නියෝජ්‍ය නගරාධිපතිගේ ගෝලයන් කළ ආනන්තරීය පාප කර්මය

Spread the News

නියෝජ්‍ය නගරාධිපතිගේ ගෝලයන් කළ ආනන්තරීය පාප කර්මය

2013 පෙබරවාරි මස 10 12:39:23 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

source:

දෙවුර දරාගත් කහ සිවුර ලෙයින් තෙත්වෙන්නට ගතවූයේ තත්ත්පර කිහිපයක් පමණි. සෙත් පිරිතෙන් අවදි වී මහපිරිතෙන් නින්දට යන මිනිසුන් වෙසෙන රටක එදා මෙදා තුර සිදු වූ සහ සිදුවෙමින් පවතින අහස පොළොව නුහුලන අපරාධ ලෙයට ලෙයින් පලිගන්නා ඝාතන කොතෙකුත් ය.
‘‘පින් පුරන හිතක් – පවු නොදුටු අතක්’’ හුදෙක් කලාතුරකින් දකින සිහිනයක් පමණක්ම වෙන තරමට වල් වැදුණු පොළොවක තවත් එක් ඛේදවාචකයක් පිළිබඳව වදන් පෙළගස්වන්නට අපට සිදුවී තිබේ.
ඒ ඉකුත් තුන්වැනිදා රාත‍්‍රියයි. සඳ පහන් රැයක සඳේ පැහැයෙන් බැබළි කහ සිවුර රක්තවර්ණ රුහිරු දහරාවකින් පෙඟී ගියේ ඒ රාත‍්‍රියේ දීය. ඒ වෙද්දී වේලාව රාත‍්‍රි 9.30 පසු වී තවත් තත්පර කිහිපයක් ගෙවී ගොස් තිබුණි.
මොරටුව එගොඩඋයනේ සුනන්දෝපනන්ද විහාරාධිපතිව වැඩ විසූ 46 හැවිරිදි මැටියගහතැන්නේ විමලවංශ හිමියන් ගේ ඝාතනයෙන් එම ප‍්‍රදේශයම ඇලලීගොස් තිබූ ඇසිල්ලෙක අපි ද ඒ බිමට පය තැබුවෙමු.

