යකාට මුවාවී නැගෙනහිර
ගිනි ඇවිලවීමේ රහස්‌ සැලසුමක්‌

SOURCE:

* ජනපති සහ රජය පෙරළා දැමීම සඳහා බටහිර බලවේග
“යුද අපරාධ” චෝදනා එල්ල කරනවා.
– ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

* සාවද්‍ය ගී්‍රස්‌ යකා ගැන අරාබිකරයටත් තොරතුරු පතුරුවයි

* රුසියාවෙන් ගුවන් හමුදාවට එම්.අයි. 171 ප්‍රවාහන හෙලිකොප්ටර් 14 ක්‌

* ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු
ශ්‍රී කූගන්ගේ කොටි වෙබ් අඩවිය සාවද්‍ය පුවත් විකාශනය කරයි

* මෙන්න! අලුත්ම කොටි පුවත් සෙබළෙක්‌ ද්‍රවිඩ
කාන්තාවක්‌ පසුපස එළෙව්වා – ඇය දුම්රියේ හැපී මළා.
තවත් සෙබළෙක්‌ ද්‍රවිඩ කාන්තාවක්‌ පසුපස හඹා ගියා
– ඇය ළිඳකට වැටුණා

* ලොව 194 වැනි රාජ්‍යය ඊළාම් රාජ්‍යය යෑයි
තමිල්නඩු කොටි චිත්‍රපට අධ්‍යක්‍ෂ සිමන් පවසයි

* හිටපු කොටි රූකඩ යාපනය විරෝධතාවයේ

* කින්නියා නාවික කඳවුරට ප්‍රහාර එල්ල කිරීම
පසුපස ජමාත් අල් ඉස්‌ලාම්?

“සතුරන්ගේ අරමුණ අවස්‌ථාව එනතුරු බලා සිටීමයි”
– රුසියානු අගමැති වැලඩ්මීටර් පුටින්


රුසියාවෙන් මිලයට ගන්නා එම්.අයි. – 171 ප්‍රවාහන හෙලිකොප්ටර්

මඩකලපුවේ කලහකාරීන් ඇති කළ මාර්ග බාධක ඉවත් කිරීමට හමුදාව ක්‍රියා කරනු අයුරු

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බටහිර බලවේග වල සැගවුන න්‍යාය පත්‍රය හෙළි කරමින්

පසුගිය ඉරිදා සවස කින්නියා නාවික කඳවුරේ අණදෙන නිලධාරියාගේ “නාහ” යනුවෙන් සඳහන් නිල රිය කඳවුර වෙත එද්දී කලහකාරීහු විශාල පිරිසක්‌ එම රියට ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිටියහ. මේ නාවික හමුදා රථයේ සිටියේ රියෑදුරා සහ නැවියකු පමණි. සිය රියට ප්‍රහාර එල්ල කිරීම ව්‍යාර්ථ කිරීම සඳහා නාවික රියෑදුරා විගස එය කඳවුර වෙත ගෙන ආවේය. ඒ වන විට එම රියට පොරෝ පහරක්‌ වැදී තිබිණි. රිය පසුපස දිව ආවේ කැති, පොරෝ, මුගුරු ගත් කලහකාරීන්ය. ඔවුහු කඳවුරේ තිබූ ජල ටැංකියකට ද ගිනිතබා විනාශ කළහ. මේ අර්බුදය සමථයකට පත් කිරීමට පැමිණි ජීප් රියකට ද කලහකාරීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය.

මේ සාහසික ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් සැකපිට විසි හතර දෙනෙක්‌ අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගනු ලැබූවන් පොලිස්‌ ට්‍රක්‌ රියකට ගොඩ කරන අයුරු ත්‍රිකුණාමල හිටපු කොටි ඒජන්තවරුන් විසින් වීඩියෝගත කෙරිණි. මේ ඒජන්තවරුන් අතර ශ්‍රී කූගන් මෙහෙය ස්‌විස්‌ කොටි අඩවිය වෙනුවෙන් ක්‍රියා කරන වීඩියෝකරු ද විය. එහෙත් ත්‍රිකුණාමල බුද්ධි අංශවලට මෙතෙක්‌ මොහුව හඳුනා ගැනීමට නොහැකිවී ඇත. මේ අතර පොලිස්‌ අත්අඩංගුවට ගත් කලහකාරීන් විසිහතර දෙනා නිදහස්‌ කරන්නැයි ඉල්ලමින් මූලධර්මවාදීන් විසින් උසිගැන්වූ විශාල පිරිසක්‌ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වට කරනු ලැබීය. ඒ වන විට කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ යුද හමුදාවේ 22 වැනි සේනාංක ප්‍රධානි බ්‍රිගේඩියර් ඩී. හෙට්‌ටිආරච්චි, 221 බල සේනාධිපති කර්නල් එස්‌. පී. සෙනෙවිරත්න, නැගෙනහිර ආඥපති බොනිපස්‌ පෙරේරා සහ ත්‍රිකුණාමල දිසාපති මේජර් ජනරාල් චන්ද්‍රසිරි ද කොටුවී සිටියහ. නාවික කඳවුරට ගල් ගසමින් ප්‍රචණ්‌ඩකාරී ලෙස ක්‍රියා කළ මේ මැරයන් විසිහතර දෙනා මුදාගැනීම සඳහා එකී පිරිස මාර්ගයේ ටයර් පුළුස්‌සමින් විරෝධතාවක නිරතව සිටි බවද හෙළි විය.

මේ සිද්ධියට මුල් වූයේ “ගී්‍රස්‌ යකුන්” නාවික කඳවුර වෙත පැමිණි බව කින්නියා හොර ජාවාරම්කරුවන් විසින් දියත් කළ ප්‍රචාරය නිසයි. කොටින්ට ඉන්ධන ඇදීමේ යෙදී සිටි මේ ජාවාරම්කාර යක්‍ෂයන් ඩයිනමයිට්‌ දමා මසුන් ඇල්ලීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වනු ලැබූවන් වේ. ඔවුන් මුහුණපෑ බරපතළ ප්‍රශ්නය වූයේ කින්නියා නාවික කඳවුරයි. ගතවූ කාලය තුළ හොර ජාවාරම්වල යෙදුනු පිරිස්‌ අත්අඩංගුවට ගැනීම නිසා එකී නාවික කඳවුර ඉවත් කර ගැනීමට මොවුන්ට අවශ්‍ය විය.

මෙලෙස මැර කණ්‌ඩායමක්‌ විසින් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලමින් එහි සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට එළියට ඒමට ඉඩ නොදීම නිසා ඔවුන්ට සිදුවූයේ සන්නාහ යුද රථ ගෙන්වා එකී රථ මගින් පිටත්ව යැමයි. මේ අවස්‌ථාව වන විට අධිකරණ ඇමැති එකී ස්‌ථානයට පැමිණ පොලිසිය සහ ආරක්‍ෂක බලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇත. එහි ප්‍රතිඵලය වූයේ මැරයන් විසිහතර දෙනා පොලිස්‌ ඇප මත මුදාහැරීමයි. මින් සනාථ වන්නේ කුමක්‌ද? රටේ නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වූ අයුරුයි. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් කින්නියට වෙනම නීතියක්‌ ක්‍රියාත්මක වන්නේද සහ ඇµaගනිස්‌තානයේ “තාලිබාන්” ක්‍රමවේදය කින්නියේ ක්‍රියාත්මකවීමට ඉඩදිය යුතුද යන්නයි.

