Spread the News

පුත්තලමේ ඛෙදවාචකය
පොලිස්‌ සැරයන් ඝාතනයට සම්බන්ධ 20 දෙනෙක්‌ දැලේ
ප්‍රධාන සැකකරුත් කොටුවෙයි

 

source:

හේමන්ත රන්දුණු

පුත්තලම නගර මධ්‍යයේ දී කෲර අන්දමින් පහර දී කපා කොටා පොලිස්‌ සැරයන් නවරත්න බණ්‌ඩාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 20 දෙනකු රහස්‌ පොලිසිය සහ පුත්තලම පොලිසිය ඒකාබද්ධව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීමේදී වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබූ ගල්කටස්‌ වර්ගයේ ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම අවිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකුගේ සොහොයුරකුට අයත් එකකි.

මේ අතර පොලිස්‌ නිලධාරියා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බවද මෙම පරීක්‍ෂණ කටයුතු මෙහෙයවන නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහතා පවසයි.

ග්‍රීස්‌ යකකු යෑයි කියමින් අහිංසක පුද්ගලයකු අල්ලාගත් සංවිධානාත්මක පිරිසක්‌ ඔහුට පහර දෙමින් ආගමික ස්‌ථානයක්‌ වෙත රැගෙන ගොස්‌ දඬුවම් දීමට සූදානම් වූ අවස්‌ථාවේ මෙම පොලිස්‌ සැරයන්වරයා එය වළකාලීමට උත්සාහ කර ඇත.

මෙම සැකකරු බේරාගෙන පොලිසියට රැගෙන යැමට මෙම නිලධාරියා උත්සාහ කරද්දී එහි සිටි කැරලිකරුවන් එම නිලධාරියාට කෲර ලෙස පහර දී තිබේ.

ඒ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරියා වැඳ වැටෙමින් ඉල්ලා ඇත්තේ තමන්ට මේ ආකාරයට පහර නොදෙන ලෙසයි.

එහෙත් තිරිසනුන් ලෙස හැසිරුණු මෙම සංවිධානාත්මක පිරිස පොලිස්‌ නිලධාරියා කඩුවලින් කපා කොටා ඝාතනය කළහ.

මෙම සිද්ධියෙන් පසු මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා රහස්‌ පොලිසිය සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ යොදවා තිබිණි.

පුත්තලම නගරයේ දී ඉකුත් 21 වැනිදා රාත්‍රී සිදුවූ තවත් පොලිස්‌ නිලධාරියකුට පහරදී එම නිලධාරියාගේ යතුරු පැදියට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 10 දෙනෙක්‌ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටිති.