Spread the News

දළදා මාලිගාව අවට ඇති සුරාසල් වහන්න

2013 පෙබරවාරි මස 24 13:19:11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

source:

 

මහනුවර ඓතිහාසික නගරයකි. සමස්ත බෞද්ධ ජනතාවගේ පමණක් නොව දෙස් විදෙස් අබෞද්ධ ජනතාවගේද, ගෞරවාදරයට හා පූජනීයත්වයට ලක්වූ ”ලෝක උරුම නගර සංස්කෘතියේ ලෝක උරුමයක් වූ ශ්‍රී දළදා මාලිගාව නිසාම මේ නගරය ලොව පුරා මුල්තැනක් ගනී.
ලෝක පූජිත ඓතිහාසික නුවර පෙරහර හෙවත් කැන්ඩි පෙරහර නරඹන්නට නුවර පුරවරයට පය නොගසපු විදේශිකයකු නැති තරම්ය.
මෙරට රාජවංශය නිමාවන්නේ ද මේ ඓතිහාසික පුරවරයෙනි. ඒ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික‍්‍රම රාජසිංහ නිරිඳුන් ඉංග‍්‍රීසි පාලකයන්ගේ ග‍්‍රහණයට පත්වී සිරකරුවකු වීම නිසාය.
ඉන්පසු කන්ද උඩරට හෙවත් ”කැන්ඩි” ලෙස ඉංග‍්‍රීසින් හැඳින්වූ මහනුවර පුරවරය ඉංග‍්‍රීසි ආණ්ඩුවේ පාලනයට නතුවිය. ඉංග‍්‍රීසීන්ගේ විනෝදය තකා තානායම් හෝටල් මත්පැන් අලෙවි ස්ථාන මහනුවර නගරයේ බිහිවිය. මහනුවර නගරයේ මත්පැන් අලෙවිසල් ආරම්භ වූයේ ඉංග‍්‍රීසි පාලනයත් සමග බව ඉතිහාසයේ මෙන්ම අද ද පවතින මතයකි. ඉංග‍්‍රීසින්ගේ විනෝදය සතුට උදෙසා විවිධ නම්වලින් නගරයේ මත්පැන් අලෙවිය සමග නිවාඩු නිකේතනද බිහිවිය.
දළදා වහන්සේ වැඩ සිටින අඩවියේ ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින දළදා මාලිගය ඉදිරිපිට මත්පැන් අලෙවිය සමග හෝටල් ආරම්භ විය.
දළදා මැදුර ඉදිරිපිටම ඇති ප‍්‍රධානතම මත්පැන් අලෙවි ස්ථාන දෙකක් පිහිටා ඇත්තේ රැජිණ හෝටලය හෙවත් ක්වීන්ස් හෝටලයේය. එය සෑම රජයකම පාලකයෝ මැනවින් දැන සිටි අතර ඒ සෑම රාජ්‍ය පාලකයකුම ක්වීන්ස් හෝටලයට ගොඩ වැදී ඇත.
මහනුවර නගරයේ මත්පැන් අලෙවිසල් නවයක් (09) වසා දැමිය යුතු බවට ජාතික සංඝ සම්මේලනයේ භික්‍ෂූන් වහන්සේලා ඉකුත්දා ශ්‍රී දළදා සමිඳුන් අභියසදී අධිෂ්ඨාන ක‍්‍රියාවක් කළහ.
ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරය තුළ පමණක් රජය විසින් නිත්‍යානුකුල බලපත‍්‍ර ලබාදී රජයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීතිරීති යටතේ පාලනය වන මත්පැන් අලෙවි සල් 45 ක් පමණ තිබේ. දළදා මාලිගාව පිහිටි අවට ඇති නිත්‍යානුකූල බලපත‍්‍ර සහිත මත්පැන් අලෙවි මධ්‍යස්ථාන මෙසේය.
