ගව ඝාතනය තහනම් කරනු – ඉන්දරතන හිමියෝ ගිණිතියා ගනිති

Spread the News

ගව ඝාතනය තහනම් කරනු – ඉන්දරතන හිමියෝ ගිණිතියා ගනිති

May 24, 2013 | 717 views

Bowatte-Indarathana-thera-02සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ජාතික හෙළ උරුමයේ හිටපු පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ තත්ත්වය බරපතල බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප‍්‍රකාශ කළා. ගිනි ඇවිලීම නිසා උන්වහන්සේගේ ශරීරයෙන් 95%කට ආසන්න ප‍්‍රමාණයක් දරුණු ලෙස පිළිස්සීමට ලක්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළේ. අද (24) පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළඳා මාලිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආවේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින්. කෙසේ වෙතත්, බෝවත්තේ ඉන්දරතන හිමියන් මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ තවදුරටත් සඳහන් කළා.

සිරුරට ගිනි තබා ගැනීමට පෙර ශී‍්‍ර දළඳා මාලිගාව ආසන්නයේ සිටි මාධ්‍යවේදීන් පිරිසකට බෝවත්තේ ඉන්දරතන හිමියන් ලිපි දෙකක් ලබාදී තිබුණා. ඉන් එක් ලිපියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලියා තිබු අතර, අනෙක් ලිපිය ශී‍්‍ර දළඳා වහන්සේ වෙත සිදුකරන ප‍්‍රකාශයක් ලෙස සටහන් කර තිබුණා. උන්වහන්සේ එම ලිපි දෙකෙන් ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබූ අතර, එහි ප‍්‍රධානම ඉල්ලීම වී තිබුණේ ශී‍්‍ර ලංකාවෙන් ගව ඝාතනය තුරන් කරන ලෙසයි. කෙසේ වෙතත්, දළඳා සමිඳුන් වැඳපුඳා ගැනීමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාව බලාසිටියදීම ඔවුන් විශ්මයට පත්කරමින් උන්වහන්සේ හදිස්සියේම සිරුරට ගිනි තබාගත් බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ.

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වෙන්නේ මනාප 3,664 ක් ලබාගෙන සන්ධාන ලැයිස්තුවේ 07 වන ස්ථානයට පත්වෙමින්. කෙසේ වෙතත්, අවසන් සභාවාර 07 ට සහභාගී නොවීම නිසා උන්වහන්සේගේ මන්තී‍්‍ර ධුරය අහෝසි වී තිබුණා.

පසුව බෝවත්තේ ඉන්දරතන හිමියන් සිංහල රාවය සංවිධානය සමග එක්වනවා. පසුගියදා දෙහිවල පැවති එහි සමුළුවද උන්වහන්සේ අමතා තිබුණා. එම සංවිධානයේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන උන්වහන්සේ අද දිනයේ මෙලෙස සිරුරට ගිනි තබා ගැනීමක් සිදුකරන බවට තමන්ට දැනුම්දීමක් සිදුකර නොතිබූ බවයි එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප‍්‍රකාශ කළේ.

පහතින් දැක්වෙන්නේ උන්වහන්සේ සිය සිරුරට ගිණි තබාගැනීමට ප්‍රථම මාධ්‍ය වෙත ලබාදී තිබුණු ලිපි දෙකක් ඇතුළු එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්. එසේම, ඊට පහළින් ඇත්තේ උන්වහන්සේ මීට පෙර අවස්ථාවලදී ද අහිංසක සතුන්ට සිදුවන දුක් ගැහැට වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමට සූදානම් බවට 2012-08-30 වන දින සිදුකළ ප්‍රකාශයක හඬපටයක්.

Bowatte-Indarathana-thera-01 Bowatte-Indarathana-thera-03 Bowatte-Indarathana-thera-04 Bowatte-Indarathana-thera-05