Spread the News

මුස්‌ලිම් කොංග්‍රසය විශේෂ කොමිසමක්‌ ඉල්ලීමට යයි
කොටින් ඝාතනය කළ හා අතුරුදන් කළ 30,000ක්‌ පිළිබඳව සොයා බලන්න

සමන් ගමගේ source:

එල්ටිටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මෙරට උතුරු නැගෙනහිර ජීවත් වූ මුස්‌ලිම් වැසියන් තිස්‌දහසක්‌ පමණ උපන් ගම් බිම්වලින් පන්නා දැමීම, මුස්‌ලිම්වරුන් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කොමිසමක්‌ පත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය තීරණය කර තිබේ.

උතුරු – නැගෙනහිර පළාත්වල ජීවත් වූ මුස්‌ලිම් ජනතාව මරා දමමින් හා පලවා හරිමින් මුස්‌ලිම් ආගමික සිද්ධස්‌ථාවලට ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊය එහිදී ශ්‍රී ලාංකීය මුස්‌ලිම් ප්‍රජාවගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කළ ද අද දවසේ ජාත්‍යන්තරව හෝ දේශීයව එකී අසාධාරණය පිළිබඳ කිසිවකුත් කතා නොකිරීම හමුවේ ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා “දිවයින”ට පැවසීය.

1990 වසරේ නැගෙනහිර පළාතේ ජීවත් වූ මුස්‌ලිම් වැසියන් තර්ජනය කර පලවා හරිනු ලැබූ එල්ටීටීඊය උතුරේ ජීවත් වූ මුස්‌ලිම් ජනතාව එම ප්‍රදේශවලින් පන්නා දැමුවේ පැය 48 ක්‌ වැනි කාලයක්‌ තුළ බව ද පෙන්වා දුන් හසන් අලි මහතා එහිදී මුස්‌ලිම් ප්‍රජාවට එරෙහි එල්ටීටීඊය සිදු කළ ඝාතනය කිරීම් හා අතුරුදන් කිරීම් බොහෝ වන බව ද සඳහන් කළේය.

එසේ එල්ටීටීඊයේ ම්ලේච්ඡත්වය ඉදිරියේ තම උපන් ගම්බිම්වලින් පන්නා දැමූ තිස්‌ දහසක්‌ පමණ වන මුස්‌ලිම්වරුන් අතරින් කොටසක්‌ මේ මොහොතේත් පුත්තලම ප්‍රදේශයේ අවතැන් වූවන් ලෙස ජීවත් වන අතර ඔවුනට අද දවසේ තම දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක්‌ උදා වී ඇතැයි ද හෙතෙම කීය.

එල්ටීටීඊයේ ත්‍රස්‌තවාදය හමුවේ මෙරට මුස්‌ලිම් ප්‍රජාවට එවන් විනාශයක්‌ සිදුව තිබියදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කතා කරන බටහිර රාජ්‍යයන් හෝ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානීන් ඒ පිළිබඳ කිසිදු අවධානයක්‌ යොමු කර නොමැති බව ද වැඩිදුරටත් පෙන්වා දුන් හසන් අලි මහතා සියලු පාර්ශ්ව කතා කරනුයේ ද්‍රවිඩ හා සිංහල ප්‍රජාවට සිදු වූ හානිය පිළිබඳ පමණක්‌ බවද පැවසීය.

එම තත්ත්වය හමුවේ මෙරට මුස්‌ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්‍ෂයක්‌ ලෙස ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්ඡත්වය හේතුවෙන් මුස්‌ලිම් ප්‍රජාවට සිදු වූ හානි පිළිබඳ සොයා බැලීම සඳහා කොමිසමක්‌ පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තමන් තීරණය කළ බව ද හසන් අලි මහතා කීය.