“කැසිනෝ සහ සූදු” වචන වෙනස්‌ කළ නව ගැසට්‌ නිවේදනයට විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය

Spread the News

“කැසිනෝ සහ සූදු” වචන වෙනස්‌ කළ නව ගැසට්‌ නිවේදනයට විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
source:
කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

“කැසිනෝ සහ සූදු” යන වචන වෙනුවට ආනුෂංගික පහසුකම් යන වචන යෙදූ නව ගැසට්‌ නිවේදන තුන පිළිගත නොහැකි බව පවසමින් ඊයේ (18 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගැසට්‌ තුනට විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය දැක්‌වූහ.

එහෙත් විපක්‍ෂයේ විරෝධතා මැද එම ගැසට්‌ නිවේදන තුන ඉදිරිපත් කිරීමට කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතාට අවසර දුන්නේය.

කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ කාමර හාරසියයකින් යුත් අධි සුඛෝපභෝගී සංචාරක නිකේතනයක්‌ හා සාප්පු සංකීර්ණයක්‌ සහ කාමර පන්සීයක විස්‌තීර්ණ අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්‌, විනිසුරු අක්‌බාර් මාවතේ නිවාස සංචාරක හා කාර්යාල සංකීර්ණයක්‌ ඉදිකිරීම වෙනුවෙන් ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ මෙම ගැසට්‌ නිවේදන තුන ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

සභානායකවරයා විසින් අදාළ ගැසට්‌ නිවේදන සභාවට ඉදිරිපත් කළ පසු නැගී සිටි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.

මේ ගැසට්‌ තුන මෙතැන දාන්න බෑ. අනුෂංගික පහසුකම් කියා මේ ගැසට්‌වල සඳහන් කර තිබෙනවා. ඒ පහසුකම් මොනවාද කියා පැහැදිලි කළ යුතුයි. මීට කලින් ඉදිරිපත් කළ පනතේ තියෙන්නේ කැසිනෝ කියලා. ඒත් මේ පනතට ඒ වෙනුවට අනුෂංගික කියලා දාලා. කැසිනෝ නම් කැසිනෝ කියා කියන්න. මේක ආණ්‌ඩුවට හංගන්න බෑ.

සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා(- අද කරන්නේ ගැසට්‌ එක ඉදිරිපත් කිරීම පමණයි. එය අනුමත විය යුතුයි. විවාදයේදී අවශ්‍ය විස්‌තර ලබාදිය හැකියි. මේ අවස්‌ථාවේදී ගැසට්‌ පත්‍රය ප්‍රතික්‌ෂේප කරන්න බෑ. එය ඉදිරිපත් කිරීමේ බලය රජයට තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා(- ස්‌ථාවර නියෝගවලට අනුවයි මෙය ඉදිරිපත් කළ යුත්තේ. නිකං කොළයක්‌ දාලා තියන්න බෑ. මේක නීතියක්‌ කියලා.

අනුර දිසානායක මහතා (ප්‍රජාසං)(- මේ ගැසට්‌ පත්‍රය හරියට අත්සන් නොකළ චෙක්‌පතක්‌ වගේ. විවෘත ගැසට්‌ නිවේදන ඉදිරිපත් කරන්න බෑ. ඇමැතිවරුන්ට ඔළුවේ කැසිනෝ තියාගෙන ගැසට්‌ එකට අනුෂංගික කියා දාන්න පුළුවන්ද? මේ ගැසට්‌ එක ක්‍රමෝපාය සංවර්ධන පනතට අනුකූල නෑ. ඇයි අනුෂාංගික පහසුකම් කියලා කැසිනෝ කියන වචනය සඟවන්නේ. මේ ගැසට්‌ එක පාර්ලිමේන්තුව පිළිගත යුතු නෑ.

ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, දිනේෂ් ගුණවර්ධන මහතා(- යම් රෙගුලාසියක්‌ පාර්ලිමේන්තුව හමුවේ තබන ක්‍රමයක්‌ තියෙනවා. ඉන්පසුවයි එය සම්මත කරනවාද නැද්ද කියන කරුණට අවතීර්ණ වන්නේ. නිශ්චිත කරුණු ඇතුළත්ව මේ ගැසට්‌ එක ඉදිරිපත්කර තිබෙනවා. සිතේ තියෙන මනඃකල්පිත දේට තමයි විවාදයක්‌ කරන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (එජාප)(- මේක හරියට ට්‍රොaජන් අශ්වයෙක්‌ වගේ. අශ්වයා ඇතුළේ සියයට අසූවක්‌ම තියෙන්නේ කැසිනෝ.

අනුර දිසානායක මහතා(- මනඃකල්පිත දේ ගොඩනැඟෙන්න ඇයි හිස්‌තැන් හදන්නේ.

කථානායක චමල් රාජපක්‍ෂ මහතා(- මේ ගැසට්‌ පත්‍ර පිළිබඳ විවාදය පවත්වද්දී මේ ගැන විවාදකර මන්ත්‍රීතුමන්ලා මතු කළ ප්‍රශ්න සාකච්ඡා කළ හැකියි.