Spread the News

බොදු පනත් පමා කළාට අගමැති කරුණු විමසයි

රමණී සුබසිංහ source:

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ යහ පැවැත්ම උදෙසා සම්පාදනය කර ඇති විහාර දේවාලගම් සංශෝධන පනත, ශාසනාරක්ෂක සංශෝධන පනත ඇතුළු පනත් හයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති ආචාර්ය දි. මු. ජයරත්න මහතා නිලධාරීන්ට නියෝග කර ඇත.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හා බෞද්ධ සංවිධාන දිගින් දිගටම මෙම පනත් ප්‍රමාදය පිළිබඳව අගමැතිවරයාට කරුණු දැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව විහාර දේවාලගම් සංශෝධන පනත, ශාසනාරක්ෂක සංශෝධන පනත, ඇතුළුව දසසිල් මෑණියන් වහන්සේ හා දසසිල් මෑණි ආරාම පනත, කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත, බෞද්ධ ප්‍රකාශ පළ කිරීම හා නියාමන කිරීමේ පනත හා බුද්ධ ශාසන පනත් කෙටුම්පත යන පනත් හයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතුව තිබේ.

මෙහි ඇතැම් පනත් වසර හයකට වඩා පැරැණි ඒවා බව මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගලාභිධාන නා හිමියෝ පෙන්වා දෙති.

මෙම පනත් මෙතෙක් සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම පිළිබඳ උන්වහන්සේ බලවත් කනගාටුව ප්‍රකාශ කර ඇත.