Spread the News

උගත් පාඩම් නිර්දේශ පදනම් කොට ගත් ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවන්න – ජනපති ලේකම් ලලිත් වීරතුංග

යාවත්කාලීන වේලාව: 7/17/2013 7:06:09 AM source:

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ කොමිසමේ නිර්දේශ පදනම් කොට ගත් ජාතික ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස එම සැලැස්මේ සභාපති, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණු නිර්දේශ 53ක් වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් වීරතුංග මහතා අදාළ නිලධාරීන්ට නියෝග කළේය. කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නොවන එහෙත් සහජීවනය උදෙසා රජය මඟින් කි‍්‍රයාත්මක කරන වැඩසටහන්වලට ප‍්‍රමුඛතාව දී කටයුතු කරන ලෙසත් ජනාධිපති ලේකම්තුමා මෙහි දී සියලු අමාත්‍යාංශ කි‍්‍රයාකාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ වු පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා වන ජාතික කි‍්‍රයාකාරී සැලැස්මේ කටයුතු කඩිනම් කිරීම හා වත්මන් ප‍්‍රගතිය සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් මහවැලි අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මෙසේ උපදෙස් දුන්නේය.

අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හා විෂය භාර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මේ සාකච්ඡාවේදී කොමිෂන් සභා නිර්දේශ කි‍්‍රයාත්මක කරන ජාතික කි‍්‍රයාකාරී සැලැස්මට අයත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් 21 දෙනකු විසින් කොමිෂන් වාර්තාවේ සඳහන් නිර්දේශ තම අමාත්‍යාංශවල කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳ ජනාධිපති ලේකම්තුමාව දැනුවත් කරන ලදී.

ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත්ව පසුගිය දා එළි දක්වන ලද වෙබ් අඩවිය පිළිබඳ පැහැදිලි කළ ජනාධිපති ලේකම්තුමා විසින් අමාත්‍යාංශ කි‍්‍රයාකාරකම් අනුව මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.