ඝාතනයට ලක්වූ විමලවංශ හිමියෝ

අනපේක්‍ෂිත මරණයක කම්පනයෙන් ඇලලී ගිය කලෙක මෙන් සිලි සිලි හඬ නඟන බෝපත් අතර ලෙලදුන් තැඹිලි පැහැ ධජ පෙළ පොළොව ලෙයින් තෙත් කළ ඛේදවාචකයක් උදෙසා දැරූ නිහඬ සාක්‍ෂියක් වැන්න. යතිවර දේහය අබියස කඳුළු පිරි නෙතින් වැඩ සිටියේ කාලයක් මුළුල්ලේ සහෝදර බැඳීමෙන් පන්සල් සෙවණේ මැටියගහතැන්නේ විමලවංශ සහෝදර හිමියන් සමග දුක සැප බෙදාගත් හිතමිතුරු වහන්සේ නමකි. උන්වහන්සේ ලියන්ගහවෙල ඥානරතන හිමියන්ය.
03 වැනිදා හවස 5.00ට විතර පන්සලේ පොඩි හාමුදුරුවෝ මල්වලට වතුර දදා ඉද්දී පාතාලයට සම්බන්ධ පුද්ගලයෝ තුන් දෙනෙක් ත‍්‍රීවිල් රථයකින් ඇවිත් පොඩි හාමුදුරුවන්ට පහර දෙන්න උත්සාහ කළා.
අපවත් වුණ ලොකු හාමුදුරුවෝ මේ සිද්ධිය දුටු ගමන්ම දුවලා ගිහින් පන්සලේ ගන්ඨාරය ගහලා තියෙනවා. ගන්ඨාරය ගැහීමත් එක්ක ගම්වාසීන් ආව නිසා මේ පිරිස පැනලා ගියා.
ඒ ආව තුන්දෙනාගෙන් එක් කෙනෙක් හිමි මොරටු නියෝජ්‍ය නගරාධිපති ඞී.එම්. පුෂ්පකුමාරගේ ආසන සංවිධායකවරයෙක්. අනිත් එක්කෙනා යුද හමුදාවෙන් පැනපු එක්කෙනෙක්. අනිත් එක්කෙනා කුඩු හා ගංජා බෙදාහැරීමට සම්බන්ධ පාතාලයත් සමග කටයුතු කරන කාලයක් හිරගතවී සිට මීට මාස දෙකකට පමණ පෙර සිරගෙදරින් ආව කෙනෙක්. ඔවුන් තුන්දෙනාම මේ ප‍්‍රදේශයේ අය. නියෝජ්‍ය නගරාධිපතිගේ ගෝල බාලයෝ.
පොඩි හාමුදුරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධව ලොකු හාමුදුරුවෝ මොරටුව පොලීසියට ගියා පැමිණිලි කරන්න. එදා රෑ බණකුත් තිබුණා. මම බණට යන්න ලෑස්තිවෙලා හිටියේ. ඒ වෙද්දි පන්සලේ දායක පිරිසකුත් සිටියා.
මේ වේලාවේ රාත‍්‍රියේ මේ පිරිස නැවත පන්සලට ආවා. ඒ ආවේ බීමතින්, ඔවුන් ආවේ කඩු පොලූ ආයුධ සහ ඇසිඞ් බෝතල් ද ඇතුවයි.  පන්සලේ සිටි පිරිසටත් තර්ජනය කරමින් හාමුදුරුවන්ටත් තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු ඔවුන් එතැනට ගෙනත් තිබුණේ පන්සල පිටුපස පන්සලට අයත් ඉඩම් බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස අල්ලාගෙන පදිංචිව සිටි සුජිත් සහ රන්දිර යන දෙදෙනා. මේ දෙදෙනා නෑදෑකමින් බාප්පා සහ පුතා වෙනවා. පන්සල කුඩුකරනවා එළිවෙන්න කලින්. පන්සලත් කුඩු කරලා උඹලා මරා දමනවා කියලා මොවුන් අපට තර්ජනය කළා. ඒ වෙලාවේ හත අටක් විතර ආවා.
මේ සිද්ධියෙන් පසු අපට ආරක්‍ෂාව පිළිබඳව ප‍්‍රබල ගැටලූවක් තිබුණා. මම හතට බණට ගිහින් ආවට පසුව නැවත මමත් ලොකු හාමුදුරුවොත් පොඩි හාමුදුරුවොත් මොරටුව පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්නට. ඒ රෑ 8ට විතර. එහෙම පැමිණිල්ල දාන්න ගියාම ලොකු හාමුදුරුවෝ කීවා මේ විදියේ අනාරක්‍ෂිත වාතාවරණයක් තියෙන්නේ ඒ නිසා පන්සලට යන්න අපට පොලිස් නිලධාරින් දෙදෙනෙක් දෙන්න කියලා. ඒත් ඇත්තටම පොලිසියේ නිලධාරින් මේ සිද්ධිය ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැහැ.
ආරක්‍ෂාවට එන්න පොලිස් නිලධාරින් දෙදෙනෙක් දුන්නෙත් නැහැ. අප නැවත පැමිණෙන මාර්ගයත් වෙනස් කරලා පන්සලට එන්න ආවා. පන්සලට එන්නට පෙරත් තව සිදුවීමක් වෙලා තිබුණා. ඉහත කී මැර පිරිස නැවත පන්සල ඇතුළටම ඇවිත් පන්සලේ සිටි දායක පිරිසත් තමන්ගේ භාරයට අරගෙන මන්න, කඩු, පිහි, ආයුධ, ඇසිඞ් බෝතල් පෙන්වා ඔවුන් බිය ගන්වා තිබෙනවා.
අප පැමිණිල්ල කොට නැවත කාරෙකෙන් පන්සලට ආවා. ඇවිත් කාරෙක නවත්වනවාත් සමගම අප දැක්කා පන්සල් බිමේ කවුදෝ කට්ටියක් ඉන්නවා. ඒ වේලාවේ ලොකු හාමුදුරුවෝ කීවා පන්සල කිට්ටුව ගෙදරක යුගාසන බණක් ලෑස්ති කරලා තිබුණ නිසා ඒ ඇවිත් තියෙන්නේ අමරසිරි මහත්තයාගේ ගෙදරින් කියලා හිතලා ඒ අයට අවශ්‍ය දේවල් දෙන්න කියලා. ඒ වෙලාවේ පොඩි හාමුදුරුවෝ කීවා නෑ ලොකු හාමුදුරුවනේ ඒ ඉන්නේ අර සුජියාගේ කට්ටිය කියලා. ඒ කියනවාත් සමගම 12ක් විතර කට්ටිය කාරෙක වටකරගත්තා. ඊට පසු රියදුරුගේ දොර ළඟට ඇවිත් එක්කෙනෙක් බෝම්බයක් වගේ එකක් පෙන්නුවා. අපි ඒ මොහොතේ ඇතුළතින් කාරෙකේ දොරවල්වල අගුල් දා ගත්තා.
බෝම්බය වගේ එක දැක්කම බය වුණ රියදුරු කාර් එකේ දොර ඇරියා. දොර ඇරගෙන එළියට පැන්නා. හය හත් දෙනෙක් ඔහුව ඇදගෙන ඔහුට ඉතා අමානුෂික ලෙස පහර දුන්නා. ඒ අතරේ සුජිත් සහ රන්දිර දෙන්නා ලොකු හාමුදුරුවෝ සිටි පැත්තෙන් ඇවිත් ලොකු හාමුදුරුවන්ගේ ඔළුවට මන්නයෙන් ගැහුවා. ඔවුන්ට  ඕන කළේ හාමුදුරුවෝ එළියට ඇදලා ගන්න. ඒ වෙලාවේ හාමුදුරුවන්ගේ සිවුර ගැලවිලා ආවා ඔවුන්ගේ අතට. සිවුර ගැලවී එනවාත් සමගම ඉතා බීමතින් සිටි ඔවුන් මදක් ඉවතට විසිවූ අතර ඒ අවසරයෙන් ලොකු හාමුදුරුවෝ ඔවුන්ගෙන් ගැලවී දුවන්න පටන් ගත්තා.

