Spread the News

ජනාධිපතිට එරෙහිව නඩු අහන්න
ඇමරිකානු අධිකරණයට බලයක්‌ නැහැ

source:

– ඇමරිකානු නීතිවේදී මිචෙල් බර්ජර්

* චැනල් ෆෝ – අංක 2 ජනවාරි මස එළිදැක්‌වේ

* ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුත් ඇමරිකානු තානාපති කාර්යාලයට “කේලම්” කියයි

* කොටි සංවිධානයේ දේශපාලන ඒකකය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානය යුද අපරාධවලට සම්බන්ධ දැයි සොයා බැලිය යුතුයි

* හිටපු මේජර් ජනරාල්වරයකු යෑයි හඳුන්වා ගන්නා තවත් තක්‌කඩියෙක්‌ ඇමරිකාවෙන් මතුවේ

* කොටින්ට එරෙහිව මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ ලබාදීමට එකඟවූ චෙක්‌ හිටපු ජනාධිපති වැක්‌ලාව් හැවල් මියයයි

* ප්‍රභාකරන්ව වසර 200 කට සිරයට යෑවීමට අධිකරණය හමුවේ සාක්‍ෂි දුන් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුගේ සේවය රුපියල් 5000 කට අගය කෙරේ

* උතුරු නැගෙනහිරට පොලිස්‌ හා ඉඩම් බලතල නොදෙන බව රජය පැවසීම නිසා ද්‍රවිඩ සන්ධානය හා එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු කම්පනයට පත්වේ

* සාවද්‍ය යුද අපරාධ චෝදනා විද්යුත් ලිපි මගින් ලොව පුරා ප්‍රචාරය කරන්නේ කැනඩාවේ ද්‍රවිඩ මාධ්‍යවේදියකු යෑයි සනාථ වේ

* ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවියේ කොළඹ ක්‍රියාකාරිකයා හෙළිවේ

“ජයග්‍රහණය පාවා නොදෙමි” ඊශ්‍රායලයේ හිටපු නායක ඩේවිඩ් බෙන්ගුරියන්

ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි වෛද්‍ය මනෝහරන් කාසිපිල්ලේ දැන් පදිංචිව සිටින්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරය. කලෙයිසෙල්විලාන් සහ ජෙයකුමාර් අයියතුරෙයි වන්නියේ කොටි පාලන ප්‍රදේශයේ පදිංචිව සිට ඇමරිකාවට ගොස්‌ ඇත. මේ තිදෙනාම එක්‌වී ඇමරිකාවේ කොලම්බියා අධිකරණය හමුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක්‌ පවරනු ලැබුවේ මේ වසරේ ජනවාරි 28 වැනිදායි. මේ තිදෙනා වෙනුවෙන් ඇමරිකාවේ අධික මුදලක්‌ අය කරන නීතිවේදියකු වූ බෲස්‌ පෙයින් විසින් මේ නඩුව ගොනු කරනු ලැබීය. ජනාධිපතිවරයා ඇමරිකාවට පැමිණි අවස්‌ථාවේ බෘස්‌ පෙයින් විසින් යොදවනු ලැබූ ඒජන්තවරු එම නඩුවේ සිතාසිය භාරදීමට හා එම අවස්‌ථාව ඡායාරූපගත කිරීම සඳහා දැරූ උත්සාහයක්‌ අසාර්ථක විය. මේ පසුබිම මැද පසුගිය 16 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටින ඇමරිකාවේ පැටන් බොග්ස්‌ නීති සමාගමේ නීතිවේදී මිචෙල් බර්ජර් පිටු 11 කින් යුත් ප්‍රතිචාරයක්‌ දිසා විනිසුරුවරිය වූ කොලින් කොලර් කොටෙලි වෙත යොමු කරමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රාජ්‍ය නායකයකු නිසා ඔහුට විදේශ රාජ්‍ය නිලධාරීන්ට හිමි වරප්‍රසාද තිබෙන්නේ ද සහ පැමිණිලිකරුවන්ට සිය පැමිණිල්ල යොමු කිරීමට ඉඩ තිබේද යන්න ගැන ඇමරිකානු රජයේ අදහස්‌ විමසන ලෙසත් ඉල්ලීමක්‌ කෙරිණි. මේ ඉල්ලීමට දිසා විනිසුරුවරිය විසින් අවසර දෙමින් මේ නඩුව සම්බන්ධව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිරීක්‍ෂණ විමසන්නැයි නියෝග කළාය.

