Spread the News

කැසිනෝ පටන් ගත්තොත් අපි පාරට බහිනවා
– අස්‌ගිරි මහනාහිමියෝ කියති

සිරිල් විමලසුරේන්ද්‍ර source:

කැසිනෝ සූදුව අපේ රටට සුදුසු නැහැ. රටේ ආර්ථිකයටත් හොඳ නැහැ. අපේ විරුද්ධත්වය නොතකා කැසිනෝ පටන් ගත්තොත් අපි මහ පාරට බැස උද්ඝෝෂණ කරනවා යි සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත හිමිපාණෝ ඊයේ (10 දා) පැවසූහ.

කැසිනෝ එන්නේ විදේශිකයන් සඳහා පමණයි කියා සූදුව ආරම්භ කළ පසු මේ රටේ ධනවන්තයනුත් සූදුවට යනවා. ඉන්පසු සාමාන්‍ය මිනිසුනුත් දුප්පත් මිනිසුනුත් ඇදී යනවා. ඒවා වළක්‌වන්නට බැහැ. ඒ නිසා කැසිනෝ ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ නැවැත්විය යුතු යෑයි මහානායක හිමියෝ දළදා මාලිගාවේදී ඊයේ මාධ්‍යයට පැවසූහ.

“කැසිනෝ සූදුව කොළඹ ග්‍රෙගරි පාරේ විහාරස්‌ථානයක්‌ පිහිටි ප්‍රදේශයක කාගේ හෝ උවමනාවකටයි ආරම්භ කරන්ට යන්නේ. කවුරු හරි කෙනකු මේ සූදුවට අනුබල දෙනවා ඇති. කාගේ වුවමනාවට වුවත් මීට ඉඩ නොදෙන ලෙස අපි කියා සිටිනවා. ඒ තරම්ම මේ කැසිනෝ සූදුව අපේ රටට අහිතකරයි.

අපේ විරුද්ධත්වය නොසලකා කැසිනෝ ආරම්භ කිරීමට ඉඩ දුන්නොත් අපි මහ පාරට බැස උද්ඝෝෂණ කරනවා යි මහානායක හිමියෝ අනතුරු ඇඟවීමක්‌ ද කළහ.