Spread the News

රජීව් ඝාතකයන්ට නියම වූ මරණ දඬුවමට
එරෙහිව ඉන්දීය තරුණියක්‌ ගිනි තබා ගනී

source:
හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකුට හා ඉන්දීය ද්‍රවිඩ ජාතිකයකුට මරණීය දඬුවම් නියම කිරීම පිළිබඳව විරෝධය පාමින් ඉන්දියාවේ කාන්චිපුරම් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක්‌ පෙරේදා (28 දා) සිරුරට ගිනි තබා ගෙන සිය දිවි නසාගෙන තිබේ. කාන්චිපුරම් හි පිහිටි ඔරික්‌කායි ග්‍රාමයේ පදිංචිකාරිනියක වන පී. සෙන්කෝඩ් නමැති තරූණිය පෙරේදා සවස 5.45 ට පමණ රජයේ කාර්යාලයක්‌ තුළට ගොස්‌ පෙට්‍රල් ලීටර් දෙකක්‌ තම සිරුරට වත්කර ගෙන ගිනි තබාගෙන මිය ගොස්‌ ඇති බව “හින්දු” පුවත්පත පවසයි. එම අවස්‌ථාවේදී කාර්යාලය තුළ සිටි සේවකයන්, පොලිසිය හා ගිනි නිවන හමුදාව ගින්න නිවා දමා සෙන්කෝඩ් රජයේ මහ රෝහලට ඇතුළත් කර ඇතත් අධික පිළිස්‌සුම් තුවාල හේතුවෙන් ඇය රාත්‍රි 7.30 ට පමණ මිය ගොස්‌ ඇත.

සෙන්කෝඩ් මිය යැමට පෙර ලියා තබා ඇති ලිපියක රජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවන් වන මුරුගන්, සාන්තන් හා පෙරාරිවාලන් යන පුද්ගලයන්ට මරණ දඬුවම් නියම කිරීම පිළිබඳව විරෝධය පාමින් මෙසේ ගිනි තබා ගෙන සිය දිවි නසා ගන්නා බව සඳහන් කර තිබේ. මෙම පුද්ගලයන් සැප්තැම්බර් 09 වැනිදා එල්ලා මැරීමට තීරණය වී තිබේ.