Spread the News

ජිනීවාහිදී කොටි ඝාතකයන්ගේ
මානව හිමිකම් ගැන හඬ නගති

source:
බාලචන්ද්‍රන් කියන්නේ ළමා සොල්දාදුවෙක්‌.
ඔහුව ඝාතනය කළ බවට චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ
ඊළම් කල්ලිය සමග එකතුවී දක්‌වන රංගනයට මා අවස්‌ථාව
පැමිණි විටදී නිසි ප්‍රතිචාරය දක්‌වනවා
– මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා


කොටි ඩයස්‌පෝරාව කෝපයට පත් කළ සිටින ඡායාරූපය. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඇෆ් ගනිස්‌තාන් මැරයින් බළකායේ ජනරාල් ඇලන්

බ්‍රිතාන්‍ය කොටි සමුළුවේදී ආර්. සම්පන්දන් සහ චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ එක්‌වී සිටි අන්දම

එක්‌සත් ජාතීන්ගේ ලාංඡන සහිත කොටි පෝස්‌ටරය ජිනීවාහිදී ප්‍රදර්ශනය කර තිබූ අයුරු

ජිනීවාහි මානව හිමිකම් සමුළුව ආරම්භ වූයේ පසුගිය සඳුදායි. එහෙත් ඊට පැය 24 කට පෙර කොටි සංවිධානයේ ඝාතකයන් දෙදෙනකු වූ නඩේසන් හා පුලිතේවන්ව ජාත්‍යන්තර ප්‍රජාව වෙත යොමු කරමින් මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රාන්සස්‌ හැරිසන් නමැත්තිය ශ්‍රී ලංකා හමුදාව අහිංසකයන්ව මරා දමා ඇති බවට චෝදනා නැගුවාය. ඇය ඒ සඳහා වන්නියේ සිට ලන්ඩන් නුවරට පැනගිය කොටි ක්‍රියාකාරීහු දෙදෙනකු සාක්‍ෂි ලෙස ඉදිරිපත් කළාය. මින් එක්‌ අයෙක්‌ පුලිතේවන්ගේ රැකවලකු ලෙස ක්‍රියා කළ කොටියෙකි. අනිත් තැනැත්තා වන්නියේ පාසලක කොටි ගුරුවරයෙකි. ප්‍රාන්සස්‌ හැරිසන් මේ බොරු සාක්‍ෂිකරුවන් දෙදෙනාගෙන් යටපත් වූ සුදු කොඩි කතාව සනාථ කිරීමට වැඩිදුරටත් උත්සාහ කළාය. නඩේසන්, පුලිතේවන් ඇතුළු කොටි කණ්‌ඩායමක්‌ හමුදාවට යටත් වූ අයුරු තමා දුටු බව එම කොටි රැකවලා ප්‍රාන්සස්‌ හැරිසන්ට පවසා ඇත. එහෙත් සුදු කොඩි නඩුව විභාග වන අවස්‌ථාවේ එකී කොටි රැකබලා මතුවූයේ නැත. එහෙත් සිව් වසරකට පසු ඔහු මතු විය. ඒ මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්‌ථාවේයි.

මෙයට වසර ගණනකට පෙර ප්‍රභාකරන් හමුදා බලයෙන් යුත් සුපිරි දක්‍ෂයෙක්‌ යෑයි කියමින් ඔහුව ජාත්‍යන්තර තලයට ගෙන ගියේ ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප්ය. 2009 ජනවාරි මස ඇය පැවසුවේ මා ආපසු ශ්‍රී ලංකාවට එන්නේ ප්‍රභාකරන් මුළු උතුරු නැගෙනහිරම තම අණසකට ගැනීමෙන් පසු ඔහුගේ ජීවිත කතාව ලිවීමට බවත් ඇගේ එකම සිහිනයක්‌ එය බවත්ය.

එහෙත් ප්‍රභාකරන් ඝාතනවීමත් සමගම ඇනීටා ජපානයට ගියාය. එදා සිට අද වන තෙක්‌ ඇය කට ඇරියේ නැත. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජපානයට ගිය අවස්‌ථාවේ ඇනීටා නිහඬව සිටියාය. දැන් ඇනීටාගේ තැන ගෙන ඇත්තේ ප්‍රාන්සස්‌ හැරිසන්ය. ඇය කොටි මිනීමරුවන්ගේ මානව හිමිකම් ගැන හඬ නඟමින් යුක්‌තිය ඉල්ලා සිටී. මේ පසුබිම මැද සතුරන් අද ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌වී සිටී. මේ සතුරන්ගෙන් රැසක්‌ කොළඹ යාපනයේ ක්‍රියාත්මක වේ.

