Spread the News

බ්ලේක්‌ගේ ප්‍රකාශයෙන් ඇමරිකාවේ දුෂ්ට හැසිරීම හෙළි වුණා
උදය ගම්මන්පිල source:

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ ඕ බ්ලේක්‌ගේ ප්‍රකාශයෙන් ඇමරිකාව ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන දුෂ්ට හැසිරීම පැහැදිලිව පෙනී යන බව ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම ප්‍රකාශයෙන් ඇමරිකාව නිරුවත්වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ. එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු ඇමරිකානු සහකාර ලේකම් රොබට්‌ ඕ බ්ලේක්‌ මහතා විසින් ඊයේ අපූරු ප්‍රකාශකයක්‌ කර තිබිණි. ශ්‍රී ලංකාව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් අයුරින් කටයුතු කර නොමැති හෙයින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඉදිරි සැසියේදී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවට ඇමරිකා එක්‌සත් ජනපදය සහාය පළ කරන බව එම ප්‍රකාශයෙන් කියෑවිණි. ඇත්තෙන්ම එකී ප්‍රකාශයෙන් කෙරුණේ ඇමරිකාව ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ද්වේශ සහගත ආකාරය සාධාරණීකරණය නොව ඇමරිකාවේ දුෂ්ට හැසිරීම හෙළිවීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ආණ්‌ඩුවක්‌ කොමිෂන් වාර්තාවක්‌ ක්‍රියාත්මක කළ යුත්තේ ජනතා සංවාදයකින් පසුවය. එම වාර්තාව පිටු 388 කින් යුත්තය. එම වාර්තාවේ ඇමිණුම් පිටු 37 කින් යුක්‌තය. එවැනි දැවැන්ත වාර්තාවක්‌ කියවීමටවත් ඒ පිළිබඳ සංවාද කිරීමටත් සැලකිය යුතු කාලයක්‌ ගත වේ. නමුත් එකී වාර්තාව ප්‍රසිද්ධ කර අවම වශයෙන් මාස දෙකක්‌ද ඉක්‌ම ගොස්‌ නැත. එවැනි පසුබිමක ඇමරිකාව විසින් ලංකාවේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අයුරින් කටයුතු කර නැතැයි පැවසිSම විහිලුවකි.

පසුගිය දෙමස තුළ ආණ්‌ඩුව විසින් එකී වාර්තාව සම්බන්ධයෙන් නිහඬව මෙන්ම අක්‍රියව සිටියේ නම් ඇමරිකාවේ චෝදනාව සාධාරණය. නමුත් ආණ්‌ඩුව එම වාර්තාව ප්‍රසිද්ධ කළා පමණක්‌ නොව සිය මතයද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉන්පසු මහජන සංවාදය කෙරෙහි අවධානයෙන් පසු විය. කොමිෂන් සභාවේ කුමන නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු දැයි ආණ්‌ඩුව තීරණය කළ යුත්තේ මහජන ප්‍රතිචාර අනුවය.

හුදෙක්‌ මාස දෙකකටත් අඩු කාලයක්‌ තුළ දී වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පදනම් කරගෙන ලංකාවට දඬුවම් දීමට සැරසීමෙන් ඇමරිකාවේ අසාධාරණය හෙළි වී ඇති බැවින් ඊනියා ලෝක පොලිස්‌කාරයාගේ මේ නොපනත්කම්වලට එරෙහිව පෙළ ගැසෙන මෙන් අපි සමස්‌ත ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු.