Spread the News

මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කීර්තිනාමය රැක ගැනීමටයි

– ඇමැති කෙහෙළිය

ඉන්දික පොල්කොටුව source:

රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙයින් මාධ්‍ය නිදහස් සුරක්ෂිත වන බවත් එමෙන් ම මාධ්‍ය ලේබලය ඔස්සේ ජනමාධ්‍යයේ කීර්ති නාමයට සිදුවන හානිය වැළකී යන බවත් ඒ මහතා කීය.

රටේ කීර්ති නාමයට පමණක් නොව විශාල ලෙස පුද්ගල චරිත ඝාතන පසුගිය වකවානුවේදී මෙම වෙබ් අඩවි හරහා සිදු වූයේ යැයි ද රඹුක්වැල්ල මහතා පැවසී ය.

මේ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමාපියන් ඇතුළු රටේ සිවිල් ජනතාව විශාල වශයෙන් ඉල්ලීම් කළ බවත් ඇතැම් අවස්ථාවන්හි ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවා එම දෙමාපියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නොහැකිව තිබූ බවත් ඇමතිවරයා කීය.

තායිලන්තය චීනය ඇතුළු රටවල් මේ වනවිට එම රටවලට හානි කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කැර ඇතැයි ද රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග වලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස ලෙස හැඳින්වීම වරදක් නැතැයි ද ඒ මහතා පැවසීය.

පුවත්පතක රූපවාහිනියක ගුවන් විදුලියක යම් අසත්‍ය ප්‍රවෘත්තියක් පළවූ විට එය නිවැරැදි කිරීමට ක්‍රියාමාර්ග ඇති නමුත් වෙබ් අඩවිවල එවැනි ක්‍රමවේදයක් නොමැති වීමෙන් එම වෙබ් අඩවිවලට රටට ජනතාවට ඕනෑම හානියක් කිරීමට හැකියාව ඇතැයි ද ඒ මහතා කීය.