නූතන දැනුම සමඟ ඉතිහාස හා සාහිත්‍ය දැනුමත් ඉතා වැදගත්

Spread the News

නූතන දැනුම සමඟ ඉතිහාස හා සාහිත්‍ය දැනුමත් ඉතා වැදගත්

– ඇමැති ආචාර්ය සරත් අමුණුගම source:

ශ්‍රී ලංකාවේ සෑම බොදු දරුවකුම දහම් පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බවත් ඉන් ලබන දැනුම පුහුණුව යහපත් පුරවැසියකු ලෙස සමාජගත වීමට මනා පිටිවහලක් ලැබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ පසුගිය දිනක දී සිය කොළඹ දේශපාලන කාර්යාලයේදී දහම් පාසල් ගුරු නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ සෑම බෞද්ධ දරුවකුම තමාට ආසන්නයේ පවතින දහම් පාසල වෙත යැවිය යුතුය. එය වැඩිහිටියන්ගේ හා මවුපියන්ගේ යුතුකමක්. ඉන් ලැබෙන දහම් දැනුම ස්වකීය ජීවිතය අර්ථවත් කර ගැනීමට, යහපත් කර ගැනීමට, සදාචාරවත් කර ගැනීමට, විනයානුකූල කර ගැනීමට බෙහෙවින්ම බලපායි. පාසල් අධ්‍යාපනය ලබන දරුවා ඉරිදා දහම් පාසල තුළින් ලබන දහම් අධ්‍යාපනයෙන් පාසල තුළින් ලබන විනය හා හැදියාව තව තවත් ඔපවත් කරනු ලබයි. විනය නැති සමාජයක් ප්‍රශ්නවලින් ගහණ වෙයි. මිනිසාට නිවැරැදි සේවාවක් ලබා ගැනීමට නම් විනයගරුක සමාජයක් තිබීම ඉතා අවශ්‍යයි. විනය නැති තැන නිවැරැදි සේවයක් මහජනතාවට වන්නේ නැත. අද විනය, සදාචාරය, නීතියට ගරු කිරීම බොහෝ අභියෝගයන්ට ලක්වී තිබේ. කෙසේ වෙතත් දහම් පාසල තුළින් විනය ගරුක ආචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට වන සේවාව ඉමහත් . එම සේවාව හරි හැටි ලැබීමට නම් සිය දරුවන්ව ඉරිදා උදයේ පැවැත්වෙන දහම් පාසල වෙත යැවිය යුතුය. එසේ නොයවා සිටීම එම දරුවන්ට කරන මහත් අසාධාරණයකි. අප කුඩා කාලයේ අපේ මවුපියන් අනිවාර්යෙන්ම දහම් පාසල් අධ්‍යාපනයට අපව යොමුකරන ලදී. ඒ තුළින් ලැබූ අධ්‍යාපනය ජීවිතය පුරාම වැදගත් වූ බව මෙහිදී සිහිපත් කළ යුතුයි.

නූතන සමාජය දෙස බලන විට අපරාධ රැල්ලක් සමාජය තුළ දක්නට ලැබෙනවා. කෙතරම් නීති රීති තිබුණත් ඒවායේ අඩුවක් නැහැ. එසේ අඩුවිය හැක්කේ සමාජයක් තුළ විනය සදාචාරය රැකෙන්නේ නම් පමණයි. විනයක් නැති සමාජයක් දියුණුවට පත් නොවේ. කෙතරම් විශාල ගොඩනැගිලි තැනුවත්, කෙතරම් භෞතික පහසුකම් ඇති කළත්, කෙතරම් නවීන දේවල් පරිභෝජනය කළත්, නවීන යාන වාහන භාවිත කළත් විනය හා සදාචාරය නොමැති මිනිසුන්ගෙන් රටට, රටේ අනාගතයට, සමාජයට, රටේ පැවැත්මට ඵලක් නැත. විනයට, සදාචාරයට අනුගතව ජීවිතය ගෙන යමින් තමන්ගේ වගකීම්, යුතුකම්, කාර්යක්ෂමව ;නාපිරිහෙලා ඉටු කිරීමට අවකාශය උදා වන්නේ පාසල හා දහම් පාසලෙන් ලබන අධ්‍යාපනය තුළින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය ගැන මුළු රටම මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය.

නූතන සමාජයේ බෙහෙවින්ම ශෝක ජනක සිදුවීම් නිරන්තරව දක්නට ලැබේ. බිරිය සැමියාව ඝාතනය කිරීම, දරුවන් මවුපියන් ඝාතනය කිරීම, සිසුන් ගුරුවරුන්ට පහරදීම, කිරි කැටි දරුවා සිය මව විසින් ඝාතනය කිරීම, සිය මව විසින් තම දරුවා ගඟට විසි කිරීම යනාදී දරුණු සිදුවීම් මාලාවක් පසුගිය කාලය මුළුල්ලේම ජනමාධ්‍ය තුළින් අසන්නට කියවන්නට ලැබුණි. මෙලෙස වුයේ ඇයි? එසේ වූයේ මිනිසා ගුණ දහම්වලින් පෝෂිත නොවීමයි.

දරුවන් පොත පත කියවීමට යොමු කිරීමද ඉතා වැදගත්, වැඩදායක පොත් කියවීම තුළින් දරුවන් නිවැරැදිව සිතීමට, නිර්මාණකරණයට, යහපත් සිතුවිලි වර්ධනය වීමට රට පිළිබඳ භක්තිය හා ගෞරවය වැඩි වීමට හේතු වේ. එය යහපත් පුරවැසියන් වීමට, පූර්ණ පෞරුෂයක් ගොඩනැගීමට විශාල රුකුලක් වේ. දරුවන් නූතන දැනුමෙන් සන්නද්ධ වනවා සේම ඉතිහාසය හා සාහිත්‍ය පොත පත මනා ලෙස පරිහරණය කිරීමට පුරුදු පුහුණු කළ යුතුය. එය වැඩිහිටියන්ගේ යුතුකමකි. එසේ සාහිත්‍යයත්. ඉතිහාසයත්, අමතක කොට ගමන් කිරීමෙන් රටකට හෝ තමාටත් යහපත් මාවතක් සකස් කර ගත නොහැකිය. දක්ෂතා සමග මිනිස්කම් උතුරා ගිය ජනතාවක් රටක ඉදිරි අනාගතය සරු කරයි. එසේ නොවන අවස්ථාවල රටත්, ලෝකයත් යුද්ධයට, ගැටුම්වලට, නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩිය. පාලකයාත් ජනතාවත් යහපත් සිතුවිල්ලෙන්, ගුණ නුවණින් යුතුව සිටින විට යුද්ධය වෙනුවට සාමය හා සංවර්ධනය තුළින් රටක් ඉදිරියට ඇදේ. එවිට ජනතාවට පීඩනයෙන් තොරව සතුටින් කල් ගෙවීමට අවකාශයක් සැලසේ.

.