Spread the News

බුද්ධගයා ප්‍රහාරයේ බෝම්බකරු අල්ලයි

මුජහදීන් ත්‍රස්තයෙක්; වයස 42යි; නම මලික්;

සැකකරු ළඟ තිබී පුපුරන ද්‍රව්‍ය-හොර නෝට්ටු සොයා ගනී

ප්‍රහාරකයාගේ හැඳුනුම්පත විහාර භූ‍මියේ වැටිලා

සැකකරුගේ අයියා-මලෝ ගැනත් සැකයක්

කණ්ඩායම් දෙකක් විශේෂ පරීක්ෂණ අරඹති

source:

මහින්ද අලුත්ගෙදර

ලෝක බෞද්ධයා අති පූජනීය තත්තවයෙන් සලකනු ලබන හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බුද්ධගයා මහාබෝධි විහාරයට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ මුජහදීන් ත්‍රස්ත සාමාජිකයා ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

බටහිර බෙංගාල ප්‍රදේශයේ පදිංචි මේ පුද්ගලයා මුජහදීන් නමැති තහනම් ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයකු වන අතර ඔහු හතළිස් දෙවන වියේ පසුවෙයි. චූදිතයා අන්වර් හුසේන් මලික් නමින් හඳුන්වන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු විධිමත් හා කඩිනම් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් ඉන්දීය රජය පත්කර ඇති අතර එරට ජාතික විමර්ශන ආයතනය සහ ජාතික ආරක්ෂක ඒකකය ඒකාබද්ධව මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවද ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මහිෂිණී කොළොන්නෙ මහත්මිය “දිනමිණ” ට පැවසුවාය.

බටහිර බෙංගාලයේ පිහිටි නාඩියා දිස්ත්‍රික්කයේදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බවද එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ සන්තකයේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහ රුපියල් මිලියන 1.9 ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙන බවද වාර්තා වෙයි.

මේ සැකකාර පුද්ගලයාගේ හැදුනුම්පත විහාරස්ථාන භූමියේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ අවසානයේදී මේ පුද්ගලාය අත්අඩංගුවට ගෙන තිබෙන බවද අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබෙන බවද නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

මේ වනවිට මහාබෝධි විහාරස්ථානයේ ආරක්ෂාව තරකර තිබෙන බව පෙන්වාදුන් ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ආරක්ෂක කැමරාවල සටහන් දර්ශන අනුව පරීක්ෂණ සිදුකරන බවද බුද්ධගයා මහාබෝධි විහාර පරිශ්‍රයේ සහ ඒ ආසන්නයේ ආරක්ෂිත කැමරා 15 ක් සවිකර තිබෙන බවද සඳහන් කළාය.

එම විහාරස්ථානයට බෝම්බ ගැසීමේ සිද්ධියේ ආරක්ෂක කැමරා දර්ශන මේ වනවිට බිහාර පොලීසිය විසින් නිකුත්කර තිබෙන අතර කිසිඳු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.

මේ වනවිට අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙන අතර තවත් සොහොයුරන් දෙදෙනෙකු වන සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන් යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ. ඔවුන්ද මුජහීදීන් ත්‍රස්ත්‍රවාදීන් බවට සැක කෙරේ.