 

මැර පිරිසට අඩි 10ක් විතර පරතරයක් තියාගෙන හාමුදුරුවන් දිව්වා. හාමුදුරුවෝ දිව්වේ පාරට. මමයි පොඩි හාමුදුරුවොයි දෙන්නත් දොරවල් ඇරගෙන එළියට පැන්නා. මම ඉස්කෝලේ තාප්පෙන් පැනලා දායකයකුගේ ගෙදරට ගිහින් මොරටුව පොලිසියට දුරකථන ඇමතුමක් දුන්නා. විහාරගෙය පසුකරනවාත් සමගම ලොකු හාමුදුරුවෝ ලිස්සලා වැටිලා තියෙනවා.
ලිස්සලා වැටුණට පසුව අපේ ලොකු හාමුදුරුවෝ වටකරගත් මේ පිරිස ලොකු හාමුදුරුවන්ට පහර දුන්නා. ලොකු හාමුදුරුවෝ කෑ ගහද්දි මන්නා, කඩුවලින් කොටලා තියෙනවා.
පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව අපේ ලොකු හාමුදුරුවන්ගේ ශරීරයේ කැපුම් කෙටුම් තුවාල 193ක් තිබුණා කිනිසිවලින් පපුවේ තුන් පොළකට ඇනලා තිබුණා. ඒ තුවාලවලින් විශාල ලෙස ලේ ගලා ගිහින් තිබුණා. අපේ කාරෙකින්ම හාමුදුරුවන්ව රෝහලට අරන් යද්දිත් උන් වහන්සේට පණ තිබුණා. කතා කළා. අන්තිමට වතුර පොදක් ඉල්ලූවා. එදා දෙවැනි වතාවටත් පැමිණිල්ල කරන්න මොරටුව පොලිසියට ගිහින් පන්සලට පැමිණෙන්න පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව ඉල්ලූ වෙලාවේ ඒ ආරක්‍ෂාව ලබා දුන්නා නම් අපේ නායක හාමුදුරුවෝ මේ විදියේ වද බන්ධනවලට ලක්වෙන්නෙ නෑ.
පාතාලයේ මැර බලයට අපේ ලොකු හාමුදුරුවන්ගේ ඉරණම යටත් වෙන්නේ නෑ, මේ විදිහට අපවත් වෙන්න ලොකු හාමුදුරුවන්ට සිද්ධවෙන්නේ නෑ.
පන්සලට අයිති ඉඩමෙන් බාගයක් විතර සුජීව ගුණරත්න නමැති පුද්ගලයා ඇතුළු පවුලේ අය බලෙන් අල්ලා ගෙන සිටියා. මීට මාස 6 කට පමණ පෙර මොරටුව නියෝජ්‍ය නගරාධිපති සුජීවට පන්සලට අයත් ඉඩමේ ගෙයක් හදා දීලා රෑ තමන්ගේ නිල රථයෙන්ම ඇවිත් තව පාතාල කට්ටියකුත් සමග පැමිණ ඔවුන් පදිංචි කරවා රතිඤ්ඤාත් පත්තු කරලා තමන්ගේ දේශපාලන හයිය පෙන්නලා තමයි ගියේ. මේ ප‍්‍රදේශයේ කුඩු, ගංජා බෙදාහැරීම පිටුපස ඉන්නෙත් මේ දේශපාලනඥයා ඇතුළු ගෝල බාලයින්. අපි එදා ඔය සිද්ධිය ගැන පැමිණිලි කළාම සිද්ධිය ගැන විභාග කරන්න ලොකු හාමුදුරුවන්ට පොලිසියට එන්න කීවා. ඒ පෝය දවසකම උදේ 10.00 ට. ඒ ගියාම මොරටුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකතුමාගේ නිල කාමරයේ කුඩු, ගංජා පාවිච්චි කරන 30ක 40ක පිරිසක් හිටියා. මේත් මොරටුව නියෝජ්‍ය නගරාධිපතිගේ පිරිස. එදා මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තුමාගේ නිල කාමරයේ දීම මේ පිරිස ලොකු හාමුදුරුවන්ට හිරිහැර කළා. එවන් සිද්ධියක් වෙලා තිබියදිත් තමා එදා අපේ හාමුදුරුවන්ට ආරක්‍ෂාවට පොලිස් නිලධාරින් දෙදෙනෙක් නුදුන්නේ.

