Spread the News

ඇයගේ පිටේ බුදුරුව

source:
බුදුරජාණන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවන්න යෑයි වදාළහ. බුදුරදුන් දෙසූ ඒ උතුම් ධර්ම ගංගාවේ දිය දෝතක්‌ වන මේ දෙසුම අනුව කම්පා නොවන්නටත්, ඉවසා සිටින්නටත් හැකියාවක්‌ බුදුරදුන් වැඩි දේශයේ පෘථග්ජන අපට හැකියාවක්‌ ඇත්දැයි සිතෙන තරමටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ “විකෘතියක්‌” බවට පත් කරගන්නා අධමයන් අපට ඉඩක්‌ නොතබන්නේය.

දියුණු සමාජයක අපට දැකිය හැකි ප්‍රධාන ලක්‌ෂණය වන්නේ තමන්ගේ ආගමට තරමින්ම අන්‍යාගම්වලටද ගරු කිරීමයි. එහෙත් අවාසනාවකට මෙන් සිංහල බෞද්ධ දේශයේ, බෞද්ධයන් පමණක්‌ මේ ආකාරයට හැසිරෙන අතරවාරයේ ලෝකය පුරා බුදු දහමට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට නිගරු කරන, මේ දහම විකෘති කරන පිරිස්‌ විවිධ වේශයෙන් ඒ සඳහා විවිධ උපක්‍රම යොදයි.

පසුගිය කාලය පුරාම එවැනි සිදුවීම් ගණනාවක්‌ වාර්තා වූ අතර පසුගිය සතියේ ආසන්නතම උදාහරණය වාර්තා වූයේ මහනුවර ප්‍රදේශයෙනි.

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හලක ආහාර ගනිමින් සිටි සුදු ජාතික තරුණියක හා තරුණයකු දෙස අවට අසුන්ගෙන සිටි පිරිසකට අවධානයෙන් බලන්නට සිත් වූයේ ඔවුන් විදේශිකයන් වූ නිසාම පමණක්‌ නොවේ. ඒ තරුණියගේ පිට ප්‍රදේශයේ අඩක්‌ පමණ වැසී ගත් “පච්චය” හේතුවෙනි. පච්චයක්‌ කොටා තිබීම කාලයේ හැටියට අරුමයක්‌ නොවුණද අප පෙර කී පිරිස ඒ දෙස අවධානය යොමු කළ හේතුව ඊට වැඩි දෙයකි.

සුදු ජාතික තරුණිය හැඳ සිටි ඇඳුම, පිට ප්‍රදේශය හොඳින් නිරාවරණය වූවකි. පිරිස අවධානයෙන් බැලුවේ ඒ තුළින් ඉස්‌මතු වී පෙනෙන රූපය දෙසය. ඔවුන් මොහොතකට ගල් ගැසිනි. පිටේ කොටා තිබුණේ බුදුරුවකි. විශාල ප්‍රමාණයේ බුදු රුවකි. තවත් විකාර රූප ගණනාවක්‌ වුවද බුදු රුව ඉතා පැහැදිලිව දකින්නට තිබිණි.

පිරිස කළේ වහා මහනුවර පොලිසියේ සංචාරක අංශයට ඇමතුමක්‌ ලබාගැනීමයි. පොලිසිය පැමිණෙන විටත් විදේශීය යුවළ ආහාර ගනිමින් සිටි අතර පොලිසිය කාරණාව පැහැදිලි කර ඔවුන්ගෙන් ඒ ගැන විමසීමක්‌ කළේය. පැටි්‍රනා ඉරේන් බ්‍රොන්කෝ නමැති ඒ තරුණිය නෙදර්ලන්ත ජාතිකයෙකි. ඇය පැවසූ ආකාරයට ඇය මහනුවරට පැමිණ ඇත්තේ දළදා මාළිගාවද දැක බලා ගැනීමටය.

පච්චය පිළිබඳව විමසා සිටීමේදී ඇය සඳහන් කළේ එය බුදු දහමට (ශ්‍රී ලංකාවේ ආගමට) නිගාවක්‌ ගෙන දෙන එකක්‌ බව ඇය නොදැන සිටි බවය. එමෙන්ම ඇය එය සිය සිරුරේ ඇඳ ගැනීම් කර ඇත්තේ නෙදර්ලන්තයේදී බවද ඇය කියා තිබිණි. විසිහය හැවිරිදි මේ නෙදර්ලන්ත ජාතික කාන්තාව කී දේ අසා රුපියල් දහසක දඩයක්‌ ගසා ඇය නිදහස්‌ කර හැරීමට පොලිසිය කටයුතු කර තිබුණේ නීතිමය වශයෙන් වෙනත් කළ හැකි කිසිවක්‌ නොමැති වූ බැවිනි.

සිදුවීම එතෙකින් අවසන් වුවද පච්චය පිළිබඳව පැනනගින ගැටලුව ඉන් අඩපණ නොවේ. සියලු ආගම්වලට අයත් ලාංඡන හා වෙනත් සලකුණු ආදිය පිළිබඳව දැනුවත් භාවයක්‌ නැති අයෙකු වී නම් ඒ කලාතුරකිනි. එවැන්නකු කිසිවිටෙකත් එවැනි ආගමකට නිගාදෙන සලකුණක්‌ පච්ච කොටනවා තබා එවැන්නක්‌ සිතීමට හෝ පෙළඹෙන්නේ නැත.

මේ බෞද්ධ රටේ විදේශිකයන්ගේ මෙවැනි නොපනත්කම් ඇති තරමින් පසුගිය කාලය පුරාම අපට දක්‌නට ලැබිණි. සංවිධානාත්මකව අනෙක්‌ ආගම් දෙස නිගරු වන අන්දමේ දේවල් ප්‍රචාරය කිරීමට ඇතැම් සංවිධාන, ආයතන ක්‍රියාත්මක වන බව කිව යුතු නොවේ. ඒ තරුණිය නොදැන සිටියද බුදුරුව එසේ යොදා ගැනීමේ ක්‍රියාවලිය ඊට අයත් එකක්‌දැයි කිසිවෙකුට සිතේ නම් එයද සාධාරණය.

අප විශ්වාස කරන්නේ මෙය ඉතා ඉක්‌මනින් නිවැරැදි කළ යුතු දෙයක්‌ බවය. නොදන්නා කමට බුදු රුව පච්චා කොටා ගන්නා පිරිස මෙන්ම එය බුදුරුව යෑයි නොදන්නා නිසා “කෙටූ” බව කියන අයද තව බුරුතු පිටින් නුදුරේදීම බිහිවනු ඇත. ජාත්‍යන්තර වශයෙන් ඒ ඒ රටවල තානාපති කාර්යාල හා වගකිව යුතු සංවිධාන මගින් මේ තත්ත්වය නිවැරැදි කිරීමටත් ඒ ඒ රටවල වගකිවයුතු අංශ සමග සාකච්ඡා කොට බුදුරුව අනිසි ලෙස භාවිත කිරීම වැළැක්‌වීමට පියවර ගැනීමද කළ යුත්තකි.

උදේශ සංජීව ගමගේ