මෙයට වසර කීපයකට පෙර කොටි රූකඩය ලෙස ක්‍රියා කළ ආර්. සම්පන්දන් ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ මේ සතියේදී ලන්ඩන් නුවරට ගොස්‌ කොටි හිතවාදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ කොටි සමුළුවට එක්‌විය. එහිදී චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ ද එක්‌ විය.

එසේම ශ්‍රීධරන් සහ සෙල්වම් අඩෙයිකලානන්දන් ද ජිනීවා වෙත පැමිණ තිබේ.

එහෙත් ද්‍රවිඩ සන්ධානය දේශපාලන පක්‍ෂයක්‌ නිසා එහි නියෝජිතයන්ට මානව හිමිකම් සමුළුව නියෝජනය කිරීමට හිමිකමක්‌ නැත.

එසේ වුවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම විදේශ තානාපතිවරුන්ව හමුවීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇත්තේ ජිනීවාහි මානව හිමිකම් ක්‍රියාකාරියකු යෑයි හඳුන්වන කොටි ත්‍රස්‌තයෙකි.

මෙහිදී ශ්‍රීධරන් ඇතුළු කණ්‌ඩායම ජිනීවාහිදී සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට සහාය දැක්‌වීමයි. මෙලෙස කොටි හිතවාදීන් විසින් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අවස්‌ථාවේ ඇමරිකානු යූ. එස්‌. ඒඩ් ආධාර ක්‍රමය යටතේ පේදුරුතුඩුවේ ඉදිකෙරෙන අයිස්‌ කම්හලක කටයුතු නිරීක්‍ෂණය කිරීමට මෙරටට පැමිණ එකී සංවිධානයේ නියෝජ්‍ය සහකාර පරිපාලකවරිය වූ ඩෙනිසේ රොලින්ස්‌ පසුගිය බදාදා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අසීරු තත්ත්වයකට මුහුණපෑවාය. මෙම මාධ්‍ය සාකච්ඡාවට කැඳවා තිබුණේ තෝරාගත් පාර්ශ්වයන් පමණකි. “වන්නි මෙහෙයුමේදී විශාල පිරිසක්‌ මියගිය බවට කොටි ජාලය චෝදනා නගනවා යෑයි ඇගෙන් විමසූ විට ඊට ප්‍රතිචාරය දැක්‌වූයේ මියගිය සංඛ්‍යාව කොතෙක්‌දැයි සනාථ කිරීමට ඇමරිකාවට නොහැකි බවයි.

එහෙත් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා ගෝලීය ද්‍රවිඩ සංසදයේ කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු කීප දෙනකුත් වන්නි මෙහෙයුමේදී 40000 සිට 100,000 ක්‌ දක්‌වා මියගිය බවට සාවද්‍ය චෝදනා එල්ල කර තිබිණි. එම සංඛ්‍යාව පෙබරවාරි 28 දා වන විට 147000 ක්‌ දක්‌වා වැඩි කර තිබිණි.

මේ අතර ඩොලර් අරමුදල් ලබන්නේ යාපනයේ ද්‍රවිඩයන් පිරිසක්‌ ජිනීවා නුවරට ගෙනයැමේ සැලසුමක්‌ දියත් කර ඇත. මෙම සැලසුමේ අරමුණ වී ඇත්තේ උතුරේ හමුදාව යුද අපරාධ කළ බවටත් කාන්තාවන්ට අතවර කිරීම් හා පුද්ගලයන් රැසක්‌ අතුරුදන් කිරීමටත් ක්‍රියා කළ බවට මානව හිමිකම් කොමිසම හමුවේ බොරු සාක්‍ෂි කීමට බව හෙළිවී ඇත.

රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් විසින් මානව හිමිකම් සමුළුවට අදාළව පවත්වන සාකච්ඡාවලදී මෙම බොරු සාක්‍ෂිකරුවන් කණ්‌ඩායම ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

මේ පසුබිම මැද එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇමරිකානු මැරින් බළකායට සම්බන්ධ විශ්වවිද්‍යාල පදනම පැවැත්වූ උත්සවයකදී ත්‍රස්‌තවාදය මර්දනය කිරීම මැයෙන් දේශනයක්‌ පැවැත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු කොටි ජාලය හා කොටි හඬ නගන මැතිව් රසල් ලී නමැති ඇමරිකානු මාධ්‍යවේදියා දැඩි කම්පනයට පත්වූහ.

