Spread the News

7/19/2013 1:54:26 PM

උතුරේ සංවර්ධනය දිගටම

source:

උතුරේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට කර ගෙන යාමට රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුල ජීවත්වන සෑම පුද්ගලයෙකුටම තම ආගම, ජනවර්ගය හෝ ජීවත්වන ප්‍රදේශය පිළිඹදව කිසිම බේදයකින් තොරව ඕනෑම පහසුකමක් භුක්ති විදීමේ හිමිකම ඇති බවත් එකී පහසුකම් භුක්ති විදීමට ඉඩ සැලසීමට රජය කැපවී සිටින බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්නාරම දියෝකීසයේ පූජක හිමිවරුන් සහ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් කණ්ඩායමක් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ ප්‍රකාෂ කලේය.

ඒ අනුව රජය විසින් උතුරු පළාත අඛණ්ඩව සංවර්ධනය කිරීම සිදුකරනු ලබන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සිටින ජනතාවගෙන් ලැබෙන දැනුවත් කිරීම් හා විවේචන ඉතා වැදගත් වන බවද එමගින් ඒ පිළිඹදව සාකච්ඡා කර එකී ගැටලු කඩිනමින් විසඳිය හැකි මාර්ග පහසුවෙන් සොයා ගත හැකි බවත් මෙහිදී පවසා සිටියේය.

මෙම අවස්ථාවේදී ප‍්‍රදේශයේ සිදුකර ඇති සියලූ සංවර්ධන වැඩ ගැන ජනාධිපතිතුමාට ප‍්‍රසාදය පළ කළ පූජක හිමිවරු ජනාධිපතිතුමා පෞද්ගලිකවම මුණගැසී ප‍්‍රදේශයේ පවත්නා ගැටලු සෘජුව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳව කෘතඥතාව පළ කළහ.

ජනාධිපතිවරයා කර ඇති විශාල වැඩකොටස සම්බන්ධයෙන් එතුමාට සහ රජයට විශේෂ ස්තුතිය පළ කරන බව පැවැසූ එම කණ්ඩායමේ සාමාජිකයෝ අවුරුදු තිහක යුද්ධයෙන් පසු මන්නාරමේ ජනතාව සාමයේ සතුට බවද මෙහිදී පවසා සිටියහ.

ප‍්‍රදේශයේ වත්මන් යථාර්තය එහි ජීවත්වන පිරිසකගෙන් සෘජුවම දැන ගැනීමට ලැබීම තමා බෙහෙවින් අගය කරන බව ජනාධිපතිවරයා පැවසීය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන, වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.