ක්වීන්ස් හෝටලයට අයත් මත්පැන් අලෙවි කුටි (බාර්) දෙකකි. ඓතිහාසික මල්වතු මහා විහාරය ආසන්නයේ ”ස්විස් හෝටලය” තුළ බාර් දෙකකි. ධර්මරාජ විද්‍යාලයට යාමට ඇති ලූවී පීරිස් මාවතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුට අයත් බාර් එකක් පිහිටා ඇත.
දළදා වීදියේ සුපිරි වෙළෙඳ ආයතනයක ඉතා ප‍්‍රසිද්ධ මත්පැන් අලෙවි සලක් ඇත. එම වීදියේ ඉහළ මාලයක තවත් සුපිරි මත්පැන් අලෙවි මධ්‍යස්ථානයකි. මෙහි විදේශිකයෝ නිතර නිතර සමූහ වශයෙන් බීර පානය කරති.
රජ වීදියේ සුපිරි තත්ත්වයේ මත්පැන් අලෙවිය සමග සුපිරි නවාතැන් පොළකි. මෙහි නිත්‍යානුකූලව රජයේ නියමයන් මත මත්පැන් අලෙවිය දෙස් විදෙස් සැමට කරයි.
කොළඹ වීදියේ ඉතාම ජනාකීර්ණ ස්ථානයක වික්ටරි නමින් මත්පැන් අලෙවි මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යයි. මෙම ස්ථාන සියල්ල රජයේ සුරාබදු අණ පනත් අනුව නියමිත වේලාවන්ට විවෘත කර, නියමිත වේලාවන්ට වසාදමන ඉතා ප‍්‍රසිද්ධ ස්ථානය.
කොළඹ වීදියේ මත්පැන් අලෙවි සල් පහක්ද, වඩුගොඩපිටියේ වීදියේ එකක්ද, දළදා වීදියේ ඔරලෝසු හන්දියට ආසන්නව තවත් මත්පැන් අලෙවි සලක්ද, මහනුවර පොලිස් මූලස්ථානයට යාබදව කටුකැලේ වීදියේ සුපිරි මත්පැන් හලක් සමග සුපිරි ආපල ශාලා සංකීර්ණයක්ද පේරාදෙණිය මාර්ගයේ මත්පැන් අලෙවි සල් දෙකක්ද පවත්වාගෙන යයි.
මේ සියලූ මත්පැන් අලෙවි ස්ථාන නිත්‍යානුකූලව දිස්ති‍්‍රක් ලේකම්වරයාගේත්, සුරාබදු කොමසාරිස්වරයාගේත් නිසි අවසරයෙන් පවත්වාගෙන යන පාරිභෝගික ජනතාව (මත්පැන්වලට ලොල්වූ) වැඩිපුර ගැවසෙන ස්ථෘන වශයෙන් හැඳින්විය හැකිය.
මහනුවර ඇසළ පෙරහර ගමන් කරන දේව වීදිය අසල ආපන ශාලාවක මත්පැන් හලක් කාලයක් තිස්සේ තිබිණි. එහෙත් පසුකලෙක එය වසා දැමීමට රාජ්‍ය මට්ටමෙන් පියවර ගනු ලැබීය.
වසරකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් රජයට බදු ගෙවන ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ම මහනුවර නගරයේ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන පවත්වාගෙන යති.

අස්ගිරි මහා නාහිමි

මහනුවර නගරයේ අති විශාල ජනතාවක් දිගු පෝලිම්වල රැඳී සිට පොරකමින් තෙරපෙමින් මත්පැන් වර්ග මිලදී ගන්නා සුපිරි වෙළෙඳ ආයතනයක්ද ශ්‍රී දළදා මාලිගාවට ආසන්නව දළදා වීදියේ පිහිටා ඇත.
මහනුවර නගරයේ මත්පැන් අලෙවි සල් ඉවත් කිරීම සම්බන්ධ මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති සේන දිසානායක මහතා (එජනිස) දරන්නේ මෙවන් මතයකි.
නගරයේ මත්පැන් අලෙවි සල් වැසීමෙන් මේ නගරයට යන එන සංචාරකයන්ටත් විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ වගේම නීති විරෝධී මත්පැන් ජාවාරමටත් ඉඩක් ලැබෙනවා. මහනුවර නගරය සංචාරක පුරයක්. මේ නගරයේ හෝටල් කීයක් තිබෙනවාද සංචාරකයන් සඳහාම වෙන්වූ මේ ස්ථානවල තිබෙන මත්පැන් අලෙවිය තහනම් කළොත් සංචාරකයෝ නගරයේ නතර වේවිද? මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මතට තිත වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම ගැන.  අද ප‍්‍රසිද්ධියේ දුම්පානය කරන එක නතර වෙලා. බස් රියේ, දුම්රියේ රෝහල් පරිශ‍්‍ර තුළ අද දුම්පානය කරන්නේ නැහැ. ආණ්ඩුව ඒකට එරෙහිව නීතියක් ගෙනාව ප‍්‍රසිද්ධියේ දුම්පානය කරන්නන් පොලිසියෙන්, සුරාබදු අංශයෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරල දඩ මුදල් නියම කරනවා.
මත්පැන් පානය කරල මහනුවර නගරයේ අද ප‍්‍රසිද්ධියේ අශෝභනව හැසිරන්න බැහැ. මත්පැන් පානය කරල පාරේ වැටවල එල්ලී ඉන්න බැහැ. පොලිසියෙන් අල්ලගෙන යනවා. ඒ නීතිය ඉතා හොඳයි. ඒත් නගරයේ තිබෙන මත්පැන් අලෙවිසල් වසන එකට මම එකඟ නැහැ.
ලංකාවට එන සංචාරකයන් නුවර සංචාරක හෝටල්වල නතර වෙනවා. මේ අයට එම හෝටල්වල පහසුකම් දිය යුතුයි. මේවා වහන්නේ කොහොමද? නගරයේ මත්පැන් අලෙවි ස්ථාන වැසුවොත් ආර්ථිකයට විශාල හානියක් වෙනවා.
මහනුවර නගරයේ මත්පැන් අලෙවි ස්ථාන තිබෙනවා අපේ නගර සභාවෙන් අවසර දීලා නොවෙයි ඒවා ආරම්භ කළේ. වසර පණහකට වැඩිය පැරණි මත්පැන් අලෙවි ස්ථාන නගරයේ තිබෙනවා.
මහනුවර නගරයේ තිබෙන සෑම සංචාරක හෝටලයකම මත්පැන් අලෙවි මධ්‍යස්ථානයක් තිබෙනවා. නගරයේ තිබෙන ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් හයක හතක පමණ මත්පැන් අලෙවිය සිදුවෙනවා. මේ හෝටල් තිබෙන්නේ ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේමයි.
මහනුවර නගරයේ තිබෙන මත්පැන් අලෙවි මධ්‍යස්ථාන රැසකට නිත්‍යානුකූල බලපත‍්‍ර ලබාදී ඇත්තේ නිසි ක‍්‍රමවේදයක් මත බවද මහනුවර නියෝජ්‍ය පුරපති සේන දිසානායක මහතා (එජනිස) පැවසීය.
මහනුවර නගරයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකුවන අශෝක මුණවීර මහතා:- මහනුවර නගරයේ මත්පැන් අලෙවිසල් වැසීමට මහා සංඝයා වහන්සේලා කරන ලද ඉල්ලීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
මහනුවර නගරයේ තිබෙන ”බාර් නවයක්” වසා දමන්න කියන එක අසාධාරණයි. නේද? මේ නගරයේ බාර් 45ක් තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට තිබෙන හෝටලයේ බාර් දෙකක් තිබෙනවා. වැව රවුමේ තිබෙන සංචාරක හෝටලයක බාර් දෙකක් තිබෙනවා. මේ සියල්ල තිබියදී නගරයේ තිබෙන බාර් නවය පමණක් වහන්න කියන්නේ කොහොමද?
අපි කණගාටු වෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවට සම්බන්ධ හාමුදුරුවරු මෙහෙම තීන්දු තීරණ ගන්න එකට. පාර්ලිමේන්තුවේ ස්වාමීන් වහන්සේලා එළියට ඇවිත් කෑ ගහනවා බාර් වහන්න කියලා. ඊට වඩා හොඳනැද්ද පාර්ලිමේන්තුව තුළදී මේ සම්බන්ධව හඬක් නගන එක.
මහනුවර නගරයේ පවත්වාගෙන යන්නේ නීති විරෝධී මත්පැන් අලෙවි මධ්‍යස්ථාන නොවෙයි. මේ සියලූ බාර්වලට රජය විසින් නිත්‍යානුකූල බලපත‍්‍ර නිකුත් කර තිබෙනවා. මේවා නිත්‍යානුකූල නැහැ කියන්නේ කෙසේද? මහනුවර දිසාපති අත්සන් කරලයි මේ මත්පැන් බලපත‍්‍ර දෙන්නේ. සුරාබදු කොමසාරිස්වරයාගේ අණ පණත් අනුවයි මේවා පවත්වාගෙන යන්නේ කිසිම මත්පැන් අලෙවි ආයතනයකට හොර බලපත‍්‍ර දීලා නැහැ. එහෙම හොර බලපත‍්‍ර නිකුත් කර තිබෙනවා නම් ඒවාට වැරදිකරුවන් වන්නේ ඒ ව්‍යාපාර කරගෙන යන අය නොවෙයි.
බලපත‍්‍ර නිකුත් කළ රජයේ වගකිවයුතු නිලධාරීන්ද එහෙම නම් හොර බලපත‍්‍ර දීලා තිබෙන්නේ. නගරයේ පවත්වාගෙන යන මත්පැන් අලෙවි සල් සියල්ලටම රජය නිත්‍යානුකූල බලපත‍්‍ර ලබාදී තිබෙනවා. මහනුවර නගරයේ සමහර සුපිරි වෙළඳසල් තිබෙනවා. මෙම ස්ථානවල නීති විරෝධීව බලපත‍්‍ර නොමැතිව විදේශීය මත්පැන් බෝතල් අලෙවි කරනවා. ඒවා හොර ඒවා බව කිව යුතුයි. රජයට වාර්ෂිකව බදු මුදල් ගෙවමින් මත්පැන් අලෙවි කිරීම සඳහාද නිත්‍යානුකූල බලපත‍්‍ර ලබාගැනීමට වාර්ෂිකව විශාල මුදලක් ගෙවමින් තමයි මේ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ.
රුපියල් ලක්‍ෂ තුනේ සිට ලක්‍ෂ දෙක දක්වා බලපත‍්‍ර ගාස්තු වශයෙන් මත්පැන් අලෙවි මධ්‍යස්ථාන පවත්වාගන යන්නන් රජයට මුදල් ගෙවලයි බලපත‍්‍ර ලබා ගන්නේ. ඒවා අලූත් කරන්නේ මාසිකව රුපියල් තුන් ලක්‍ෂ අසූ දහසක මුදලක් ගෙවල මේ ව්‍යාපාරය කරගෙන යන ස්ථානයක් මහනුවර නගරයේ තිබෙනවා. ආණ්ඩුවෙම ඉන්න මන්ත‍්‍රී හාමුදුරුවරු රජයට ලැබෙන ආදායම නැති කරන්නද මේ සදානම් වන්නේ කියල හිතෙනවා.
මහනුවර නගරයේ ඉන්න හැම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ට මේ නීතිය බලපානවානම් ඒකට කවුරුත් එකඟ වෙයි.
නීති විරෝධීව පවත්වාගෙන යන මත්පැන් අලෙවි ස්ථානවලට ආණ්ඩුවෙන් කිසිම දවසක බලපත‍්‍ර දෙන්නේ නැහැ.
මහනුවර නගරයේ ඇතැම් ස්ථානවල රහසිගත විදේශීය මත්පැන් අලෙවි කරන ස්ථාන කිසිදා රජයට බදු ගෙවන්නේ නැති බවත් මේ සියල්ල නීති විරෝධි ඒවා බවත් ව්‍යාපාරික අශෝක මුණවීර මහතා වැඩිදුරටත් කීය.
අස්ගිරි පාර්ශවයේ මහා නායක, රාජකීය පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි ජාතික සංඝ සම්මේලනයේ භික්‍ෂුන් වහන්සේලා හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ.
අද රට පුරාම නගරවල මත්පැන් අලෙවිසල් විවෘත කරල. ඒවට නීති ක‍්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. පූජා නගර, පාසල් සිද්ධස්ථාන අසල තිබෙන මත්පැන් අලෙවිසල් වහන්න බැහැ. ඒවාට ඇතැම් දේශපාලනඥයන්ගේ සහාය ලැබෙනවා. මේ අය තමයි හැම තැන බාර් අරින්න සහාය දෙන්නේ. මේවා එරෙහිව කථා කරන අයට දාමරිකයන් දාලා ඒවා මැඩ පවත්වනවා.
දේශපාලනඥයන් තමන්ට වැඩ කරන අයට සුරාසල් බලපත‍්‍ර ලබාදෙනවා. ඒ අය තමන්ට අවශ්‍ය තැන්වල ඒවා විවෘත කරනවා. පාසලද, පන්සලද කියන එක එම සුරාසල් අරින අයට වැදගත් නැහැ. මේවා ගැන බලධාරීන් දැනුම්වත් කළත් වැඩක් නැහැ.
ශ්‍රී දළදා මාලිගාව අවට මත්පැන් අලෙවිසල් ඉවත් කරන්න කියල අප කීපවරක් ඉල්ලා තිබෙනවා. නමුත් කිසිවෙක් හෝ ඒවා ක‍්‍රියාත්මක කළේ නැහැ. අපි මේවා ගැන කොපමණ කෑ ගැහැව්වත් දැඟලූවත් වැඩක් නැහැ.
මේ මත්පැන් උවදුර රටට මහා පිළිලයක්. බොහෝ මිනිස්සු දුක් මහන්සියෙන් කීයක් හරි දවසට හොයා ගන්නවා. ඒක අරගෙන ගිහින් බාර්වලට දීලා මත්පැන් බොනවා. පසුව ගෙදර ඇවිත් තමන්ගේ බිරිඳට දරුවන්ට ගහල රණ්ඩු වෙනවා. අන්තිමට ගෑනු, දරුවෝ බඩගින්නේ. ඒ නිසා මේ උවදුර නැති කරන්න සැම දෙනා එකතු වී කටයුතු කළ යුතුයි.
මහනුවර නගරයේ තිබෙන නීති විරෝධි මත්පැන් අලෙවි සල් වසා දැමීමට බලකිරීම සම්බන්ධයෙන් ජාතික සංඝ සම්මේලනය විශේෂ සංදේශයක් සකසා එකී සංදේශය මල්වතු අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා වෙත බාරදී මෙම කාර්යය සඳහා මහා නාහිමිපාණන් වහන්සේලාගේ පූර්ණ සහාය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළහ.
ජාතික සංඝ සම්මේලනයේ ප‍්‍රධාන අනුශාසක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මහනුවර නගරයේ දළදා මාලිගාව ආශ‍්‍රිතව පවත්වාගෙන යන මත්පැන් අලෙවි සල් ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුහ.
අපි මහනුවර නගරයේ සිද්ධස්ථාන හා පාසල් අවට තිබෙන නීති විරෝධී මත්පැන් අලෙවිසල් නවයක් (09) පිළිබඳව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා යවා තිබෙනවා. දැනට එසේ දන්වා යවා සති එකහමාරක් පමණ කාලයක් ගත වෙනවා. ඒත් පිිළිතුරක් නැහැ. ඒ නිසා මේ නීති විරෝධී සුරාසල් නවය ඉවත් කිරීමේ කාර්යය පිළිබඳව ජනමතයක් ගොනැගීමට කටයුතු කරනවා. මෙම මත්පැන් අලෙවිසල් වසා දමන තෙක්ම අපි අඛණ්ඩව ක‍්‍රියාත්මක වෙනවා. අපේ විරෝධයක් වනවා.
අනුරාධපුර ශ්‍රී පාදස්ථානය වැනි පූජනීය ස්ථානවලට ආසන්නව පවත්වාගෙන යන සියලූම සුරාසල් වසා දැමීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා. මේ සම්බන්ධව ඉදිරි සති දෙක ඇතුළත යම්කිසි ප‍්‍රතිචාරයක් නොලැබුණොත් මහජනයා සමග එක්ව දැඩි ක‍්‍රියා මාර්ගයක් ගන්නවා. මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ද, ජාතික සංඝ සම්මේලනය උන්වහන්සේ වෙත ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධව විශේෂ අවධානය යොමු කරමින් මහනුවර නගරයේ ශ්‍රී දළදා මාළිගාව අවට තිබෙන මත්පැන් අලෙවි සල් ඉවත් කිරීමේ කාරණය සම්බන්ධව ජාතික සංඝ සම්මේලනය වෙත සිය ආශිර්වාදය පළ කළහ.

දියවඩන නිළමේ (ශ්‍රී දළදා මාලිගාව) ප‍්‍රදීප් නිලංග දෑල මහතා:- දළදා මාලිගාව ආසනනයේම තිබූ බාර් දෙකක් වසා දමන්න අපි බලධාරීන්ගෙන් කළ ඉල්ලීම ඉටුවුණා. ශ්‍රී දළදා මාලිගාව අවට මත්පැන් අලෙවි සල් වසා දැමිය යුතුයි. මගේ මැදිහත්වීම මත දළදාමාලිගාව අසලම තිබූ මත්පැන් අලෙවිසල් දෙක වැස්සුවා. දැනට තිබෙන මත්පැන් අලෙවිසල් වසනවා නම් රජය ඒ සඳහා අවශ්‍ය අණපනත් අනුව ඒක කරනවා ඉතා නම් හොඳයි. කලින් මා කළ ඉල්ලීම මත දළදා මාලිගාව ආසනනයේම තිබූ බාර් දෙක වැසීම ගැන රජයට ස්තූතිය පුද කරනවා.

ජේ.ඒ.එල්. ජයසිංහ