මෙහිදී නීතිවේදී බර්ජර් අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් හේතූන් පහක්‌ මත පැමිණිලිකරුවන්ගේ නඩුව ගැන විභාග කිරීමට ඇමරිකානු අධිකරණයට හැකියාවක්‌ නැතැයි කියා සිටියේය. රාජ්‍ය නායකයන්ට එරෙහිව ඇමරිකානු අධිකරණය හමුවේ නඩු පැවරීමට නොහැකි බවත් ඊට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද අයත්වීම සහ පැමිණිලිකරුවන්ගේ ක්‍රියාදාමයෙන් ශ්‍රී ලංකා ඇමරිකානු ද්විපාක්‌ෂික සබඳතාවලට බාධාවක්‌ වීමත්, ස්‌වෛරීභාවය සම්බන්ධ නීතිය උල්ලංඝනයවීම සහ ශ්‍රී ලංකා ජනාධිපතිට එරෙහි ක්‍රියා කිරීමේ හැකියාවක්‌ ඇමරිකානු අධිකරණයට නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. එසේම ඇමරිකාවට හෝ ඇමරිකානුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාදාමයක්‌ සිදුවී නැතැයි ද නීතිවේදී බර්ජර් තවදුරටත් පළ කළේය.

විදේශ රාජ්‍ය නායකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇමරිකානු අධිකරණය වෙත යොමුවූ නඩු වරප්‍රසාද නීතිය යටතේ ප්‍රතික්‍ෂේප වූ අන්දම දැක්‌වෙන තොරතුරු ද නීතිවේදී බර්ජර්ගේ කරුණු දැක්‌වීමට ඇතුළත් විය.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාගරට්‌ තැචර් මහත්මියටත් 2 වැනි ජගත් සංග්‍රාමයේදී යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් ජපන් රජයටත්, චීනයේ ඇමැතිවරයකුටත් එරෙහිව පැවරුන නඩුවලදී විදේශ නිලධාරීන් සඳහා වූ මුක්‌තිය (Foreign official immunity) ක්‍රියාත්මක වූ බවද හෙතෙම සඳහන් කළේය. චීන රජයට එරෙහිව පැවැති නඩු විභාගයකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නීති උපදේශකයා පවසා ඇත්තේ විදේශ නිලධාරීන්ට එරෙහිව පවත්වන නඩු විභාග ගැන ඇමරිකානු අධිකරණ ඉතා ප්‍රවේශම් විය යුතු බවයි.

නීතිවේදී මිචෙල් බර්ජර් ඉදිරිපත් කළ මෙම කරුණු නිසා පැමිණිලිකරුවන්ගේ නීතිවේදියා වූ කොටි හිතවාදී බෲස්‌ පෙයින් කලබලයට පත් විය.

“මිචෙල් බර්ජර් ප්‍රමුඛ පැටන් බොග්ස්‌ සමාගම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ කොන්ග්‍රස්‌ මන්ත්‍රීවරුන් හමුවේ ශ්‍රී ලංකාවට පක්‍ෂව දැඩි ප්‍රතිචාරයක්‌ ගෙන යනවා. මෙයට ප්‍රතිචාර දැක්‌වීමට විදේශ රටවල සිටින ද්‍රවිඩයන්ගේ සහාය අවශ්‍යයි. අපි මානව හිමිකම් කණ්‌ඩායම්. නොබෙල් සම්මානලත් අය. හිටපු ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්. කොන්ග්‍රස්‌ මන්ත්‍රීවරු සහ මාධ්‍ය පාර්ශ්වයන්ගේ සහාය ලබාගෙන ශ්‍රී ලංකා ජනාධිපතිට විදේශ රාජ්‍ය නිලධාරීන්ට හිමි වරප්‍රසාද නීතිය ලබාදීම ව්‍යර්ථ කළ යුතු”යෑයි බෲස්‌ පෙයින් කියා සිටියේය. (We urgently need Tamil expatriates Support to Launch an counter campaign to recruit human rights groups and the media – Bruce Fein)

මේ ප්‍රකාශය කළ බෲස්‌ පෙයින් කැනඩාවේ සිට තමිල්නාඩුවේ චෙන්නායි වෙත ගොස්‌ කොටි හිතවාදීන් හමුවී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ගැන සාක්‌කි විමසනු ලැබීය. ඒ සඳහා ඇමරිකානු කැනඩා සහ බ්‍රිතාන්‍ය කොටි ජාලය විසින් ඔහුට අතිවිශාල මුදලක්‌ ලබාදී තිබිණි.

බෲස්‌ පෙයින් කොටි වෙබ් අඩවි අමතමින් ඇමරිකානු ර ජය විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති සම්බන්ධව අදහසක්‌ ප්‍රකාශ කළත් අවසාන තීන්දුව ඇත්තේ කොට්‌ලර් විනිසුරුවරිය මත බවත් ඇය තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරන බවත් සඳහන් කළේය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට පලාගිය මාධ්‍යවේදිනියක්‌ දැඩි නොසතුටට පත්විය. ඇගේ එකම අදහස වූයේ කොට්‌ලර් විනිසුරුවරිය විසින් ඇමරිකානු රජය කෙරේ තැකීමක්‌ නොකරන බවයි.

ඇමරිකානු කොන්ග්‍රසය ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශ විශ්වාස නොකරන බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අදහස්‌වලට ගරු කිරීමට අධිකරණය බැඳී නැති බව නීති විශාරදයන් පවසන බවත් කියමින් ඇය ඇමරිකාව තුළ ප්‍රචාරයක්‌ දියත් කළාය.

එහෙත් දින විස්‌සක්‌ තුළ ඇමරිකානු රජය විසින් සිය අදහස්‌ ප්‍රකාශ කළ යුතුවේ.

ශ්‍රී ලංකා ජනාධිපතිගෙන් ඩොලර් මිලියන තිහක වන්දියක්‌ ඉල්ලා පවරා තිබූ මේ නඩුව සම්බන්ධව කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව සහ එන්.ජී.ඕ. ප්‍රධානීහු අපමණ ලෙස සතුටට පත්වී සිටී.

මේ අතර පසුගිය දෙසැම්බර් 1 වැනිදා කැනඩාවේ සිටින ද්‍රවිඩ මාධ්‍යවේදියකු වූ ද්විත්ව රංගනයක යෙදෙන අයකු විසින් ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට අලුතින් සාක්‍ෂි මතුවී ඇති බවට පළවූ වාර්තාවක්‌ තමා සමග සබඳකම් පවත්වන්නන් වෙත යවනු ලැබීය. මේ වාර්තාවෙන් කියා සිටියේ වන්නි මෙහෙයුමේ අවසාන දිනයේදී ඝාතන සිදු කරන මෙන් හමුදාවට නියෝග ලැබුණ බව යුද හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසන බවයි.

පසුගිය දෙසැම්බර් 18 වැනිදා එම ප්‍රකාශයම බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පතේ පළ විය. මෙම වාර්තාවේ සඳහන් වූයේ ඇමරිකාවට පලාගොස්‌ දේශපාලන රැකවරණ පැතූ හිටපු මේජර් ජනරාල්වරයකු කරුණු දක්‌වමින් යටත්වූ කොටින්ව විනාශ කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා යුද භූමියේ සිටි අණදෙන නිලධාරියකුට උපදෙස්‌ දුන් බව තමාට දැනගැනීමට ලැබුණ බවයි.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් බ්‍රිතාන්‍යයේ හෝ කැනඩාවේ හෝ ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ නොපතා මේ හිටපු හමුදා නිලධාරියා ඇමරිකාවට පලාගොස්‌ වසර දෙකකට පසු මෙවන් ප්‍රකාශයක්‌ කිරීමයි.

ඇමරිකාවේ දේශපාලන රැකවරණ පැතූ මේ “තක්‌කඩියා” වැනි පාර්ශ්ව ඇමරිකානු රජයට දැන් අවශ්‍ය වී ඇති බව මෙවන් ප්‍රකාශ එළිදැක්‌වීමෙන් සනාථ නොවන්නේද?

මේ හිටපු මේජර් ජනරාල් යෑයි හඳුන්වා ගන්නා ද්‍රෝහියා වැනි පිරිස්‌ ගැන පුදුම විය යුතු නැත. මන්ද හිටපු රාජ්‍ය නිලධාරීන් ද දැන් ජපන් යෙන් වලට ශ්‍රී ලංකාවට එරෙහිව රහස්‌ වාර්තා ජපානයට යවන බව හෙළිවී ඇති නිසාය.