කින්නියේ හොර ජාවාරම්කරුවන් “ගී්‍රස්‌ යකුන්” නාවික කඳවුරට පැන ගියා යෑයි කියමින් සාවද්‍ය පුවතක්‌ ප්‍රචාරය කර නාවික කඳවුරට පහරදීමත් හමුදා නිලධාරීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමත් සිදු කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර තිබේ. මේ පසුබිම මත පැහැදිලි වන්නේ නැගෙනහිර පළාත සඳහා වන්නි මෙහෙයුමට දායක වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ අවශ්‍යතාව නොවේද? පුදූර්හි බැංකු කොල්ලය සිදුවීම, කාතන්කුඩි, පොතුවිල් සිදුවීම් දක්‌වා ඇතිවූ තත්ත්වයන් ආරක්‍ෂක බලධාරීන් වෙත එල්ලවූ අනතුරු ඇඟවීම් වේ. නැගෙනහිර පළාතේ මෙයට පෙර සිදුවූ සිදුවීම් කෙරේ ආරක්‍ෂක බලධාරීහු අවධාරණය කළ යුතුය. කල්මුණේ ප්‍රදේශයේ සුනාමි ආහාර ගබඩාව මුර කරමින් සිටි පොලිස්‌ නිලධාරියකුට වෙඩි තැබුවේ ද අන්තවාදී “ජිහාඩ්” කල්ලිය යෑයි පසුව හෙළි විය. මෑතකදී නැගෙනහිර “ෂහරියා” නමැති තාලිබාන් මූලධර්මවාදී නීතිය ගෙනඒමට ද අන්තවාදී සංවිධානයක්‌ විසින් උත්සාහ කර තිබිණි. එසේම “කාතන්කුඩි”හි දැන්වීම් පුවරුවක්‌ අරාබි භාෂාවෙන් ලියා තිබූ බව වාර්තා විය. මෙවන් තත්ත්වයක්‌ මැද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පුනේ සෙල්වරාසා නමැත්තා මඩකලපුවේ තිරුනාවනායි ප්‍රදේශයේ රහසිගත මිනිසුන්ගේ ක්‍රියාදාමයක්‌ සිදුවන බව පවසමින් ප්‍රකාශයක්‌ කර ඇත. මේ ප්‍රකාශයෙන් පැය 24 ක්‌ ගතවීමට මත්තෙන් තවත් පුදුමාකාර සිද්ධියක්‌ අනාවරණය විය. ඒ ද්‍රවිඩ සන්ධාන නැගෙනහිර මන්ත්‍රී පියසේන මහතාගේ නිවස අසල රහසිගත මිනිසකු සැඟවී සිටින බව කියමින් එක්‌තරා පිරිසක්‌ එම නිවස වෙත ගොස්‌ පොලිස්‌ රැකවළුන්ට ගල්වලින් පහරදීමය.

පියසේන මන්ත්‍රීවරයාව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ද්‍රවිඩ සන්ධාන නායකත්වය දැරූ උත්සාහය අසාර්ථක වී තිබිණි.

මෙලෙස ඔහුගේ පොලිස්‌ රැකවළුන්ට ගල්මුල් වලින් පහරදීම සම්බන්ධව අක්‌කරපත්තුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අලෙයිදිවෙන්ඩු ප්‍රාදේශීය සභා දේශපාලකයකු වූ උදයරා- නමැත්තායි. ඔහු ද්‍රවිඩ සන්ධානය නියෝජනය කරන්නෙකි. මෙවන් පසුබිමක්‌ මත නැගෙනහිර අබිරහස්‌ මෙහෙයුමක්‌ දියත් වන බව පැහැදිලිය. මෙම සිද්ධියට සමගාමීව මඩකලපුව ප්‍රදේශයේ කාරතිව්හි විනයගමුර්ති නමැත්තකුට රහසිගත මිනිසකු විසින් පහරදීම නිසා තුවාල ලැබූ බවට ද පුවතක්‌ විකාශනය විය. මේ පුවත විකාශනය කරනු ලැබුවේ ශ්‍රී කූගන් මෙහෙය වන ස්‌විස්‌ කොටි වෙබ් අඩවියයි. ශ්‍රී කූගන් යනු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරායි. මේ අතර කැනඩාවේ ටොරොන්ටෝ නුවර “උදයන්” පුවත්පතේ අලුත්ම කලාපයේ ප්‍රධාන පුවත ලෙස දක්‌වා තිබුණේ තමිල්නාඩුවේ කොටි හිතවාදී චිත්‍රපට අධ්‍යක්‍ෂ සිමන් කළ ප්‍රකාශයයි. ඉතා ඉක්‌මණින්ම ලෝකයේ 194 වැනි රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව පත්වෙනවා යෑයි සිමන් පැවසූ බව එහි දැක්‌විණි.  එසේම එම පුවත්පතේ තවදුරටත් මෙලෙස සඳහන් කර තිබිණි. “පළාත් සභා මැතිවරණයේදී ද්‍රවිඩයන් විසින් ජනාධිපති වෙත පණිවුඩයක්‌ යවමින් කියා සිටියේ ඔහු විසින් දුන් වේදනාව ද්‍රවිඩයන් අමතක නොකරන බවයි. ද්‍රවිඩයන් සිංහල ආණ්‌ඩු පිළිගන්නේ නැත. එම මැතිවරණය ද්‍රවිඩයන් ලත් විශිෂ්ට ජයග්‍රහණයක්‌ වන අතර ඩග්ලස්‌ වැන්නන්ට බරපතළ පහරකි. ද්‍රවිඩයන් ජය ලබා ඇත. ද්‍රවිඩයන් ජය ලබා ඇත. ද්‍රවිඩයන් කිසිවිටෙක ද්‍රවිඩයන්ව හඹා යන ද්‍රවිඩයකු පිළිගන්නේ නැත.”

