Spread the News

විදෙස්‌ ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද කර
2012 දී ඖෂධ හිඟයක්‌ ඇති කරන කුමන්ත්‍රණයක්‌

අජිත් අලහකෝන් source:

විදෙස්‌ සමාගම්වලින් ටෙන්ඩර් කැඳවීම ප්‍රමාදකරමින් ඖෂධ සංස්‌ථා නිලධාරින් කණ්‌ඩායමක්‌ ලබන වසරේ රට පුරා ඖෂධ හිඟයක්‌ ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව එම සංස්‌ථාවේම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ “දිවයින”ට කීය.

මෙසේ ඖෂධ හිඟයක්‌ ඇති වූ විට ටෙන්ඩර් පටිපාටියකින් තොරව දේශීය වෙළෙඳ පොළෙන් වැඩි මිලකට ඖෂධ මිලට ගැනීමට සිදුවන අතර ඒ ඔස්‌සේ අධික කොමිස්‌ මුදලක්‌ ලබා ගැනීමට මෙම නිලධාරින් සූදානම් වන බවද ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

දේශීය වශයෙන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඖෂධ මිලට ගැනීමේදී නියමිත මිලට වඩා තුන් ගුණයක්‌ පමණ ගෙවීමට සිදුවන බවද කී ඉහත නිලධාරියා පසුගිය කාලයේදීද මෙම නිලධාරින් කණ්‌ඩායම මේ ආකාරයට හිතාමතා ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද කිරීමෙන් රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්‌ ඇතිවූ බවද කීය.

ඖෂධ ටෙන්ඩර් සඳහා මෙවැනි ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය කරන ඖෂධ සංස්‌ථා නිලධාරින් සංස්‌ථාවේ වාහනවලට එන්ජින් තෙල් මිලට ගැනීමටත්, වෝල්ට්‌ 70 එක්‌ බල්බයක්‌ මිලට ගැනීමටත් ටෙන්ඩර් කැඳවීම් කරන බව කීය.

එවැනි සුළු මිලදී ගැනීම්වලට විනිවිදභාවය පෙන්වන මෙම නිලධාරීන් විශාල මුදලකට ඖෂධ මිලට ගැනීමේදී දූෂණ අක්‍රමිකතා සිදු කිරීම විහිළුවක්‌ බවද ඉහත නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ ආකාරයට ටෙන්ඩර් ප්‍රමාද කිරීම නිසා ලබන වසරේ මැයි මාසයේදී රටපුරා ඖෂධ හිඟයක්‌ නිර්මාණය කිරීම මෙම නිලධාරින්ගේ අරමුණ වී ඇතැයිද හෙතෙම කීය.