දෙමළ සන්ධානය සමඟ ගනුදෙනු බෑ – දෙමළ ජනතා පෙරමුණ කියයි

Spread the News

දෙමළ සන්ධානය සමඟ ගනුදෙනු බෑ
– දෙමළ ජනතා පෙරමුණ කියයි
source:
දිනසේන රතුගමගේ

යුරෝපා රටවලුත් ඉන්දියාවත් නිර්දේශ කරන අන්දමට කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය සමඟ තම පක්‍ෂයට කිසිදු සම්බන්ධකමක්‌ පවත්වාගෙන යා නොහැකි බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පෙරේදා (16 දා) සවස වවුනියාවේදී පැවසීය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික රැස්‌වීම මෙවර වවුනියාව නගර සභාවේදී පැවති අතර දෙමළ ජාතික සන්ධානය දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියා නොකරන පක්‍ෂයක්‌ ලෙස මෙම සාකච්ඡාවේදී නිර්දය ලෙස විවේචනයට ලක්‌විය.

පක්‍ෂයේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් ඇමතූ ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කියා සිටියේ දෙමළ ජනතාවට බලපාන ප්‍රශ්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය සමඟ අවස්‌ථා කීපයකදීම ශ්‍රී ලංකාවේදීත් වෙනත් රටවලදීත් සාකච්ඡා කළ නමුත් ඔවුන් එම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උත්සාහ නොදරන නිසා දෙමළ ජාතික ජනතා පෙරමුණ ඔවුන්ගෙන් ඉවත් වූ බවයි.

යුද්ධයෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාව වෙනුවෙන් විසඳිය යුතු අවශ්‍යතා රැසක්‌ ඇතත් දෙමළ ජාතික සන්ධානය ඒවා විසඳීමට කටයුතු නොකරන බව කී ඔහු ඉන්aදියාවේ සහ යුරෝපා රටවල වුවමනාවන්ට අනුව දෙමළ ජාතික සන්ධානය ක්‍රියා කිරීම නිසා කිසි දිනක දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට දෙමළ ජාතික සන්ධානයට නොහැකි බව ද පැවසීය.

දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙවර ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් කමිටු රැස්‌වීමට සහභාගි වන බව කී ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා දෙමළ ජනතාව මේ වනතුරු මුහුණ දී සිටින ප්‍රශ්න හා දේශපාලන වටපිටාවක්‌ හමුවේ ඔවුන් අසරණ වී සිටින අයුරු ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන බව ද පැවසීය.