Spread the News

චෝදනා 15කට වැරදිකරු වූ
ප්‍රභාගේ පාසල් මිතුරාට සිර දඬුවම මාසයයි

සමන්ත ඉලේපෙරුම
source:Divaina,2013/05/17
එල්.ටී.ටී.ඊ. සංවිධානයට විදේශීය රටවලින් අවි ආයුධ මිලදී ගැනීම හා එම ත්‍රස්‌තවාදී කටයුතු සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් නොකිරීමේ චෝදනා 15 කට වැරැදිකරු වූ කොටි නායක ප්‍රභාකරන්ගේ පාසල් මිතුරාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ඊයේ (16 දා) බරපතළ වැඩ සහිත මාසයක සිර දඬුවමක්‌ නියම කළේය.

නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රයක්‌ කියවා දීමෙන් පසු වරද පිළිගැනීම මත මෙසේ මසක සිර දඬුවමක්‌ නියම වූයේ යාපනය, වැල්වැටිතුරේ පදිංචිකරුවකු වූ ජෙයසුන්දරම් යෝගනාදන් නමැති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලය භාරව සිටි අයකුටය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ ශමීන්ද්‍ර වික්‍රම මහතා සහ විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා දක්‌වා සිටි කරුණු කෙරෙහි සැළකිලිමත් වෙමින් විත්තිකරුට එරෙහි චෝදනා 15 ට එක්‌ චෝදනාවකට මාසය බැගින් මාස 15 ක සිර දඬුවමක්‌ නියම කරන බවට සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළ විනිසුරුවරයා මානුෂීය හේතූන් මත සිර දඬුවම මාසයකින් එක්‌ වර ගෙවී යන ලෙසට නියම කරන බවත් සියලු චෝදනාවලට විත්තිකරුට වසරක කාලයක්‌ පුනරුත්ථාපනයට යොමු කරන ලෙසත් නියෝග කළේය.

විත්තිකරුට නියම කළ මාසයක සිර දඬුවමෙන් පසු ඔහුව සුදුසු පුනරුත්ථාපන කඳවුරකට යොමු කරන ලෙසද විත්තිකරුගේ සිර දඬුවම ඇත්ත වශයෙන්ම මාසයක කාලයක්‌ විය යුතු බවට බන්ධනාගාර අධිකාරිවරයාට විශේෂයෙන් දන්වා යවන ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

2005 ජනවාරි මස 01 දාත් 2007 සැප්තැම්බර් මස 08 වැනිදාත් අතර කාලයේදී කොළඹ, වවුනියාව, වැල්වැටිතුරේ හා සිංගප්පූරුවේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, ශන්මුගසුන්දරම් තායිතාස්‌කරන් නොහොත් කරන් කනගරාජා රවිශංකර් නොහොත් ශංකර් සමග එක්‌වී යුදමය කටයුතු සඳහා භාවිත කිරීමට යුද උපකරණ ඇනවුම් කොට ඒවා කොටි සංවිධානයට ලබාදෙමින් ශ්‍රී ලංකාව තුළ සාහසික ක්‍රියා ඇතිවීමට කුමන්ත්‍රණය කරන ලදැයි විත්තිකරුට එරෙහි නීතිපතිවරයා විසින් මෙහි චෝදනා ගොනු කොට තිබිණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම්වලට අවශ්‍ය අති නවීන යුද උපකරණ හා උපාංග ඇතුළු තාක්‍ෂණික කොටස්‌ විදේශීය රටවලින් ඇනවුම් කර ගෙන්වීමට කටයුතු කරන ලදැයි චෝදනා 15 ක්‌ යටතේ විත්තිකරුට එරෙහි චෝදනා ගොනු කොට තිබිණි.

විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලැප්ටොප් පරිගණකයක්‌, ඡායාරූප කීපයක්‌, විද්යුත් ලිපි, භාණ්‌ඩ ඇනවුම්පත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ නඩු ගොනු කීපයක්‌ ඇතුළු නඩු භාණ්‌ඩ 07 ක්‌ චෝදනා පත්‍රය සමග සලකුණු කොට තිබූ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ ආචාර්ය රුවන් වීරසිංහ, නාවික කොමදොaරු රුවන් ප්‍රශාන්ත ඇන්තනි, ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාසයේ නිලධාරීන් ඇතුළු සාක්‌කිකරුවන් 7 දෙනකු නම් කර තිබිණි.

විත්තිකරුට එරෙහි නඩු විභාගය ඊයේ (16 දා) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශමීන්ද්‍ර වික්‍රම මහතා කරුණු දක්‌වමින් විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රය “තොරතුරු හෙළිදරවු නොකිරීම” උධෘතය යටතේ සංශෝධනය කර යළි ගොනු කරන බවත් සිදුවූ වැරැදිවලට පශ්චාත්තාප වී වරද පිළිගැනීම මත චෝදනා පත්‍රය එසේ සංශෝධනය කරන බවත් කියා සිටියේය.