මේ බරපතළ ප්‍රකාශය පළ කළේ යාපනයේ උදයන් පුවත්පතේ ටොරොන්ටෝ මුද්‍රණයයි. මෙලෙස කැනඩාවේ ටොරොන්ටෝහි උදයන් පුවත්පත් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ උත්සාහයක යෙදෙන අවස්‌ථාවේ නාඳුනන කල්ලියක්‌ විසින් යාපනයේ උදයන් පුවත්පතේ කර්තෘට පහරදීම සම්බන්ධව යාපනයේ වාහන ගමනාගමනයට බාධා කරමින් විරෝධතාවයක්‌ පවත්වා ඇත. මෙහි මූලිකත්වය දැරුවේ කොටි හඬ ත්‍රස්‌ත ගුවන්විදුලියට ගුවන් හමුදාව බෝම්බ දැමීම හෙළා දුටු කොළඹ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමයි. මේ විරෝධතාවයට සහභාගි වූයේ ඉඩම් හා පොලිස්‌ බලතල ඉල්ලා සිටි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් සෙබළුන් 10000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවනවා යෑයි තර්ජනය කළ හිටපු මන්ත්‍රී කජෙන්ද්‍රන්, යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියකු වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් සහ සිවාජිලිංගම් ඇතුළු දේශපාලකයන් පිරිසක්‌ ද ඊට සහභාගි වී ඇත.

එසේම මේ විරෝධතාවයේදී එහාට මෙහාට ගමන් කරමින් සිටි චරිතයක්‌ වූයේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ව මරන බවට පවසන නිසා ඔහුට එරෙහිව ක්‍රියා කරන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි තැනැත්තායි. ඔහු ප්‍රභාකරන් සහ පොට්‌ටුඅම්මාන් හමුවී සාකච්ඡා කරන අයුරු දැක්‌වෙන ඡායාරූප ද අප සතුව පවතී. මේ වසරේ මුලදී මොහු නෝර්වේ වෙත ගොස්‌ කොටි හිතවාදීන් හමුවී ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට තොරතුරු තමා සතුව තිබෙන බවත් ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ආරම්භ වූ විට එකී තොරතුරු සපයන බවත් පවසනු ලැබීය. එසේම කොළඹ ලිප්ටන් වටරවුමේ විටින් විට රංගන පවත්වන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම ද පිටස්‌තර පිරිස්‌ ද මාධ්‍ය නිදහස්‌ නැතැයි කියමින් යාපනයේදී බෙරිහන් දුන්හ.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් මාධ්‍ය නිදහස්‌ නැත්නම් විදෙස්‌ අරමුදල් මත යෑපෙන්නන් මේ විරෝධතාවය පැවැත්වූයේ කෙසේද යන්නයි. සුළු පිරිසක්‌ සහභාගි වූ මේ විරෝධය දැවැන්ත විරෝධයක්‌ යෑයි කොටි වෙබ් අඩවිය විසින් විකාශනය කර ඇත. එහෙත් දෛව්‍ය මොවුන්ට සරදම් කරයි. මඩු මංගල්‍යය නිමවූයේ පසුගියදායි. මෙයට වසර කීපයකට පෙර මඩු දේවස්‌ථානයේ නත්තල් දේව මෙහෙය පටිගත කිරීමට සූදානම්ව සිටි ගුවන්විදුලි සංස්‌ථාවේ නිෂ්පාදක මරියදාසන්ව එම දේවස්‌ථානය තුළදීම කොටි ඝාතකයන් විසින් ඝාතනය කරනු ලැබීය. මේ ඝාතනය සම්බන්ධව නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරිකයන් හෝ ද්‍රවිඩ මාධ්‍ය සංසදය යාපනය නගරයට ගොස්‌ විරෝධතාවයක යෙදුණේ නැත. එසේ වුවත් කොටි බලවත්ව සිටියදී ද්‍රවිඩ මාධ්‍ය සංසදයේ ක්‍රියාකාරීහු තමිල් සෙල්වන් නමැති ත්‍රස්‌තයා හමුවීමට ගොස්‌ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. මේ ක්‍රියාකාරීන්ට දිවා භෝජනයක්‌ පිරිනැමූ තමිල් සෙල්වන් “නුඹලා සතුරාගේ බලකොටුව තුළ සිටිමින් විමුක්‌ති අරගලයට කරන සේවය නායකතුමා (ප්‍රභාකරන්) අගය කරනවා”යෑයි පවසා ඇත. මෙම අතීතය වසන් කළ නොහැක. යාපනයේ පැවැති මේ විරෝධතාවට හිටපු කොටි මාධ්‍ය ප්‍රකාශක දයා මාස්‌ටර් ද සහභාගි වී තිබේ. දයාමාස්‌ටර් සම්බන්ධ වූ මෙම විරෝධතාව ගැන තවදුරටත් කිවයුතු නැත. මේ අතර ගල්කිස්‌ස අධිකරණය හමුවේ පැවැති අපහාස නඩුවක්‌ හමුවේ සාක්‍ෂි දුන් ආරක්‍ෂක ලේකම්වරයා යුද්ධය ජය ගැනීමට නොහැකි බව පවසමින් ඇතැම් පුවත්පත්වල ආරක්‍ෂක විශේෂාංගවල හමුදාවල චිත්ත ධෛර්ය බිඳවැටෙන පුවත් පළවූ බව කියා සිටියේය.

