Spread the News

ඉතිහාසයේ පළමු වතාවට
යාපනය නගරයේ සුපිරි ගණිකා නිවසක්‌ වටලති

source:
හේමන්ත රන්දුණු, සිරිමන්ත රත්නසේකර

යාපනය නගර මධ්‍යයේ පිහිටි හෝටලයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක්‌ පෙරේදා (13 වැනිදා) රාත්‍රි වැටලූ යාපනය පොලිසිය ගණිකා වෘත්තියේ යෙදී සිටි ළාබාල තරුණියන් තිදෙනකු සහ එහි හිමිකරු ඇතුළු 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. යාපනය නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වැටලූ මුල්ම අවස්‌ථාව මෙය බව ද පොලිසිය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් තරුණියන් පරන්තන්, අච්චුවේලි, කෝපායි ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති. ඔවුන් අවුරුදු 20 ත් 25 ත් අතර වයස්‌ සීමාවල පසුවන අය වෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගණිකා නිවාසයේ කළමනාකරු සහ තරුණියන්ගේ සේවය ලබාගැනීමට පැමිණ සිටි තරුණයන් සිව්දෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා, නියෝජ්‍ය පොලිස්‌පති බී. ඉන්ද්‍රන්, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නෙවිල් පද්මදේව මහත්වරුන්ගේ උපදෙස්‌ මත යාපනය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් සිගේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.