ඇමරිකානු මැරයින් බළකා උත්සවයේදී ශවේන්ද්‍ර සිල්වා ඇමරිකානු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ඇන්ටොනින් ස්‌කේලියා සහ ඇෆ්ගනිස්‌තානයේ ඇමරිකානු මැරයින් බළකායේ ප්‍රධානියා වූ ජනරාල් ඇලන්ස්‌ සමග ඡායාරූපයකට පෙනී සිටීම ද ඔවුන්ගේ කෝපයට ලක්‌විය.

මානව හිමිකම් සමුළුව පැවැත්වෙන සමයේ ශවේන්ද්‍ර සිල්වා ඇමරිකානු මැරයින් බළකායට දේශන පවත්වනවා යෑයි දක්‌වමින් කොටි හිතවාදීහු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරනු ලැබීය.

මේ නිසා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ද කනගාටුවට පත්වී මැරින් බළකාය සඳහා දේශනයක්‌ පැවැත්වීමට ශවේන්ද්‍ර සිල්වා කැඳවූයේ කෙසේදැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත.

මේ තත්ත්වය මැද ඇමරිකානු මැරින් හමුදාව මෙරට ඇමරිකානු තානාපතිනි මිචෙල් සිසන් හා සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ කෙරේ තැකීමක්‌ කර නැතැයි කොටි ඩයස්‌පෝරාවට අවබෝධ විය.

මෙහිදී ශවේන්ද්‍ර සිල්වා ඇමරිකානු මැරීන් භටයන්ට පාඩමක්‌ ද ඉගැන්වීය. හෙතෙම මෙසේද පැවසීය. “අතීත පාඩම් අධ්‍යයනයට ලක්‌ කළ විට ත්‍රස්‌තවාදය මර්දනය කළ හැකිය. ඔබලා සතුව අධිතාක්‍ෂණික උපාංග පවා තිබෙනවා. එහෙත් සම්ප්‍රදායක යුද්ධ කිරීමේ ක්‍රමවේදයට වඩා ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වැදීම වෙනස්‌ ක්‍රමවේදයක්‌. ත්‍රස්‌තවාදීන් සිටින ප්‍රදේශවලට ඇතුළුවී සතුරන්ව මරා දමා සලකුණු තැබීමකින් තොරව පැනඒමේ හැකියාවක්‌ ශ්‍රී ලංකා යුද හමුදාව සතුව පැවතියා යෑයි ඔහු එහිදී කීවේය.

මේ අතර යාපනයේ සිවිල් සංවිධාන යෑයි හඳුන්වා ගන්නා පිරිසක්‌ ඉන්දීය මහ කොමසාරිස්‌ අශෝක්‌ කාන්තා හමුවී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවට ඉන්දියාව සහාය දක්‌වන්නැයි ඉල්ලා ඇත. මෙයට ප්‍රතිචාර දැක්‌වූ මහ කොමසාරිස්‌වරයා “අපිටත් පපුවක්‌ තියෙනවා එතනින් එහාට මට මුකුත් කියන්න බැහැ”යෑයි කියා සිටියේය.

මෙහිදී මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු වව්නියාවේ ගම්මානවලට සිංහල නම් යොදා ඇති බවට ද චෝදනා කළහ.

මේ අයුරින් උතුරේ කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන අවස්‌ථාවේ කොළඹ තවත් රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිටු 7 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු ඇත්තේ ද්‍රවිඩ ජනතාවගේ නිවාස ඇතුළත් කිලෝමීටර් පහක ප්‍රදේශයේ බව සියයට 80 ක පිරිසක්‌ පවසන බව දක්‌වා ඇත.

එහෙත් පනාගොඩ හමුදා මූලස්‌ථානය ඇත්තේ ජනතාව වෙසෙන ප්‍රදේශයක නොවේද? එසේම මෙයට සමගාමීව එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු රැසක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත සාවද්‍ය වාර්තා යොමු කර ඇත.

ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය විසින් පිටු 141 කින් යුත් සාවද්‍ය වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා හමුදාව ස්‌ත්‍රී පුරුෂ 75 කට අතවර කළ බවට චෝදනා එල්ල කරනු ලැබීය. එහෙත් මෙරට පොලිසිය වෙත එකී පිරිස කිසිදු පැමිණිල්ලක්‌ කර නොතිබිණි. එසේනම් ඒ සාවද්‍ය වාර්තා සකස්‌ වී ඇත්තේ කොළඹ එන්.ජී.ඕ. කල්ලියෙනි.