ආරක්‍ෂක ලේකම්වරයා කළ මේ ප්‍රකාශයට සාක්‍ෂි අවශ්‍ය නම් යුද්ධය පැවැති සමයේ මාධ්‍ය ඔස්‌තාර්ලා සහ මාධ්‍ය අදබාලයන් කළ ප්‍ර්‍රකාශ නිදසුන්ය. මෙරටට පැමිණ සිටින සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්යවරයා පවා පැවසුවේ යුද්ධය ජයගත නොහැකි බවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චිය වෙත පැමිණි විට කැනඩාවේ සිට කරුණු දැක්‌වූ ද්‍රවිඩ මාධ්‍යවේදියකු පැවසුවේ කොටි විසින් හමුදාව වටලන බවයි. ඔහුගේ මේ ප්‍රකාශය 2008 දෙසැම්බර් 20 වැනිදා ප්‍රකාශයට පත්විය. මේ හැර 2009 ජනවාරි 04 වැනිදා යුද විශ්ලේෂකයකු යෑයි හඳුන්වා ගත් තවත් අයෙක්‌ පැවසුවේ දෙපාර්ශ්වයම සම තත්ත්වයේ සිටින බවයි. 2009 වසරේදී තවත් මාධ්‍ය අඳබාලයෙක්‌ කොටින්ට න්‍යෂ්ටික අවි තිබෙන බව දක්‌වමින් හමුදාව බිය ගන්වනු ලැබීය. මොවුන්ට කර්තෘ සංසදය විසින් සම්මාන පවා පුද කෙරිණි. එහෙත් යුද්ධය ජයගත හැකි යෑයි කියා සිටියේ “දිවයින ඉරිදා සංග්‍රහයේ” ආරක්‍ෂක විශේෂාංගය මගින් පමණි. 2007 නොවැම්බර් 2 වැනිදා “කොටි විනාශ කිරීම හැර වෙනත් මගක්‌ නැතැයි” යනුවෙන් ද 2001 ජුනි 10 වැනිදා “ප්‍රභාකරන් විනාශ කළ නොහැකිද” යන ශීර්ෂය යටතේ ආරක්‍ෂක විශේෂාංගය මගින් පවසනු ලැබීය. මේ අතර නැගෙනහිර ගී්‍රස්‌ යකුන් සහ රහසිගත මිනිසුන් යෑයි දක්‌වමින් දියත්වන සාවද්‍ය ප්‍රචාර නොකඩවා දියත් විය. පසුගිය 17 වැනිදා ස්‌විස්‌ වේලාවෙන් අලුයම 5.13 ට පුවතක්‌ විකාශනය කළ ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය එරාවුර්හි වන්දරාමුල්ල ප්‍රදේශයේ රහසිගත මිනිසකුගෙන් බේරීමට පැන දිවූ ආරමුගම් පාක්‍යසම් නමැති කාන්තාවක්‌ දුම්රියේ හැපී මියගිය බව දක්‌වා ඇත. එහෙත් ඒ වන විට ඇය සමග සිටි දරුවන්ට හානියක්‌ සිදුවී නැත. මෙහිදී සිදුවී ඇත්තේ දුම්රිය මග හරහා යමින් සිටි ඇය මඩකලපුව රාත්‍රි දුම්රියේ හැපීමයි. එසේ වුවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු කූගන් එය රහසිගත මිනිසාගෙන් බේරීමට පැන යද්දී සිදුවූවක්‌ යෑයි විකාශනය කරනු ලැබීය.