කම්පා වූ ජනතාව

පොලිසියට මිනිස්සු යන්නේ තමන්ගේ ජීවිතය හෝ දේපල පිළිබඳව ආරක්‍ෂාව ඉල්ලගෙන. පොලිසියේ උසස් නිලධාරියකුගේ නිල කාමරයේ ඔහු ඉදිරියේ මේ විදියට ගංජා – කුඩු විකුණන – බොන, දේශපාලනඥයකුගේ හයිය ගත්ත පිරිසකට කවර හෝ ආගමික පූජකවරයකුට හිරිහැර කරන්න පුළුවන් නම් මොකක්ද මේ රටේ තියෙන නීතිය. සදාචාරය. මේක ඛේදවාචකයත් නෙවෙයිද කියන ප‍්‍රශ්නය මේ රටේ නායකත්වයෙන් පොලිස්පතිතුමාගෙනුත් අප විමසිය යුතු ප‍්‍රශ්නයක්. මේ ඉරණම හෙට තවත් කෙනෙකුගේ ඉරණම වෙන්න පුළුවන්.
දේශපාලකයකුගේ ගෝලයන් මේ ප‍්‍රදේශයේ බොහෝ අයට පීඩා කළා. දරුවන් කුඩු, ගංජාවලට පුරුදු කළා. සේරම කළේ දේශපාලන හයියෙන්. පොලිසිය මේ ඔක්කොටම ඉඩදීලා නිහඬ පිළිවෙතක හිටියා. මොරටුව පොලිසියේ හොඳ නිලධාරිත් ඇති. ඒත් වැඩිදෙනෙක් මේ දේශපාලන බලයට ඔළුව නමපු අය.
මේ ප‍්‍රදේශයේ ක‍්‍රිස්තියානි බෞද්ධ අය ඉතා සහජීවනයෙන් ඉන්නවා. ඔවුන් භේද කරන්නත් මේ පිරිස උත්සාහ කළා. මේ ප‍්‍රදේශයේම නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ බලය තහවුරු කරන්න ඔහු උත්සාහ කළා. මේ සිද්ධියට පෙර තුන් වතාවක් මේ පිරිස පන්සලට පහර දුන්නා. මේ මිනිස්සුන්ට නිදැල්ලේ පහර දෙනවා. කෝ නීතියක්. නීතියක් නෑ. මේකටද දේශපාලනය කියන්නේ. පොලිසියට ගියා කියලා නීතියේ පිළිසරණක් ලැබුණෙ නෑ. මම මේ කතා කරන්නේ මෙතෙක් ලද අත්දැකීම් අනුව ඉතා වගකීමෙන්. මොරටුව පොලිසිය හැමවිටම මග හැරියා. ඔවුන් නිසි ලෙස නීතිය ක‍්‍රියාත්මක කළේ නෑ. අපරාධයට ඉඩ හැර බලා සිටියා. පන්සලට ඇවිත් මිනිස්සු මරන්න හදද්දි පොලිසියට පැමිණිලි කරන්න ගියාම මාසයකට විතර පසු එය සමථ මණ්ඩලයට දැම්මා.
අපේ ලොකු හාමුදුරුවෝ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙක්. උන්වහන්සේ මේ ප‍්‍රදේශයේ බෞද්ධ කිතුනු ජනතාව අතර ලොකු සහජීවනයක් ඇති කළා. ප‍්‍රදේශයට ලොකු සේවයක් කළා. පන්සල දෙපැත්තේ පල්ලි දෙකක් තියෙනවා. පල්ලි යන මිනිස්සු පන්සලටත් ගියා. පන්සලට ආව මිනිස්සු පල්ලියටත් ගියා. එකට දන්සල් දුන්නා. නියෝජ්‍ය නගරාධිපති උත්සාහ කළා මේ ප‍්‍රදේශයේ තිබුණු මේ සහජීවනය නැති කරලා දාන්න. කුඩු, ගංජා සමග දරුවෝ ටික වනසලා දාන්න. අපේ ලොකු හාමුදුරුවෝ මේ අත්තනෝමතික දේශපාලනඥයාට විරුද්ධ වෙන්න බය වුණේ නෑ. පන්සලේ ඉඩම් කොල්ලයට විරුද්ධව උන්වහන්සේ සාධාරණව කතා කළා.
මොරටුව පොලිසියට නොයෙක්වර මේ සම්බන්ධ පැමිණිලි 11ක් කළත් විභාග කළේ පැමිණිලි 5යි. මොරටුව නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ මැරයන් පොලිසියට බලපෑම් කළා. පොලිසිය ඊට යටත් වුණා. මේ ඝාතනය එහි ප‍්‍රතිඵලයක්. පොලිසිය නිසි ලෙස නීතිය ක‍්‍රියාත්මක නොකිරීමේත්, අපරාධකරුවන්ට හිස නැමීමේත් අත්තනෝමතික දේශපාලන හයියට සහ පාතාලයට ඉඩදීමේත් ප‍්‍රතිඵලයක්. ඒ ටික කියන්න මම බයවෙන්නෙ නෑ. මේ පන්සලේ වැඩ සිටිය අපේ ජීවිතවලටත් මේ අවදානම තියෙනවා. සාධාරණව පරීක්‍ෂණ පවත්වන්න. වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. දැන්වත් නීතිය සාධාරණව අපක්‍ෂපාතීව ඉටුකරන්න. අපගේ ආරක්‍ෂාව තහවුරු කරන්න. අවසන් වශයෙන් මම ඉල්ලන්නේ එච්චරයි යැයි උන් වහන්සේ පැවසූහ.
දිනෙන් දින හිස ඔසවන ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ බලය, පාතාල බලය, අද මැඬලිය යුතු තැනකට පැමිණ තිබේ.
විහාරාධිපති ඝාතන පුවත ඇසූ උන්වහන්සේගේ මස්සිනා වූ බදුල්ල පස්සර ප‍්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි එස්.එම්.ආර්. ටිකිරි බණ්ඩාර