ශ්‍රී ලංකා හමුදාව විසින් අතවර සිදු කළ බව කියන මේ ද්‍රවිඩ කණ්‌ඩායම දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා එලෙස සාවද්‍ය චෝදනා නගා තිබේ.

මේ නිසා ජිනීවාහිදී ත්‍රි පාර්ශ්වයක්‌ එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන බව පැහැදිලිවම සනාථ විය. ඒ ඇමරිකාව හා බටහිර රටවල් රාජ්‍ය නොවන සංවිධාන සහ කොටි ඩයස්‌පෝරාවයි.

මෙය තවදුරටත් සනාථ වූයේ චැනල් 4 රූපවාහිනියේ නෝපයර් සෝන්, ප්‍රාන්සස්‌ හැරිසන්ගේ යුද අපරාධ චෝදනා සහ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ වාර්තාව ද ප්‍රකාශයට පත්වූයේ ලන්ඩන් නුවරින්වීමයි.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් එස්‌තර් බ්‍රිම්මර් නමැත්තිය ශ්‍රී ලංකාව තම වගකීම ඉටු කරන තුරු මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු නතර වන්නේ නැහැ යෑයි කළ ප්‍රකාශය සම්බන්ධව ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ කවුන්සලර් ප්‍රියානි වික්‍රමසිංහ දැඩිව ප්‍රතිචාරය දැක්‌වූවාය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලය අනුගමනය කරන අසාධාරණ, ඒකපාර්ශ්වික සාවද්‍ය හා සදාචාර විරෝධී පිළිවෙත කෙරේ දැඩි ලෙස විරෝධය පාන බව ඇය එහිදී කියා සිටියාය. ඇය මේ ප්‍රකාශය කිරීමට පෙර ජිනීවා නිත්‍ය නියෝජිතවරයා විසින් මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රෙම්ගුයින් හෙන්සල් වෙත ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව තුළ තිරගත කිරීමට සැලසුම් කර ඇති කැල්ලම් මැක්‌රේගේ නෝපයර් සෝන් චිත්‍රපටය නතර කරන්නැයි ඉල්ලා සිටියේය. දේශපාලන අරමුණු මත මානව හිමිකම් කවුන්සලයට අයත් රටවල්වලට එරෙහිව කටයුතු කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ නොදිය යුතු යෑයි එම ලිපියෙන් දක්‌වා තිබිණි.

මේ අතර නවසීලන්තයේ ටැමිල් ඇක්‌ෂන් ප්‍රන්ට්‌ නමැති සංවිධානයේ කොටි ක්‍රියාකාරියකු වන තේවරාජන් නමැත්තා රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් වෙත සංදේශයක්‌ යවමින් ශ්‍රී ලංකා රජය කොටි නායක ප්‍රභාකරන්ගේ පුත්‍රයාව මරා දමා ඇති නිසා ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දක්‌වන්නැයි ද ඉල්ලා ඇත.

ඒ බව පෙබරවාරි 25 ට පෙර තමාට දන්වන ලෙස තේවරාජන් ඉල්ලීමක්‌ කළත් ජනාධිපති පුටින්ගේ කාර්යාලයෙන් නිසි ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

මෙම පසුබිම මැද ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත තමරා කුමානායගම් මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ පසුපස සිටින්නේ ඇගේ කාර්යාලයටත් එකී කාර්ය මණ්‌ඩලයේ නඩත්තුවටත් අරමුදල් සපයන රටවල් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පසුබිමේ සිටින බව හෙළි කළාය.

මෙවන් වාතාවරණයක්‌ යටතේ පසුගිය බදාදා ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ ඒකපාර්ශ්විකව ක්‍රියා කරන බවට චෝදනා නැගීය. අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් මානව හිමිකම් සමුළුව අමතමින් ඇගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්‌ කරනු ලැබීය.

මේ අතර කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් ලන්ඩනයේ පැවැති කොටි සමුළුවේදී ශ්‍රී ලංකාවේ විශාල ලේ වැගිරීමක්‌ සිදුවූ බව කියා සිටියේය. එසේම ද්‍රවිඩ අරගලය පුළුල් විය යුතු බවත් ඊට සිංහලයන් සම්බන්ධ කර ගත යුතු බවද ඔහු තවදුරටත් පළ කළේය.

කීර්ති වර්ණකුලසූරිය