ඕස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ තිසර සමරසිංහ මේ සතියේදී ඕස්‌ටේ්‍රලියාවේ විදේශ ඇමැති කෙවින් රඩ් වෙත ප්‍රතිචාරයක්‌ දක්‌වමින් යුද අපරාධ ගැන සොයන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

රඩ්ගේ මේ ඉල්ලීමට පදනම වී ඇත්තේ චැනල් 4 වීඩියෝ පටය යෑයි පැවසූ මහකොමසාරිස්‌වරයා ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය නැතැයි තවදුරටත් කියා සිටියේය.

තමිල්නාඩුවේ කොටි හිතවාදීහු පසුගිය සිකුරාදා තවත් මෙහෙයුමක්‌ දියත් කළහ. ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ ශාන්තන්, මුරුගන් සහ පෙරියවාසලන් යන ඝාතකයන් තිදෙනාට සමාව දීම ඉන්දීය ජනාධිපතිනිය විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඊට එරෙහිව විරෝධතාවක්‌ මෙදින පැවැත්විණි. මෙය මෙහෙය වූයේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයකු වූ තොල් තිරුමාවලන් නමැත්තායි. මේ අතර ගී්‍රස්‌ යකා හෙවත් රහසිගත මිනිසුන් නමැති ක්‍රමවේදය තවදුරටත් ව්‍යාප්ත විය. මෙවර ගී්‍රස්‌ යකා පහරදී ඇත්තේ මඩකලපුවේ කාන්තාවක්‌ වූ ෂ්‍යාමාල් නමැත්තියකටය. මෙම සිද්ධිය විදුලි වේගයෙන් ප්‍රචාරය විය. මෙකී අවස්‌ථාව එනතුරු බලා සිටි කලහකාරීන් මහාමාර්ගයේ වාහන ගමනාගමනය අවහිර කරමින් ටයර් පුළුස්‌සමින් බාධා ඇති කරනු ලැබීය. ඒ සමගම ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් වූ සෙනිතම්බි යෝගේශ්වරන් සහ පොන් සෙල්වරාසා වැන්නවුන් ද මහාමාර්ගය වෙත දිව ඇත. කොටි හිතවාදී මාධ්‍යයන් ද ඒ අතර විය. පසුගිය බදාදා දහවල් 2.00 ට ඇතිවූ මේ නොසන්සුන්කාරී තත්ත්වය මැද කොටි වෙබ් අඩවිය සාවද්‍ය පුවතක්‌ ලොව පුරා විකාශනය කරනු ලැබීය. එහි මෙසේ සඳහන් විය.

“බලහත්කාරයෙන් සිටින යුද හමුදාව සහ පොලිසිය ද්‍රවිඩ කාන්තාවන්ට අතවර කිරීමට උත්සාහ කරන බව ගම්වාසීහු පවසති. මේ අතර චිත්තන්ඩි ප්‍රදේශයේදී සිංහල සෙබළකුට බියේ දිවගිය ද්‍රවිඩ කාන්තාවක්‌ ළිඳකට වැටුණි. පසුව ප්‍රදේශවාසීහු ඇයව බේරාගෙන ඇත. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මඩකලපුව ශික්‍ෂණ රෝහල වෙත ඇතුළුවීමට උත්සාහ කළ පිරිසක්‌ හෙදියන්ගේ කෑගැසීම නිසා පලාගොස්‌ තිබේ.”