ලියන්ගහවෙල ඥානරතන හිමි

මහතා එම ශෝකය දරාගත නොහැකිව හෘදයාබාධයකින් මියගියේය. උන්වහන්සේගේ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන් පිරිස එපමණකට කම්පාවට පත්ව සිටිති.
මොරටුව නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ වෙද්දී රිමාන්ඞ් භාරයේ පසුවෙයි. සුජීව ගුණරත්න සහ රන්දිම ප‍්‍රනාන්දු යන දෙදෙනාගේ හිසට වෙඩි තබා මරා දමා තිබියදී ඔවුන්ගේ සිරුරු මොරන්තුඩුව දැල්කඩ වෙල්යායක් අසල දී සොයා ගනු ලැබිණි.
එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙක් මේ වෙද්දි කළුතර කැලිඩෝ වෙරළ තීරයේ දී සහ මොරටුවේ සෝදිසි මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන ඇති අතර කැලිඩෝ වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගත් තිදෙනා ඍජුවම මීට සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. එමෙන්ම ඝාතනයට යොදාගත් මන්නා පිහි හතරක් ඝාතනයට ලක්වූ හිමිනමගේ සිවුරේ ඔතාගෙන ගොස් පානදුර පලම අසලින් බොල්ගොඩ ගඟට විසිකර ඇත. ඝාතනයෙන් පසු සැකකරුවන් පළාගිය ත‍්‍රීරෝද රථය කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසල අත්හැර දමා ගොස් තිබිය දී සොයා ගත්තේ ද සැකකරුවන්ගෙන් ම ලද තොරතුරු අනුවය.
මැටියගහතැන්නේ විමලවංශ නාහිමියන් සියල්ලෙන් සදහටම සමුගෙන හමාරය. එහෙත් නීතියේ කාර්යභාරය මෙතෙකින් නිමාවී නැත. නීතිය විසින් අපරාධකරුවන් විෂයෙහි දෙන තීන්දුව උන්වහන්සේගේ මරණයට සාධාරණය ඉටුකරන තීන්දුවක් විය යුතුය.

සටහන – සංජීවිකා සමරතුංග / ඡායාරූප – ඇලෙක්සැන්ඩර් බාලසූරිය