එහෙත් මේ සාවද්‍ය යුද අපරාධ චෝදනා නඟන හිටපු හමුදා නිලධාරීන්ගේ ප්‍රකාශ ඇමරිකාවෙන් මතුවී ලන්ඩන් නුවර දක්‌වා ව්‍යාප්තවීමෙන් දියත්වී ඇති කුමන්ත්‍රණ ක්‍රමවේදය සනාථ වේ.

මෙයට සමගාමීව 2012 වසර ආරම්භවීමත් සමගම බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහි කිලිං ෆීල්ඩ් අංක 2 වීඩියෝ පටය එළිදැක්‌වීමට සූදානම් වේ.

ඒ සඳහා අවශ්‍ය බොරු සාක්‌කිකරුවන්, වීඩියෝ දර්ශන සහ හිටපු මේජර් ජනරාල් යෑයි කියන ද්‍රෝහියාගේ සාවද්‍ය ප්‍රකාශ ද ඇතුළත් වී ඇතැයි වාර්තාවේ. මේ අතර වන්නි මෙහෙයුමට අතිශයින්ම දායක වූ චෙක්‌ මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ සැපයූ චෙක්‌ හිටපු ජනාධිපති වැක්‌ලාව් හැවල් පසුගියදා අභාවප්‍රාප්ත විය. 2000 වසරේදී ප්‍රභාකරන් යාපනයේ දොරටුව නමැති ස්‌ථානය වෙත පැමිණ 40000 ක හමුදාවට සුදුකොඩි ඔසවා යටත් වන ලෙස නියෝග කළ අවස්‌ථාවේ හැවල්ගේ නියෝගය මත මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ශ්‍රී ලංකාවට සැපයුනි.

මේ අධිබල යන්ත්‍ර ශ්‍රී ලංකාවට සැපයීමට එරෙහිව චෙක්‌ රාජ්‍ය නිලධාරීහු දෙදෙනකු ක්‍රියා කළත් හැවල් ජනාධිපතිවරයා එම විරෝධතාවන් නොතකා එම ප්‍රහාරක යන්ත්‍ර ලබාදීමට ක්‍රියා කළේය.

එසේ වුවත් මුල්ම චෙක්‌ මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍රය කටුනායක ගුවන්තොටුපළට ගෙන ඒමෙන් පසු එහි වයර් කපා තිබූ බව හෙළි විය. කෙසේ වෙතත් චෙක්‌ ඉංජිනේරුවකු සහ ගුවන් හමුදා තාක්‍ෂණ ශිල්පීන් නොකඩවා දැරූ උත්සාහයෙන් පසු එම යන්ත්‍රය ක්‍රියාත්මක විය.

විවිධ දුෂ්කරතා මැද යාපනය වෙත ගෙන යනු ලැබූ චෙක්‌ මල්ටි බැරල් යන්ත්‍රය ක්‍රියාත්මකවීමෙන් ලොව කිසිම ජගතකුට පරාජය කළ නොහැකි බවට උදම් ඇනූ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් පිරිස පැන දිවූහ.

මෙලෙස යාපනය කොටින්ගෙන් බේරා ගැනීමට සහාය වූ මල්ටි බැරල් යන්ත්‍රවලට හයිෙඩ්‍රාලික්‌ තෙල් වෙනුවට පොල්තෙල් දමන්නැයි එක්‌ හමුදා නිලධාරියකු නියෝග කර තිබූ බව හෙළි විය.

මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ සිය දිවි නොතකා කටයුතු කළ පොලිස්‌ නිලධාරීන්ගේ සේවාව අවමානයට ලක්‌ කිරීමේ සිද්ධියක්‌ අපි අද අනාවරණය කරන්නෙමු.

ඒ කොටුවේ මහබැංකු බෝම්බයට ප්‍රභාකරන් වරදකරුවීමට තුඩුදුන් ඇඟිලි සලකුණු සනාථ කළ පොලිස්‌ ඇඟිලි සටහන් අංශයේ හිටපු උප පොලිස්‌ පරීක්‍ෂක ටී. එච්. එන්. පෙරේරා සහ පොලිස්‌ සැරයන් ආර්. ටී. බී. රත්නායක මුහුණ දුන් කනගාටුදායක තත්ත්වයයි.