මෙම සාවද්‍ය තොරතුරු පසුගිය බ්‍රහස්‌පතින්දා උදේ වන විට කොළඹ වැල්ලවත්ත ප්‍රදේශය තෙක්‌ ද ව්‍යාප්ත විය. වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගණයේ ගී්‍රස්‌ යකෙකු සිටි බවට කොටි හිතවාදීන් විසින් ප්‍රචාරය කරනු ලැබීය. මෙවන් තොරතුරු වලින් පැහැදිලි වන්නේ නැගෙනහිර යළි ගිනි ඇවිලවීමේ රහස්‌ සැලසුමකි. මේ සැලසුමේ අරමුණ හමුදා කඳවුරු සහ පොලිස්‌ මුරපළවල් ඉවත් කර ගැනීමයි.

නැගෙනහිර විශ්වාසවන්ත ආරංචි මාර්ග දක්‌වන අන්දමට කින්නියා නාවික කඳවුරට ප්‍රහාර එල්ල කිරීම පසුපස ජමාල් අල් ඉස්‌ලාම් නමැති අන්තවාදී සංවිධානය සහ මඩකලපු සිදුවීම් පසුබිමේ හිටපු කොටි හා ද්‍රවිඩ සන්ධාන දේශපාලනඥයන් සිටින බව හෙළිවී ඇත. ශ්‍රී ලංකා රජය රුසියානු රජයෙන් එම්. අයි. 171 වර්ගයේ හෙලිකොප්ටර් 14 ක්‌ මිලයට ගැනීම සඳහා ගිවිසුමක්‌ අත්සන් කර ඇතැයි මේ සතියේදී වාර්තා විය. රොසබොරොන්එක්‌ස්‌පෝට්‌ නමැති රාජ්‍ය සමාගමෙන් මිලයට ගන්නා මෙම ප්‍රවාහන යානා සංචාරක කර්මාන්තය සඳහා යෙදවීමට ගුවන් හමුදාව තීරණය කර තිබේ. මේ අතර ජාතික සංවිධාන එකමුතුව විසින් පසුගිය බ්‍රහස්‌පතින්දා (18 දා) සවස කොළඹ බණ්‌ඩාරනායක සමරුහලේදී යුද අපරාධ කුමන්ත්‍රණ පරාජය කිරීම මැයෙන් සමුළුවක්‌ පවත්වනු ලැබීය. මෙම සමුළුවට ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවියේ ඒජන්තවරයකු ද රහසිගතව සහභාගි වී ඇත. මෙම සමුළුව ඇමතූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බටහිර රටවල් විසින් යුද අපරාධ පිළිබඳව විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි පවසන්නේ රජය පෙරළා දැමීමේ සැඟවුණු න්‍යායපත්‍රයක්‌ මත යෑයි කියා සිටියේය.

“එල්ල කර ඇති චෝදනා පසුබිමේ සැඟවුණු න්‍යායපත්‍රයක්‌ තිබෙනවා. එහි මූලික අරමුණ ජනාධිපති හා රජය පෙරළීමයි. ඊට හේතුව ඔවුන්ගේ අරමුණු ඉටු කිරීමට ක්‍රියා නොකිරීම”යෑයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරනු චෝදනාවල අවසානයක්‌ නැතැයි ද ඒ මහතා පළ කළේය. ආරක්‍ෂක ලේකම්වරයා විසින් බටහිර බලවේගවල කුමන්ත්‍රණකාරී ක්‍රමවේදය හෙළි කරන අවස්‌ථාවේ සෞදි අරාබියාව දක්‌වා සාවද්‍ය ගී්‍රස්‌ යකාගේ පුවත ප්‍රචාරය විය. ශ්‍රී ලාංකික මුස්‌ලිම් කාන්තාවන්ට ගී්‍රස්‌ යකාගෙන් බේරීමට නොහැකි බවට දක්‌වමින් ඇරැබ් නිවුස්‌ නමැති පුවත්පතේ සාවද්‍ය ප්‍රචාර සඳහන් තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය