ලොකු පුතාට වුණ දේම කුමාර් පුතාටත් වෙයි කියා මට බයයි

Spread the News

ලොකු පුතාට වුණ දේම කුමාර්
පුතාටත් වෙයි කියා මට බයයි

“කුමාර් මහත්තයාගේ” අම්මා කියයි
source:
අජිත් අලහකෝන්

“මගේ පොඩි පුතා වරදක්‌ කරලා තියෙනවා නම් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් කරන්න” යයි පෙරේදා (06 දා) සිට අතුරුදන්ව සිටින කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයාගේ මව වන වී. ආර්. ගුණරත්නම් මහත්මිය ඊයේ (08 දා) ප්‍රකාශ කළාය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මාදිවෙල පිහිටි කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්‌ දැක්‌වූ ගුණරත්නම් මහත්මිය මෙසේද කීවාය. අසූ නවයේදී මගේ ලොකු පුතා රංජිත් ගුණරත්නම් වත් පැහැරගෙන ගියේ මේ ආකාරයටමයි. කොතරම් කලක්‌ ලොකු පුතා ජීවත්ව සිටියාද කියා දන්නේ නැහැ. කොයි වෙලාවේ හරි එයා හමුවේවි කියලා හිතා හිටියා. ඒත් අද දක්‌වාම ලොකු පුතා ආවේ නැහැ. මට ඉතිරිවෙලා හිටිය එකම පුතාවත් දැන් ඒ විදිහටම අරගෙන ගිහින්. ඒ දරුවටත් ලොකු පුතාට වූ දේම වේවි කියලා බයයි. අම්මා කෙනෙක්‌ගේ වේදනාව හැම කෙනෙක්‌ම දන්නවා. මට මගේ දරුවාව බලන්න ඉඩ දෙන්න කියලා ඉල්ලනවා.

කුමාර් ගුණරත්නම් මහතාගේ නැඟණිය වන නිරංජනි ගුණරත්නම් මෙනවිය මෙසේ කීවාය.

අපි දන්න විදිහට අයියාව අරගෙන ගිහිං තියෙන්නේ ආණ්‌ඩුවෙන්. එයා කළ ලොකුම වරද රටට ආදරය කරන එකයි. අයියා පිළිගන්නා දර්ශනයට අකමැති පිරිසක්‌ ඔහුගෙන් පළිගන්න හදනවා ද කියලා සැකයි. මගේ ලොකු අයියාවත් අසූනවයේදී මෙලෙසම පැහැරගෙන ගියා. එයාට වධ දුන්න හැටි අපි දැක්‌කා. දැන් මගේ පොඩි අයියාටත් ඒ විදිහටම සිද්ධ වෙනවාද කියලා බයයි. එයාට ළමයින් දෙන්නෙක්‌ ඉන්නවා. පුතායි දුවයි අහනවා තාත්තා කෝ කියලා… අපි මොනවද මේ දරුවන්ට කියන්නේ.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සාමාජික චමිර කොස්‌වත්ත මහතා – කුමාර් ගුණරත්නම් සහෝදරයා පස්‌සේ පසුගිය මාස හයකට අධික කාලයක්‌ තිස්‌සේ ආරක්‍ෂක අංශ හඹා ආවා. ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවට ආපු අවස්‌ථාවේදීත් යළි පිටට යද්දීත් ගුවන්තොටුපළේදී රඳවාගෙන ප්‍රශ්න කළා. අපේ පක්‍ෂයේ පළමු සම්මේලනයට සහභාගිවීමට ගුණරත්නම් සහෝදරයා සූදානම්ව සිටියා. කුමාර් ගුණරත්නම්, දිමුතු ආටිගල දෙදෙනාම අසූඅටේ ඉඳලා පූර්ණකාලීනව ජනතා විමුක්‌ති පෙරමුණට වැඩ කළා. ඉන් පස්‌සේ ආටිගල සහෝදරිය ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර සහ කාන්තා කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙස කටයුතු කළා. ඔවුන් දෙදෙනාම සමුළුව වෙනුවෙන් විශාල මැදිහත්වීමක්‌ සිදුකරමින් සිටියේ. මේ පැහැර ගැනීම කළේ අපේ සමුළුව කඩාකප්පල් කිරීම සඳහා බව පැහැදිලියි. සමුළුවට ඔවුන් දෙදෙනා සහභාගි කරවා ගැනීම සඳහා ඔවුන්ගේ නිදහස උදෙසා උපරිම මැදිහත්වීම අප කරනවා. කඩාකප්පල්කාරී ක්‍රියා කොතරම් කළත් අපේ සමුළුව නියමිත පරිදි පවත්වනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට කුමාර් ගුණරත්නම් මහතාගේ ඥතීහු පිරිසක්‌ද සහභාගි වූහ.

මොන කඩාකප්පල් ක්‍රියා කළත් අපේ සමුළුව තියනව. චමීර කොස්‌වත්ත