Spread the News

දොස්‌තර චන්ද්‍රා ප්‍රනාන්දුට මානසික ප්‍රතිකාර අවශ්‍යයි
– බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට කියති

සමන්ත ඉලේපෙරුම source:

කොළඹ අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට වැඩසිටි සිංහල රාවය සංවිධානයේ භික්‌ෂුන් වහන්සේලා කීපනමකට පිහියක්‌ එල්ල කර තර්ජනය කිරීම හා එහි ආරක්‌ෂක සේවයේ නිරතව සිටි පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය චන්ද්‍රd ප්‍රනාන්දුගේ මානසික රෝගයට ප්‍රතිකාර අවශ්‍ය බව මානසික රෝග විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා දැනුම්දී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් ඊයේ (28 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් එසේ දන්වා සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක්‌ කැඳවන ලෙස මීට පෙර අවස්‌ථාවකදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා කළ නියෝගයක්‌ අනුව මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් විය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක්‌ කළ සැකකරු අදාළ අවස්‌ථාවේදී භික්‌ෂුන් වහන්සේලා තමාට පහරදුන් බවද කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු පෙබරවාරි 03 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් එදිනට ඔහු සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.