ප්‍රභාකරන් ඝාතකයාට එරෙහිව කට ඇරීමට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීහු බියව සිටි අවස්‌ථාවක මෙම හිටපු පොලිස්‌ නිලධාරීහු දෙදෙනා ප්‍රභාකරන්ගේ වම් මහපට ඇඟිලි සලකුණ සහ ත්‍රස්‌තවාදීන් දෙදෙනකුගේ ඇඟිලි සටහන් පිළිබඳව මහාධිකරණය හමුවේ සාක්‍ෂි දීමට ක්‍රියා කළහ.

මේ නිසා ඔවුන් කළ සේවාව ඇගයීම සඳහා රුපියල් 75,000 බැගින් සහ උසස්‌වීම් ලබාදිය යුතු යෑයි නියෝජ්‍ය පොලිස්‌පති ටී. එන්. විෙ-ගුණවර්ධන විසින් පොලිස්‌පති වෙත නිර්දේශ කරනු ලැබීය.

2003 වසරේදී සිදු කළ මෙම නිර්දේශය ඔවුන් විශ්‍රාම යනතුරුත් ඉටුවූයේ නැත.

එහෙත් කොටුවේ මහබැංකු බෝම්බය සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වූ බව කියන නිලධාරීහු මෑතකදී ත්‍යාග මුදල් ලබාගත්තා. ඊට මෙම හිටපු පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අයත්වී නොතිබිණි.

පසුගිය මාසයේ දිනෙක මෙකී ක්‍රියාදාමයට සම්බන්ධ හිටපු පොලිස්‌ නිලධාරියෙක්‌ වත්මන් පොලිස්‌පතිවරයාට ඒ සම්බන්ධව කරුණු දක්‌වා තිබිණි.

මේ තත්ත්වය මැද එම නිලධාරීන් දෙදෙනාගෙන් එක්‌ අයකුට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පාලන අංශයට එන ලෙස දන්වා ත්‍යාග මුදල සහිත කවරයක්‌ ලබාදී තිබේ. එහි තිබුණේ රුපියල් 5000 ක වටිනාකමකින් යුත් චෙක්‌පතකි.

ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවමක්‌ පමුණුවාලීම පිණිස සහායවීමෙන් කරන ලද යහපත් සේවාවට ත්‍යාග ලැබීමට සුදුස්‌සන් යෑයි නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු කළ නිර්දේශය වසර අටකට පසු රුපියල් 5,000 කට සීමා වූයේ කෙසේද?

කොටි ඝාතකයා වූ ප්‍රභාකරන්ට එරෙහිව ප්‍රභාකරන් ජීවත්ව සිටියදී සාක්‍ෂි දුන් හිටපු පොලිස්‌ නිලධාරීන්ගේ අගය රුපියල් 5,000 කට තක්‌සේරුවෙද්දී කොඩි ඩයස්‌පෝරාව සිනහවනු නොඅනුමානය.

මේ අතර වසර ගණනාවක්‌ තිස්‌සේ කොටි රූඩකය මෙන් ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධාන යුද අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එසේ නම් කොටි සංවිධානයේ දේශපාලන ඒකකය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානය ද ලක්‍ෂ්මන් කදීර්ගාමර්, නීලන් තිරුචෙල්වම්, සාමි තම්බිමුත්තු ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන්ගේ ඝාතනයන්ට සම්බන්ධ දැයි මුලින්ම සොයා බැලිය යුතුව තිබේ.

ද්‍රවිඩ සිවිල් වැසියන් ගැන සඳහන් කරන ද්‍රවිඩ සන්ධානය දුම්රිය හා බස්‌ රථවල තැබූ කොටි බෝම්බවලින් මියගිය සිංහල වැසියන් ගැන සඳහන් නොකරන්නේ මන්ද?

මේ සියලු ඝාතන සිදුවූයේ ද්‍රවිඩ සන්ධානය කොටි සමග එක්‌ව ක්‍රියා කරන අවස්‌ථාවේදීයි. මේ තත්ත්වය මත සම්පන්දන් ඇතුළු ද්‍රවිඩ සන්ධානය ද යුද අපරාධවලට වගකිවයුතුවේ.

