Spread the News

සංහිඳියා කතාවට ජිනීවා නියෝජිත ප්‍රසාදය

source:

උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයේ ඇති කැපවීම සහ ඒ පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන් හා තානාපතිවරුන් හමුවේ කළ දේශනයකදී ඔවුන්ගේ ඇගැයීමට ලක්විය.

උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට 2012 ජූලි මාසයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා රජය එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කළ හැකි සියලු දේ කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා අඟහරුවාදා (21) එහිදී කීය. ගැටුම් නිසා පීඩාවට පත් වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහය සහ අන්තර්ජාතික මානුෂවාදී නීතිය, මානව හිමිකම්, ඉඩම් ආපසු භාර දීම සහ යළි පදිංචි කිරීම, නැවත පවරා දීම / සහන වන්දි ප්‍රදානය හා සංහිඳියාව යන ක්ෂේත්‍රවලට අදාළ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගත වූ මාස 18 තුළ රජය ගත් ක්‍රියාමාර්ග ද එහිදී ලේකම්වරයා විස්තර කළේය.

ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සමඟ පවත්වාගෙන යන අඛණ්ඩ සහයෝගය ගැන සඳහන් කළ වීරතුංග මහතා, මහ කොමසාරිස්වරිය රජයේ ආරාධනයෙන් 2013 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාවෙන් පසු අභ්‍යන්තරිකව අවතැන් වූවන්‍ පිළිබඳ විශේෂ විමර්ශකවරයා 2013 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර, සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ විමර්ශකවරයා 2014 මැයි මස දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව පැවැසීය.