Spread the News

මෙරට බස්‌ පිපිර වූ එතෙර කොටින්ට නඩු

කීර්ති වර්ණකුලසූරිය source:

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යුද අපරාධ චෝදනාවට ප්‍රතිචාර ලෙස බස්‌ රථවල බෝම්බ පුපුරුවා සිවිල් වැසියන් 120 කට ආසන්න සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීම ගැන රටවල් පහක සිටින කොටි ක්‍රියාකාරීන්ට එම රටවලදී නඩු පැවැරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

මේ සඳහා සාක්‌ෂිකරුවන් 100 ක්‌ ඉදිරිපත් වී තිබේ.

කොටුව දුම්රිය ස්‌ථානය වැලිවේරිය, නුගේගොඩ, නෝලිමිට්‌, පිළියන්දල, ගල්කිස්‌ස, කැබිතිගොල්ලෑව සහ දඹුල්ල, අබිමානපුර යන ස්‌ථානවලදී සිදුවූ පිපිරීම් මීට අදාළ වේ.

ශ්‍රී ලංකා රජය කොටි ඩයස්‌පෝරාවට නඩුවක්‌ පවරන මුල් අවස්‌ථාව මෙයයි. මෙම කොටි බෝම්බ පිපිරීම්වලට අදාළව රහස්‌ පොලිසියේ හිටපු පොලිස්‌ පරීක්‍ෂක ලයනල් මුණසිංහ මහතා විසින් සාක්‌ෂිකරුවන්ගෙන් කටඋත්තර ගෙන ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග “ඉරිදා දිවයින” සංග්‍රහයට පැවැසීය.

කොළඹ ත්‍රස්‌ත මර්දන බලධාරීහු විසින් මෙම නඩු පැවරීම සඳහා රජයට සහාය වේ.

මේ අනුව සිවිල් වැසියන් ඝාතනය කළ කොටි සංවිධානය ගැන දැන දැනම සහාය වූ එමානුවෙල් පියනම, ඇඩෙලා බාලසිංහම්, විශ්වනාදන්, රුද්රකුමාරන්, තෙදියවන්, ගැරී ආනන්ද සංගරි, ඒ. තිරුබාහරන්, සුරේස්‌ පුරෙන්ද්‍රන් යන කොටි ක්‍රියාකාරීන්ට නඩු පැවරෙනු ඇත.

මෙම කොටි බෝම්බ පිපිරීම් සිදු කළ ත්‍රස්‌තවාදීහු 16 ක්‌ රජයේ අත්අඩංගුවේ පසුවන අතර ඔවුහු ඒ ගැන පාපොච්ඡාරණය කර තිබේ.

මෙම නඩු ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාව හා ප්‍රංශය යන රටවලදී පැවරේ.