මේ සතියේ කරළිය තුළ මෙවන් තොරතුරු හෙළිවෙද්දී ලොව සැබෑ යුද අපරාධකරු වූ ඇමරිකාව 18 වැනි වරටත් ශ්‍රී ලංකාවට තර්ජනාත්මක උපදෙසක්‌ දෙමින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කර යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කළ යුතු යෑයි පවසා ඇත.

මේ ප්‍රකාශය කර ඇත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්‌ටෝරියා නුලන්ඩ්ය. මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශ්වයන් සමග සබඳකම් පවත්වන බවද ඇය තවදුරටත් හෙළි කර තිබේ. (Assistant Secretary Blake has been in contact with Various Sri Lankan Counter parts)
මේ පාර්ශ්වයන් යෑයි කියන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයට “කේලම්” සපයන්නන්ද? එසේම උගත් පාඩම් කොමිසමේ වාර්තාව ගැන ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය බලාපොරොත්තු වන අතර ශ්‍රී ලාංකිකයන් රැසක්‌ ද එවන් ප්‍රතිචාරයක්‌ පතන බවත් ඇය තවදුරටත් දක්‌වා තිබේ. මේ අතර ආබාධිත කොටි තිහක්‌ මුදාහරින්නැයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් අධිකරණ ඇමැති හමුවී ඉල්ලා ඇත. මේ කොටි ආබාධිත වූයේ ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට දියත් වූ මෙහෙයුම්වලිනි.

මේ අතර කොටි හිතවාදී සංවිධාන ද උගත් පාඩම් කොමිසමේ වාර්තාව ප්‍රතික්‍ෂේප කර ඇත. කැනඩා සහ බ්‍රිතාන්‍ය කොටි සංවිධාන මෙකී වාර්තාව ගැන පවසා ඇත්තේ ඉන් කොටි මැරුවේ කෙසේදැයි පවසා නැති බවයි.

මෙම තත්ත්වය මැද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු ද ඇමරිකානු තානාපති කාර්යාලයට කේලම් කියන බව හෙළිවී ඇත. එය සනාථ වන්නේ මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යෑවූ රහස්‌ ලියවිල්ලකිනි. A senior police officer (Protect) confided to POL.FSN

මේ නිසා 2012 වසරේදී මෙරට ආරක්‍ෂක තත්ත්වය හමුවේ විශාල අභියෝගයක්‌ පවතින බව සනාථ නොවන්නේද?

මෙවන් තොරතුරු හෙළිවෙද්දී දැනට පවතින උතුරේ ප්‍රශ්නයට එකම විසඳුම නම්á උතුරු ප්‍රදේශයෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම, අධිආරක්‍ෂිත කලාප අහෝසි කිරීම සහ පූර්ණ බලය උතුරට ලබාදීම සිදුවිය යුතු යෑයි එක්‌ කොටි හිතවාදියකු කියා සිටී.

සම්පන්දන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය බලාපොරොත්තු වන්නේ ද එයයි. එහෙත් උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැතැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යයක්‌ ආරම්භ කිරීමේ අරමුනින් පොලිස්‌ හා ඉඩම් බලතල ලබාගැනීමට ද්‍රවිඩ සන්ධානය දැරූ සියලු උත්සාහයන් නිශ්ඵල විය. පොලිස්‌ හා ඉඩම් බලතල දෙන්නේ නැතැයි රජය පසුගිය බ්‍රහස්‌පතින්දා සෘජුවම කියා සිටියේය. රජයේ මේ ප්‍රකාශයත් සමගම කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු බරපතළ කම්පනයකට පත්වූහ.

කොටි හිතවාදී කොළඹ ඇතැම් ද්‍රවිඩ මාධ්‍ය අප දැන් කුමක්‌ කරන්නේද යන්න ගැන කොටි ඩයස්‌පෝරාවෙන් විමසා තිබේ. මේ සමගම කැනඩා කොටි ජාලය ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය වෙත සම්බාධක පනවන්නැයි ඉල්ලා ඇත.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මේ සම්බන්ධයෙන් පැවසුවේ, පොලිස්‌ බලතල රහිතව දේශපාලන විසඳුමක්‌ ද්‍රවිඩ ජනතාව පිළිගන්නේ නැති බවයි.

කීර්ති වර්ණකුලසූරිය