විත්තිකරු විසින් මීට පෙර අවස්‌ථාවේදී අධිකරණය හමුවේ සිය කැමැත්තෙන් කළ ප්‍රකාශය තුළින් ඔහු විදේශීය රටවලින් කොටි සංවිධානයට ආයුධ මිලදී ගැනීම් සිදුකරමින් එහි ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට සම්බන්ධව සිටිය ද පසුව ඒ පිළිබඳව දැඩි ලෙස පසුතැවිලි වන බවත් කොටි නායක ප්‍රභාකරන් සමග පාසල් වියේ සිට ඇසුරු කළ ද ඔහුගේ අන්තවාදී ක්‍රමවේදයන් හෙළා දැක විරුද්ධ වූ බවද දන්වා ඇති බව පැවසූ රජයේ නීතිඥවරයා එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත සහාය පළ කරන දෙස්‌ විදෙස්‌ පදිංචිකරුවන්ට එවැනි කටයුතුවලට එක්‌ නොවන ලෙසට ආයාචනා කරන බවද පැවසුවේය.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ ගොනු කර ඇති මෙවැනි චෝදනා පත්‍ර විභාගයකදී සාක්‌කි කැඳවීම ඉතා අපහසු කටයුත්තක්‌ බව පෙන්වා දුන් ශමීන්ද්‍ර වික්‍රම මහතා විත්තිකරුගේ ප්‍රකාශයත්, වරද පිළිගැනීමත් සළකා බලා අවම සිර දඬුවමක්‌ පනවමින් ඔහුව පුනරුත්ථාපනයට යොමු කරන ලෙසට ඉල්ලා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්‌වමින් ත්‍රස්‌තවාදී කටයුතුවලට අදාළව අත්අඩංගුවට ගත් මීට වඩා ප්‍රබල පුද්ගලයන්ට සමාව ලබාදී ඇති අතර ඔවුන්ගෙන් ඇතැමුන් අද ජාතික දේශපාලනයට ද එක්‌ වී ඇති බවත් විත්තිකරු වරද පිළිගෙන සත්‍ය ප්‍රකාශ කිරීම මත යළි සාමකාමී ලෙස ජනසමාජයට එක්‌වීම සඳහා සහනයක්‌ ලබාදෙන ලෙසටත් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

විත්තිකරුගේ අයිරිස්‌ ජාතික බිරිඳ හා දරුවන් තිදෙනා සමග එක්‌වීමට ඔහුට යළි අවස්‌ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා පොලිස්‌ අත්අඩංගුවට පත්වූ විත්තිකරු මේ වන විට වසර 7 ක්‌ පමණ ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වී ඇති බවත් දඬුවම් නියම කිරීමේදී ඒ පිළිබඳව සැළකිලිමත් වී ලිහිල් දඬුවමක්‌ හෝ පුනරුත්ථාපනයට යොමු කිරීමක්‌ සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැළකිලිමත් වූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනාවන්ට උපරිම හෝ අවම දඬුවමක්‌ සඳහන් වන්නේ නැති බවත් කෙසේ වුවත් ඔහු වසර 7 ක්‌ පමණ රක්‌ෂිත බන්ධනාගාරගතව සිටීම දඬුවම් නියම කිරීමේදී සළකා බැලිය යුතුව ඇති බවත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

විත්තිකරුට එරෙහිව ගොනු කර ඇත්තේ අපරාධමය චෝදනා බවද ත්‍රස්‌තවාදී සංවිධානයකට සහාය දක්‌වා ඇති හෙයින් මෙය සාමාන්‍ය නඩුවක්‌ ලෙස ගැනිය නොහැකි බවද අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී අධිකරණය අවධානය යොමු කරන්නේ ඔහු ස්‌වේච්ඡාවෙන් කළ ප්‍රකාශය හා ඉන් අනාවරණය වන කරුණු බවද පැවසුවේය.

අපරාධ නඩු විභාගයක දඬුවම් පැනවීමේදී කළ වරදට අවංකව පශ්චාත්තාප වී සමාව ඉල්ලා සිටීම පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බැවින් විත්තිකරුගේ ප්‍රකාශය හා වරද පිළිගැනීම මත ඔහුට එක්‌ චෝදනාවකට මාසය බැගින් චෝදනා 15 ට මාස පහළොවක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ නියම කරන බවත් මානුෂීය හේතූන් මත එකී සිර දඬුවම එකවර ගෙවී යන ලෙසට නියම කරන බවත් දන්වා සිටියේය.

සියලු චෝදනාවන්ට වසරක කාලයක්‌ පුනරුත්ථාපනය සඳහා සුදුසු කඳවුරකට යොමු කරන ලෙසත් පැනවූ සිරදඬුවම එකවර ගෙවී යන ලෙසට නියම කර ඇති බැවින් ඇත්ත වශයෙන්ම සිර දඬුවම මාසයක කාලයක්‌ බවත් විශේෂයෙන් සඳහන් කළ විනිසුරුවරයා නිදහස්‌ වී ගිය පසු සාමකාමී ලෙස ජීවත්වන ලෙසට විත්තිකරුට අවවාද කළේය.